Friday, May 18, 2012

නන්දිකඩාල්





                                    ඒ .. මීට අවුරුදු කිහිපයකට කලින් දිනයකි.  උදේ සිටම  යම් කසු කුසුවක් පැතිර යමින් සිටි නිසාදෝ.  ඒදා තිබූ පන්තියෙන්ද කලින් පැනගත් මම මිතුරෙකුත් සමග  නිවෙස බලා එන්නට පිටත් උනෙමි.. කටුගස්තොට පාලම පසු කොට ටික දුරක් ඉදිරියට ධාවනය වූ බස් රිය යම් තදබදයකට අසූ වූ බවක් පෙනුනි.  ඒ සමඟම මහා හඩ දෙමින්  රතිඤ්ඤා වැලක්  පුපුරන්නට විය. තවත් ඉවසන්නට හැකියාවක් නොමැති වූ මම වහා දුරකථනය ගෙන  නිවස ඇමතුවෙමි.  එහා කෙලවරින් දුරකථනය එසවෙනවා ඇසුනි.

" ප්‍රභාකරන් මරලද "  මම වහා මගේ ප්‍රශ්නය යොමු කලෙමි

" ඇයි කවුද කිව්වෙ " පිලිතුරක් වෙනුවට අම්මාගෙන් නැවත  ප්‍රශ්නයකි

" මෙහේ මිනිස්සු රතිඤ්ඤා දානවා ඉක්මනට ටීවී එක බලන්න " දුරකථනයද පෙරලාගෙන අම්මා දිව යන හඬ එහා කෙලවරින් ඇසුනි.

දුරකථනයෙන් මිදුන මම වහා ජනේලයෙන් එලියට හිස එබුවෙමි. වාහන තදබදය අතරේ ඉදිරියට ඇදෙන මහා ජන ගඟකි  ඒ පසු පසින් සිංහ කොඩියෙන් සැරසුන නොයෙක් වර්ගයේ බයිසිකල්,  ත්‍රිවීල් ,  ලොරි සමූහයකි . වෙනදා වාහන තද බද හමුවේ කෝප වෙන මගියෝද ජනෙල් වලින් එලියට බෙලි ඔබාගෙන ප්‍රීති ගෝශා නගති.


ඒ අතරේ නැවත දුරකථනය නාද වෙයි.. සැනින් මම දුරකථනය කනේ ඔබා ගත්තෙමි

" හරි හරි.... ප්‍රභාකරන් මරලා... " ගෙදරින් ඇහෙන කාලගෝට්ටි හඬ පරදා අම්මා කෑ ගසයි .

ජීවිතයේ සමහර අවස්ථාවන් වලට මම අදද  ආදරය කරමි . ඒ දිනයද මගේ ජීවිතයේ කිසි දිනක අමතක නොවන දිනයක් වූයේ එලෙසිනි

දුරකථනය සාක්කුවෙ ඔබා ගත් මම මිතුරාට ආරංචිය කියා නැවත ජනේලයෙන් එලියට එබුනෙමි. මහා ජන ගඟ ඒ වන විට අප ආසන්නයට පැමින තිබුනි. නමුත් එක් දසුනක් එකවරම මගේ ඇස ගැටුනි දනිස් ආසන්නයෙන්ම දෙකකුල් ඉවත් කරන ලද තරුනයෙකු ප්ලාස්ටික් පුටුවක තබා ඔසවා ගත් කිහිපදෙනක් ජන ගගේ ඉදිරියෙන්ම ගමන් කරයි. ඔහු ඔසවාගත් හතර පස් දෙනා අසීමිත ප්‍රීතියකින්  සිනහවෙමින් කෑ ගසමින් ඔහුව ඔසවාගෙන ඉදිරියට ඇදෙයි පුටුව මත උන් තරුණයා මේ වන විට   මා උන් බස් රථය අසලය .ඔහු ඔසවාගෙන යන බැවින්  ඔහුත් මා සිටි ජනේලයත් අතර  පරතරය අඩි කිහිපයකට වැඩි නොවිය. ජන ගඟේ උන් දහසකට අධික පිරිසක් කෑ ගසමින් සිනාසෙමින් යද්දී ඔහුගේ ඇස්  දෝරේ ගලා යන කදූලින් තෙත්ව තිබුනි . ඔහුගේ දෑතේ තිබූ කොඩිය විටින් විට වනමින්  දෑසින් ගලන කදුලු පිසිනවා දුටු  බස් රථයේ සිටි කිහිපදෙනෙක්ගේද දෑස් කදුලින් බරවෙන සැටි දැක ගත හැකි විය.


මෙය හුදෙක් ලියවිල්ලක් විය හැක  නමුත් මා මෙහි වෙනසක් දකිමි . යුද ජයග්‍රහනය පුවත දැනගත් සැනින් සියල්ලෝ පාරට බැස්සේ ජාතික කොඩියක් පමනක් අත ඇතිවය . පැය කිහිපයක් ගත වෙන තුරු ඒවාගේ  දේශපාලන  නායකයන්ගේ හෝ වෙනත් අයගේ  රුව  හෝ පෝස්ටර් දිස් වූයේ නැත.  පාරේ උන් පොලීසියේ , යුධ හමුදාවේ සමාජිකයන් ඔසවාගෙන යමින් ඔවුන් ප්‍රීති වූවා මම දැක්කෙමි


එවන් පසුබිමක වූ විජග්‍රහනයක සැබෑ අයිතිය වෙනුවෙන්  එදා එකට පාරට බැස ගත් ජනතාව දෙකොටසකට බෙදාගන්නට තරම්  පින්වන්ත වූ  කොටසක්ද  මෙලොව වෙසෙන බව දකින්නට තරම් මා පින් කල බවද කිව යුතුය.


එදා  යූ එන්පී කාරයාද , ජේවීපී කාරයාද , පොදුපෙරමුනු කාරායාද  එකට ඒ  ජන ගඟේ යනු මම දුටිමි  පසුව ඔවුන්ම දෙකොටසක් වී  බැනර් පුවරු ඔසවාගෙන යනු මම දුටිමි වෙනසකට තිබුනේ ඔවුන් එදා ඔසවාගෙන ගිය රණවිරුවාගේ තැන වෙන එකෙක් සිටීම පමනකි.


විජයග්‍රහනයේ සෑබෑ අයිතිය  එක එකාගේ යැයි කියාගනිමි උන් හට ඒ අයිතිය ලබා දෙන්නට අපේම උන් දෙකොටසක් වී පාරවල් හන්දි ගානේ උන්ගේ රූප එල්ලාගෙන කෑ ගසනවාද මම දුටිමි.

යුද්දයේ  උරුමක්කාරයින් උනු  හද්දා වන්නිවල උන්..  අවසන් පැය කිහිපයේ නන්දිකඩාල් කලපුවේ වැලි වැටියකට මුවා වී  අවියට ඉලක්ක හොයන මොහොතේදී උන්ගේ උඩ සාක්කු වලත්  .. උන් වෙනුවෙන්ම උන්ගේ කටු මැටි පැල්වල පැය විසිහතරේ  හැඩූ කදුලින් ගෙවුනු ජීවිත වල හිමිකාරයන්ගේ දෑත්වලත්...  උන්     තබාගත් රූප තිබුනි නමුත් ඒවා මහින්ද රාජපක්ෂගේවත් .. සරත් ෆොන්සේකාගේවත් නොවෙන බව පමනක් මම සක්සුදක් සේ දන්නෙමි



______________________________________________________


Saturday, May 5, 2012

අවුරුදු..







                                   ඉර හැරෙන්නට තව බොහෝ වේලාවක් නැත. වැස්සක පෙරනිමිති පෙනෙන්නට  ඇති නිසාදෝ   පය ඉක්මන් කර දිව යන්නන්ගෙන් නගරය පිරී ඇත. වීදිය කෙලවරක නැවතුනු සැප රියේ තොරතෝංචියක් නොමැතිව දොඩමලු වෙන පොඩි එකෙකි. පොඩි එකාගේ මව ඔහු අසනා සෑම ප්‍රශ්නයකට කුමක් හෝ කියා ඔහු සනසවන්නට වෙරදරයි.

" අම්මේ ඇයි අම්මේ අර මාමා බෑග් එකක් අරන් දුවන්නේ " ඇස් දෙකද කටද එකසේ ඇරගත් පොඩිත්තා අම්මාගෙන් විමසයි.

" ඒ මාමා ගෙදරට කෑම ගෙනියනවනේ පුතේ "

" ඉතින් අම්මේ ඒ මාමට බැරිද සේනට කියලා බඩු ගෙන්වගන්න "

" සේන ඉන්නෙ පුතේ අපේ ගෙදර වැඩටනේ , ඒ මාමලගේ ගෙදර වැඩට සේන කෙනෙක් නැතුව ඇති"

පොඩිත්තාගේ ප්‍රශ්න වල කෙලවරක් නැත 

" ඇයි අම්මේ ඒ මාමලට ගෙදර වැඩට සේන කෙනෙක් නැත්තේ "

" හා හා දැන් ඒ කතා ඇති දැන් තාත්ති ඔයාට චොකෝ අරන් එයි එතකන් හොද පුතා වගේ මේ ටෙඩියා එක්ක සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ කෙලවරක් නැති ප්‍රශ්න වැලෙන් හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව දුරකථනය සුරතට ගත්තේ සැමියාගේ පමාව ගැන විමසීමටය.

පහත් වූ රිය කවුලුවේ එල්ලී ගත් පොඩිත්තා ඔහේ  කියවමින් සිනාසෙමින් දෑතට සිරවූ පුලුන් ටෙඩියාට වද දීම අරඹා තිබිනි.


පොඩිත්තා හා මව ඇරෙන්නට  මේ  කතන්දරය දෙස  බලා සිටින තවත් අමුත්තෙකි..  වීදිය කෙලවර වැටෙහි එල්ලී ගත් අමුත්තා ආයාගත් මුවින් . රියෙහි පොඩිත්තා දෙස බලා සිටී

වයසින් පමනක් රියෙහි පොඩිත්තාට සමාන වූ  අමුත්තා.. කාශ්ටක නගරයේ තවත් සමාජ ඉස්තරයක් නිරූපනය වෙන  කොටසක පුරුකකි. නාටාමිවරයෙකුට  හා  එදා වේල වෙනුවෙන් මන්දිර වල බැලමෙහෙවර කරන්නියකට දාව  ලෝකයට පය ගැසූ  මේ අමුත්තා.. තමා ඉදිරිපිට වූ වැටෙහි එල්ලී බලා සිටින්නේ.. තමා තරම්ම වූ  රියෙහි ලැග ඉන්නා ගේ අතේ  පොඩිවෙන  පුලුන් සුරතලා දෙසය

පුළුන් සුරතලාට  වද දෙමින් සිටි පොඩිත්තාගේ දෙනෙත් හදිසියේ තමන් දෙස බලා සිටින පොඩිත්තා දෙසට යොමු විය

" අම්මේ ආං.... "

පොඩිත්තා සිය දෑත් දිගු කර සිය මවට තමන් දෙස බලා සිටින අමුත්තා පෙන්වයි

" කවුද අම්මේ ඒ "

" ඒ පොඩි ලමයෙක් නේ පුතේ "

" ඇයි අම්මේ එයා කමිසයක් ඇදලා නැතුව ඉන්නේ "

" එයාට අමතක වෙන්න ඇති පුතේ "

" එයාගේ අම්මා කෝ එයා තනියමනේ ඉන්නේ "

" අම්මා ලග ඇති පුතේ "

තමා දෙස බලා සිටින අමුත්තා දෙස තව වරක් බැලු පොඩිත්තා සිය දෑත උස්සා සහෝදර ආචාරයක් කලේ අමුත්තාට තමුන් දෙසට එන ලෙස ඉල්ලීමක් කරමිනි

පලමු දෙවන වර  මදක් පැකීලීමක් පෙන්වුවද ඊලඟ වාරයේදී වැටෙන් බැසගත් අමුත්තා සෙමින් සෙමින් නවතා තිබෙන රිය දෙසට කිට්ටු විය.

" අපි සෙල්ලම් කරමු "

අමුත්තා රිය වෙත ලංවූ සැනින් පොඩිත්තාගෙන් ඇරයුමකි

" දැන් බෑ පුතේ දැන් තාත්තා එයි.. අපි දැන් සීයලාගේ ගෙදර යන්න ඕන නේ සෙල්ලම් කරන්න ගියොත් වෙලා මදි වෙයි ඔන්න "

" ඔයා ඇයි කමිසයක් ඇදලා නැත්තේ " 

" කමිසේ හේදුවා තාම වේලිලා නෑ "

" ඉතින් වෙන එකක් අදින්නකෝ "

" මට වෙනින් කමිස නෑ එකයි තියෙන්නෙ "

පොඩිත්තා අයාගත් දෑසින් මව දෙස බලයි

" ඇයි අම්මේ එයාට වෙන කමිස නැත්තේ "

පොඩිත්තාගේ ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව වහා පොඩිත්තාගේ කතාව වෙනතකට හරවයි


" අපි අවුරුද්දට සීයලා බලන්න ගමේ ගියාම ඔයාට පුලුවන් ඕන තරම් සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ මුහුන හදිසියේ  අමුතු ආලෝකයකින් පිරේ

වහා අලුත් මිතුරා දෙසට හැරුනු පොඩිත්තා හඬ අවදි කරයි

" ඔයා යන් නැද්ද සීයලගේ ගෙදර  අපිනම් යනවා තාත්තට ගොඩක් නිවාඩු හම්බ උනා නේ අපි එහෙ ගිහින් ගගෙත් නානවා "

උඩ බිම බලමින් රියෙහි අසිරි විදිමින් සිටි අමුත්තා   අදුරු මුහුනෙන් යුතුව පොඩිත්තාට පිලිතුරු බදී

"අපේ ගම ඉතින් මෙහෙනේ. අපිට සීයා කෙනෙක් නෑ . අනික තාත්තට අවුරුද්දට නිවාඩු නිසා සල්ලිත් නෑ අවුරුදුත් නෑ."

පොඩිත්තා වහා මව දෙස බලයි 

" ඇයි අම්මෙ එයාගෙ තාත්තට නිවාඩු නිසා සල්ලි නැත්තේ අපේ තාත්තට නිවාඩු උනාට සල්ලි තියනවනේ මෙයා බොරු කියනව නේද අම්මේ "

"ඔයා බොරු කියන්නෙ "

" බොරු නෙවෙ අවුරුද්දට කඩ වැහුවම ලොරි එන් නෑ නෙ ඉතින් තාත්තට වැඩ නෑ ඉතිං සල්ලි නැ නේ එතකොට  "

 පොඩිත්තාට මේවා මහා ප්‍රෙහේලිකාවකි , පිලිතුරක් බලාපොරොත්තුවෙන් පොඩිත්තා විටෙක ම්වත් විටෙක් අමුත්තා දෙසත් බලයි


" පුතේ ඔය වීදුරුව වහන්න දූවිල්ල එනවා "

වැසී යන වීදුරුව අතරින් බොද වෙන පොඩිත්තාගේ රුව දෙස යාන්තමින් බැලු අමුත්තා තමන්ට පුරුදු මාවත ඔස්සෙ වීදි කෙලවරට පිය නගන්නට විය

රිය තුලට වූ පොඩිත්තා දෑතේ වූ  පුලුන් සුරතලා ගුලි කරමින් තම සිතේ වූ අන්තිම ප්‍රශ්නයත්  මවගෙන් විමසි‍ය

" අම්මේ එයා බොරු නේද කිව්වෙ එයාලටත් අවුරුදු නේද"

පිරී ඉතුරුන වීදි තුල සැමියාගේ රුව සොයමින් සිටි පොඩිත්තාගේ මවගෙන් දෙවරක් නොසිතාම පොඩිත්තාගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනි

" ඔව්  පුතේ එයාලටත් අවුරුදු "


_________________________________________________


Time in Sri Lanka: