Friday, December 27, 2013

සුන්දර ප්‍රශ්න

 
 
උඹට මතකද ...?
මට ඉස්සරෝම උඹ හම්බවෙච්ච දවස..
මටත් හරියට නිච්චියක් නෑ.. ඒත්  අඩු පාඩුවක් නැතුව
ජීවිතේ මතකෙට වැටෙන කාලෙ ඉදලා
උඹ හැමදාම වගේ මට මුන ගැහුනා..
 
 
ඉස්සරෝම උඹ මුනගැහුනම
මම පුරුදු උනා අඩන්න..
මම හිතුවෙ උබට දුක හිතිලා මාව දාල යයි කියලා
ඒත් උබ නපුරෙක්
හිත අඩපු හැම වෙලාවකම 
උඹට ඒක ඔච්චමක් උනා
 
ඊට පස්සෙ උඹ මුනගැහෙද්දි
මම උඹව මග හරින්න හැදුවා
පැය ගනන් බෝක්කු උඩට වෙලා උබව අමතක කරන්න හැදුවා
ඒත් උඹ තප්පරේකටවත් මාව දාල ගියේ නෑ..


අන්තිමට මම උඹව මග හරින හැටි ඉගනගත්තා..
උඹ ඊට පස්සෙ මාව බලන්න එනකොට 
මං උබව ආදරෙන් පිලිගත්තා
උඹත් මගේම කෙනෙක් කියලා හිතුවා..
 
මට තේරුනා උඹ එකට ඩිංගක්වත් කැමති නැති බව.
අන්තිමේදි.. උඹ මට මෙහෙම කියලා කාලෙකට කලින් 
මාව දාල ගියා..
මට තාම මතකයි උඹ යද්දි කියලා ගිය වචන ටික
.............................
 
" උඹ ඒ පාර ජීවත් වෙන්න පටන් අරන් "




Saturday, November 23, 2013

මහල්ලාගේ පුත්තු



                                                        එක සීරුවට ගිනියම් වෙන පොලොව මත ඉක්මන් අඩි තබමින් බන්දුල  රිය ගාල දෙසට ඇදෙයි.  දැඩිව වැවුනු රවුල අතරින් ගලා යන දහඩියෙන් තෙත් වූ ඔහුගේ මුහුනෙන් දිස් වන්නේ දැඩි වෙහෙසකර බවකි. ඉක්මන් අඩි තබමින් රිය වෙත ලංවූ බන්දුල රියට ගොඩ වූ සැනින් වායූසමීකරණය පන ගන්වන්නට විය.

" හප්පා... පුදුම රස්නයක් නේ "

බන්දුල තනිවම මුමුනමින් ජංගම දුරකතනයට අත යවයි.

" හෙලෝ.. සඳා... දැන් තමා මීටීන් එක ඉවර උනේ. මම එන ගමන් තාත්තවත් බලාගෙන එන්නේ, දැන් මාස තුන හතරකින් ඒ පැත්තෙ ගියේ නෑ නේ "

" ඔව්.. ඔව්.. අද එනවා  ඔයා බබාව අරගන්න මං එහෙනම් තියනවා "

දුරකථන ඇමතුම අවසන් කල බන්දුල රිය පනගන්වාගෙන ප්‍රධාන දොරටුව දෙසට ඇදෙයි

බන්දුල  කුසල් ජයවරධන දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන විධායක නිළධාරියෙකි. මසකට වරක් අගනුවර මුලස්ථානයේ පැවැත්වෙන රැස්වීම සදහා පැමිනී බන්දුල ආපසු යන අතරමග තම පියාද හමුවීමට තීරණය කොට තිබිනි.

නගරයේ සිට පැය දෙක තුනක් හැල්මේ දිව ආ නවීන පන්නයේ මෝටර් රිය තාර බිදක් හෝ දැක නැති මගට හැරවූ සැනින් රිය පසු පසින් මහා දූවිලි වලාවක් නැගෙන්නට විය.

" මේවා කවදා හදලා ඉවර කරයිද මන්දා.. "

බන්දුල එලෙස තමන්ටම කියාගත්තෙ නොරිස්සුමකිනි.

අබලන් මග දිගේ තවත් දුරක් ගෙවා ආ මෝටර් රිය පැරණි ගේට්ටු කනු දෙක අතරින් ගෙවත්තට ඇතුල් කරද්දි.. නිවසේ ඉදිරිපිට වාඩි වී සිටි මහල්ලෙකු  සතුට පිරි මුහුනින් ඒ දෙසට ඇදී එන්නට විය.

ගස් සෙවන අද්දර රිය නැවැත්වූ බන්දුලද රියෙන් බැස නිවස දෙසට ඇදෙන්නට විය.

" පුතා .. ඇයි මේ හදිස්සියෙ.. "

තම  පුතාගේ හදිසි පැමිනීමෙන් සතුටට හා කුතුහලයට පත්  බන්දුලගේ පියා . නිවස දෙසට ඇදෙන බන්දුල දෙස බලමින් විමසයි.

" නෑ එහෙම මොකුත් නෑ.. කොම්පැනි එකේ මීටින් එකකට ආව යන ගමන් මෙහෙටත් ආවා.."

" එහෙනම් අද ඉදලා හෙට උදෙන්ම යන්න පුලුවන්.. දැන් හවස් වෙලාත් නේ ."

" අනේ බෑ තාත්තේ.. හෙට ආයෙම  අනුරාධපුරේ යන්න ඕන.. ඒ හින්දා අද ගෙදර යන්ඩ ඕන"

" හ්ම්.. එහෙමද "

මහල්ලාගේ මුහුනේ සතුට සැනකින් වියැකී යන අයුරු බන්දුලට පෙනේ..

" ආ... තාත්තට අලුත් යාලුවෙක් හම්බ වෙලා තියෙන්නෙ "

බන්දුල එසේ කීවෙ එතෙක් වෙලා තම පියාගේ තුරුලට වී සැපට නිදා සිටි බලල් තඩියා දැකීමෙනි.

මහල්ලාගේ මුවට නැවතත් සිහින් සිනාවක් නැගේ..

" ඔව් ඔව් .. මේකා තමා දැන් ඉතිං මගේ තනියට ඉන්න එකම එකා.. දැන් වරුවක් විතර නටලා නටලා සැපට නිදි "

බන්දුලගේ පියා තුරුලේ සැපට නිදා සිටින බලල් තඩියාගෙ හිස අතගාමින් පවසයි

" යං පුතේ ගෙට තේ ටිකක් වත් බීලා ඉමු "

" කෝ තාත්තෙ දැං සුමනසිරිලා ගෙවල් වල නැද්ද "

පියා පිටුපසින් ගෙතුලට ඇදෙන බන්දුල  අවට බලමින් පියාගෙන් විමසයි.

" ඔහේ නෑ .. සතියකට වතාවක් වගේ තමා උන්දැත් ගෙදර එන්නෙ. බන්ඩාරවෙල පැත්තෙ මොකක්දෝ කරනවා කියන්නෙ .. ඒ ගෙවලුත් දැන් පාලු වෙලා . මම විතරයි මේ මන්ඩියටම ඉතුරු උනේ "

" හ්ම්ම්... ඒකත් එහෙමද "

 " දැන් පොඩි එකා එහෙම ඉස්කෝලෙ යනවද පුතේ " 

මහල්ලා බන්දුලගේ දෑස දෙස බලමින් විමසයි

" ඔව් තාත්තේ දැන් හතර වසරෙනෙ පොඩි එකාටත් ඉතිං නිවාඩුවක් නෑ. සදා දැන්ම ඉදං ඔය මොනවද ක්ලාස් වගේකට දාලානේ ඒකයි ගිය නිවාඩුවටටවත් එන්න බැරි උනේ"


" පොඩි එකා දකින්නත් ආසයි පුතේ "

කඩවුනු දැසින් මහල්ලා මුමුනයි

බන්දුලට තම පියා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි වයසින් අවුරුදු 70කට වැඩි තම පියා දැනට අවුරුදු තිහ හතලිහක සිට වෙසෙන්නේ කාත් කවුරුත් නොමැති අනාතයෙකු ලෙසිනි. බන්දුල හා එක්කුස උපන් සහෝදරියක් වූ පවුලෙන් බන්දුලගේ අක්කා දැන් වෙසෙන්නෙ අනුරාධපුරයට ආසන්නවය.  පියා තමා සමීපයට ගැන්මට බන්දුලගේ උවමනාව පැවතියත්  බන්දුලගේ බිරිද එයට එතරම් කැමැත්තක් නොදක්වන්නේ බන්දුලගේ සොයුරියටද එම යුතුකම ඇති බව පවසමනි.  


" පුතේ මේ තේ එක බිව්වනම්  ..     "

තිගැස්සී පියවි ලොවට ආ බන්දුල දකින්නේ තමා දෙසට තේ කොප්පය දිගුකරගෙන සිටින පියාගෙ රුවය.

" ආ.. කෝ දෙන්න තාත්තේ ."

ඒ අතරේම කොහේදෝ සිට දුව ආ බලල් තඩියා බන්දුලගේ සපත්තු ලේසය හා නටන්නට පටන් ගනී.

" ආ.. ආ,. චුටී පුතා මොකෝ ඔය කරන්නෙ... "

මහල්ලා සිනා සෙමින් බලල් තඩියා තුරුලට ගනී. මහල්ලාගේ තුරුලට වන් බලල් තඩියා මහල්ලාගෙ දෑත් ලෙවකමින් පපුවෙ තුරුල් වෙයි

" ආ මෙයාගෙ නම  චුටි පුතාද ? "

බන්දුලද සිනාසෙමින් බලලා දෙස බලයි..


මම යන්නම් තාත්තේ  හෙට උදේම ආයෙ පිටත් වෙන්න ඕන..


++++++++++++++++++++++++++++++++++++++++



ගමන් වෙහෙස යන්නට නාන කාමරයට වැදී පැය බාගයක් පමන නා ගත් බන්දුල රාති ආහරයද ඉක්මනින් ගෙන නිදන කාමරය දෙසට ඇදෙන්නට විය

" මොකෝ අදනම් මහන්සි වගේ කෑවෙත් බාගෙට නේද "

බන්දුලගේ බිරිද නිදන කාමරයේ සිට විමසයි

" ඔව් සදා මාර මහන්සි"

බන්දුල ඇදට වැටෙමින් පවසයි

" මොකෝ තාත්තා කියන්නේ "

" දැන් අල්ලපු ගෙදරත් කවුරුත් නෑ .. සදා තාත්තා විතරයි තනියම "

" හ්ම්ම් .. එහෙමද ,, අක්කලා එහෙමවත් ලගදි ඇවිත් නැද්ද "

බන්දුලගේ බිරිද එසේ කිවෙ තරමක නොරිස්සුමකින් බව බන්දුලට වැටහේ .. සමහරක් විට ඔහුගේ ඊලග යෝජනාව ඇයට දැනෙන්නට ඇති බව බන්දුලට සිතේ.

" අක්කලාට අපිට වගේ නෙවෙ නෙ සදා..  මහින්ද අයියත් ලෙඩ ගානේ අක්කා ගියා මාසෙ එහෙම තියෙද්දිත් ඇවිත් ගිහින් තියනවා "

" එහෙනම් ගානක් කඩාගෙන යන්ඩ එන්ඩ ඇති "

" හැමදේම ඔහොම හිතන්ඩ එපා සදා .. දැන් ඔය කතාව ඇති මම එ ගැන බලාගන්නම් "

බන්දුලට තරමක් තද ස්වරයෙන් පවසා ඇදේ අනික් පස්ට හැරෙයි..

මද නිහැඩියාවකට පසු .. නැවත බන්දුලගේ බිරිද හඩ අවදි කරයි..

" මම තරහ යන්න දෙයක් කිව්වෙ නෑ නෙ බන්දු දැන් තාත්තා මෙහෙ ගෙනාව කියන්නකෝ.. ඔයා දවසම ගෙදර නෑ.. මමත් එනකොට හවස් වෙනවා පුතා උනත් දවසම ක්ලාස්. එහෙම උනොත් තාත්තව බලාගන්නත් කාව හරි ගන්න වෙනවා.. "

" හ්ම්ම්.. කොහොමත් ඔයා කතා කරන්නෙම ඔකෙ නරක පැත්තනෙ "

බන්දුල ඉවත බලාගෙනම පවසයි

" හරි හරි අපි කල්පනා කරලා බලමුකෝ මොනවා හරි කරන්න.. ඉතිං දැං තාත්තගේ තනියට එහෙ කවුරුත්ම නැද්ද .."

බන්දුලගේ බිරිය සැමියා දෙස බලමින් විමසයි

" ඉන්නවා.. "

" ආ.. කවුද "

" පූසෙක් "


" මොකෙක්..!  පුසෙක්.. "

බන්දුලගේ බිරිය සිනාවෙමින් සිය සැමියා දෙසට ඇදෙයි...

" ඒ මොකක්ද අනේ ඒ කතාව.. "

" මොකුත් කතාවක් නෙවෙ තාත්ත පූසෙක් හදනවා ඌ තාත්තා එක්කමයි .. ඌ තමා දැන් තාත්තගේ තනියට ඉන්නෙ.. "

" පූසොන්ට තේරෙනවද අනේ තනිකම ගැන "

සදා සිනාව අතරින්ම මුමුනයි

" ඒත් තාත්තට ඒක හොදට තේරෙනවා ඇති සඳා.. "

බන්දුල දෑස් පියාගනිමින් පවසයි..



++++++++++++++++++++++++++++++++++++++++++

ඉස්තෝප්පුවේ කෙලවරක හාන්සි පුටුවේ වාඩිවී සිටින මහල්ලාගේ තුරුලේ නිදාසිටින බලල් තඩියා නැගිට ඈලි මෑලි කඩා මහල්ලාගේ මුහුන දෙස බලයි..

ඈත ගේට්ටු කනු දෙස බලා සිටි මහල්ලා. නින්දෙන් නැගිට තමා දෙස බලා සිටින පුසා දෙස දෑස් යොමු කර හඩ අවදි කරයි


" ඇයි උබට තනිද පුතේ "














Sunday, November 10, 2013

ගන්න අපේ දේ..

 
 
                                  අපේ පවුලක උපන්න එකෙක් වැරදිලා හරි පිස්සෙක් උනොත්.. අපි ඌට ගරු නම්බු නාමයක් දෙනවා " මානසික රෝගියා " කියලා.. පවුලෙ එහෙම එකෙක් නැත්තං මගතොටදි දකින ඕනම මානසික රෝගියෙක් අපිට පිස්සෙක් , මොංගල් කාරයෙක්
  
අපේ පවුලක උපතින් අන්ඩක් අතක් පයක් නැති එකෙක් හිටියොත් අපි ඌට දෙන නම්බු නාමේ ආබාධිතයා. එහෙම එකෙක් හිටියෙ නැත්තං පාරෙදි දකින ඕනම එහෙම එකෙක් අබ්බගාතයෙක් කොරෙක්..

බස් හෝල්ට් වල . මාකට් වල ඕන තරම් පාරවල් වල ඒ වගේ අහිංසකයෝ තියාගෙන බයිට් කරන මනසික ආතල් ගන්න උන් මේ රටේ නෑ කියලා කියන්න පුලුවන්ද. නුවර මාකට් එක ලග ඉන්නවා මනුස්සයෙක් මානසික රෝගයක් තියන . ඒ මනුස්සයා ඒ ලෙඩෙට වඩා අපේ මේ ගෞතම බුද්ධ රාජ්‍යේ පිංවතුන් නිසා විදවනවා. එ මනුස්සයට එහෙන් මෙහෙන් ඇනලා ඒ මිනිහා කුනුහරුපෙන් කෑ ගහන්කොට අපේ ඇත්තෝ පුදුම මානසික සතුටක් ලබනවා මං දැකලා තියනවා

මේ සිංදුවෙ වටිනාම ටිකත් මම දැක්කෙ අන්තිමට ... සිංදුව අවසන් වෙනකොට. පිටරට වලින් ආව මිනිස්සු සිංදුව ඉවරවෙනකොටම නැගිටලා අත්පුඩි තලනකොට ඊටත් විනාඩි දෙක තුනකට විතර පස්සෙ ඉදගෙන ඉන්න බැරි කමටම අපේ සුදු නැශනල් පෝලිමක් එක පිලිවෙලට නැගිටගෙන යනවා දැක්කා.. ඒ අතරෙදි දැක්ක විදේශ රටක කාන්තාවක් ඇස් වලින් වැටෙන කදුලු එක දිගට පිහිදනවා..

.. කාලෙකට කලින් රට පුරා ගියපු ඇඩ් එකක් මතක් උනා..

" ගන්න අපේ දේ "



Friday, November 8, 2013

ෆුල් ෆේස් සහ ෆුල් සේෆ්







අදින් වසර දෙකකට පමණ පෙර මා මුල් වරට යතුරුපැදියක් මිලට ගත් දිනයේ, ඒ සදහා මා සමග ගිය මගේ මිතුරා  සියල්ල අවසන් වූ පසු මා හට කීවෙ මෙවන් වදනකි..

" ඔක්කොටම කලින් ෆුල් ෆේස් හෙල්මට් එකක් ගනින් "

මගේ සම වයසේ වූ ඔහු ඒ වන විටත් යතුරු පැදි අනතුරු දෙකකට මුහුනදී සිටි අතර ඒ දෙවාරයේදීම ඔහු පැවසූ අන්දමින් මුහුන කට බේරාගෙන තිබුනේ ෆුල් ෆේස් හෙල්මටයට පින් සිදු වන්නටය.  ඔහුගේ ගුරුහරුකමින් අනතුරුව බයිසිකලය ගත් පසු දිනම මම ෆුල් ගේස් හෙල්මටයක් මිලදී ගත් අතර මේ වනතෙක්ම මම බයිසිකලය ධාවනය කරන්නේ නම් අනිවාර්‍යෙන්ම පලදින්නේ ෆුල් ෆෙස් හෙල්මටයයි. මින් මාස 8කට පමන පෙර වැසි අවස්ථාවක කඩුගන්නාවේදි බයිසිකලය ලිස්සා ගොස් පෙරලුනු අතර එහිදී කෙලින්ම මගේ මුහුන  පොලොවේ වැදුන නමුත් හෙල්මටය නිසා කිසිදු තුවාලයක් මුහුනට සිදු නොවීය. එසේ යතුරු පැදි ධාවකයන්ගේ ආරක්ශාවට බොහෝ සේ වැදගත් වන ෆුල් ෆේස් හෙල්මටය ඊයෙ සිට තහනම් බවත් ඒ සදහා හේතු යැයි කියමින් නිවේදනයක්ද පොලීසියේ මහත්තුරුන් විසින් ඉදිරිපත් කොට ඇත.. ඒ නිවේදනය මෙසේ වේ..


ආරක්‍ෂිත හිස් වැසුමි සමිබන්ධ නීතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.

එම නියෝග මෙසේය.
01. අනුමත කරන ලද ආරක්‍ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්‍ෂිත පරිදි නිකට පටියකින් සවි කිරිම මගින් පදවන්නාට සහ පසුපස ආසනයේ යන්නාට හිසට වැදෙන පහරකින් ප‍්‍රධාන වශයෙන්ම ආරක්‍ෂාව සලසන්නාවුද පැළද සිටින තැනැත්තාව පහසුවෙන් හඳුනා ගත හැකි වන සේ මුහුණ ප‍්‍රදේශයේ විවෘතව පවත්නාවුද හිසෙහි පළඳින උපකරණ විශේෂයක් විය යුතූය.

02. ආරක්‍ෂිත හිස්වැස්ම පැළදි විට එහි කිසිම කොටසක් දිගූවක් හෝ සමිබන්ධිතයක් මගින් ඇහිබැම සහ නිකට අතර මුහුණෙහි කිසිදු කොටසක් අපහැදිලි වන "සැඟවෙන හෝ විකෘති වන ආකාරයේ වර්ගයක ආරක්‍ෂිත හිස් වැසුමි නොවිය යුතූය.

03.ආරක්‍ෂිත හිස්වැස්ම යන්නෙන් ප‍්‍රමාණවත් අවට පෙනිම වැළැක්විමක් නොමැතිව හිස් වැස්ම පැළඳ සිටින්නාගේ හිසෙහි මුලික තලය ඉහළින් පිහිටි කොටසට වැදෙන පහරකින් ආරක්‍ෂා කිරිම. මුලික වශයෙන් අරමුණු කරගත් ශිර්ෂ පළඳනාවක් අදහස් වේ.

04. ආරක්‍ෂක මුවාව (වයිසරය) මද පැහයෙන් වර්ණවත් කර හෝ කිසියමි වර්ණවත් ද්‍රව්‍යකින් තනා හෝ නොතිබිය යුතූය.

ඉහත සදහන් රෙගූලාසි වලට පටහැනිව පාවිච්චි කරනු ලබන හිස්වැසුමි නිසා අනතූරු වලින් මිය යන හා තුවාල ලබන පිරිස වැඩි වි ඇති අතරම අඳුරු වයිසරය සහිත හිස්වැසුමි භාවිතා කිරිමෙන් අනන්‍යතාවය තහවුරු නොවන පරිදි අපරාධකරුවන් පළාගිය අවස්ථාද වාර්තා වි ඇත.

එම හේතූ නිසා ඉහත රෙගූලාසි වලට පටහැනි ආකාරයෙන් හිස්වැසුමි පළදින පැදිකරුවන් හා පසුපැදිකරුවන්ට රථවාහන නීතිය කි‍්‍රයාත්මක කිරිමට බලාපොරොත්තූ වේ.


ඉහත තීන්දු තීරන ගත් මහත්තුරුන් ජීවිතේ එකදු වතාවක හෝ බයිකලයක ගමන් කොට ඇත්දැයි කියා මම නොදන්නෙමි. නමුත් මෙරට යතුරු පැදි ධාවකයන් හෙල්මට් දමන්නේ මංකොල්ල කන්නට නොව තම්න්ගේ ඔලුව හා දත් ටික ආර්ක්ශාකර ගැනීමට බව මේ නීති හැදු අය අමතක කර ඇති බව පමනක් මෙයින් මනාව පැහෙදිලි වේ.

නිශ්පාදනයේ ප්‍රමිතිය ගැන කතා කරන ඔවුන් කිසිදු අවස්ථාවකදී එහී ප්‍රමිතියක් හෝ ප්‍රමිති සහතිකයක් (SLS) ගැන කතා නොකරයි ඔවුන්ගේ මුලික තර්ක වන්නේ අනන්‍යතව තහවුරු කරගැනීමට නොහැකි වීම හා අපරාධකරුවන් බේරි පලායාමට මෙය යොදා ගන්නා බවයි. 

ලංකාවෙ අනන්‍යතාවය තහවුරු කරගෙනීමට අපහසු ෆුල් ෆේස් හෙල්මටයෙන් පමනක් කියා ඔවුන් පවසනවානම් ලංකාවෙ නීති හදන තැන් වල ඉන්නෙ කුමන ආකරයේ කවටයන්ද කියා තීරනය කිරීම ඔබ සතු වගකීමකි.  වරෙන්තු  සිය ගනන් ඇති උත්තමයෝ පහු ගිය කාලයේ මැති ඇමති වරුන් මැද ඩිනර් ගන්නා බවත්  වම දකුන මාරුවී කර් එලවන ඇමති පුතුන් දැක සැලියුට්ගහන පොලිස් මාමාලාත්  අප පහුගිය කාලය පුරාවටම දැක්කෙමු.

ඒ අනුව මින් පසුවත් බයිසිකල් භාවිතා කර මංකොල්ල කෑම් කලහොත් මුලින්ම..

1  හෙල්මට් දැමීම සපුරා තහනම් කිරීම.
2  බයිසිකල් ධාවනය තහනම් කිරීම. 

වැනි බුද්දිමත් තීරන වලට ශ්‍රි ලංකා පොලිසිය එලබිය හැක. ඉන පසුව බයිසිකල් අත හැර අපරාධකරුවන් මෝටර් රථ යොදාගෙන මංකොල්ල කෑම් කලහොත් . 

1 සියලු රථවල් ජනෙල් වීදුරු ගැල්වීම
2 සියලු මෝටර් රථ වල වහල්වල් ගලවා ඇතුලත සිටින අය පහසුවෙන් හදුනා ගැනීම

යන බුද්ධිමත්  තීරණ වලටද ඔවුන් එලැබිය හැක.

සියලු මානව සම්පත් ,අවි ආයුධ , නවීන රථ වහාන යතුරු පැදි සහ සන්නිවේදන ජාල , සතු පොලිස් දෙපාර්තුමේන්තුවට අපරාදයක් සිදුකොට පලා යන අපරාධකරුවෙකු  අල්ලාගැනීමට ඇති නොහැකියාව වසාගැනීමට දගලන්නෙ .සාමාන්‍ය ජනතාවගේ මූනත් තහඩුව රැකගැනීමට ඇති අයිතියත් නැතිකිරීමෙන්ද.


යතුරු පැදි ධාවකයන් බොහෝ විට මුහුන දෙන අනතුරු වලදී ඔවුන්ගේ මුහුන . නාසය සහ දත් ආරක්ශා වන්නේ නිකට ආරක්ශාව සහිත ෆුල් ෆේස් හෙල්මටය මගින් පමනකි. බුද්දීමත් ආයතනයක් ලෙස පැදිකරුවාගේ ආර්ක්ශාව සහතික කරනවා වෙනුවට මෙවැනි ගොන් බුරූ නීති පැනවීම මගින් පෙනී යන්නෙ නීති පොත් හැදෙන තැන්වල වැඩ වාසය කරන්නෙ තුන් වේල පුන්නකු සහ තනකොල බුදින්නන් බවද ?


හතර වටින් කලු කෙරුනු කෝටි එකහමාරේ සිට ඉහලට මිල උනු කිසිදු රථයකටඔය නීති කිසිවක් වලංගු නොවන්නෙ කුමන පදනමක් මතද කියා ඔය නීති හදන ඇත්තොවත් නීති ක්‍රියාත්මක කරන ඇත්තෝවත් සොයා බලන්නෙ නැත. ඒ හැම එකක්ම හැම නීතියක්ම අහිංසක එදාවේල් කාරයන්ට පමනක්ය.  ඒ අනුව හෙටින් පසු ජාතික රොහල් වලට වැඩි වැඩි වැඩියෙන්  හොස්ස තලා ගත් උන් , දත් කුට්ටම් බඩට යවා ගත් උන් , නහය කුඩු කරගත් උන් පැමිනෙනවා ඇත.

අද සිට බයිසිකල් පැදිය යුත්තෙ කිසි විටක පිටුපසට මිස ඉදිරියට නොවැටෙමි යන දැඩී අධිෂ්ථානයෙනි. සියලු යතුරුපැදිකරුවන් අන්තුරක් සිදුවු විගස මුහුන හරවාගෙන බිමට වැටිය යුතුය. කිසි විටෙක මුහුන ඉදිරිපසට සිටින සේ අන්තුරු සිදුකර ගත නොගත යුතුය. කියන්නට ලියන්නට බොහෝ අදහස් ඇත ඒවා ලියා පලක් නැත.

කෙසේ හෝ හෙටින් පසු ආසියාවේ ආස්චර්යට.... ෆුල් ෆේස් දමාගෙන යා නොහැක.


Monday, October 28, 2013

සිල්ලර ෆෝන් කටුවෙන් ලෝකය දැකීම

  
(මෙය අන්තර්ජාලයෙන් ගත් ජායාරූපයකි)



                                    හිච්චි එකා සන්දියේ මේ ඔලු ගෙඩිය අස්සේ මහා හීන තොගයක් තිබ්බා ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලපු දවසට මට ඕන උනේ පහුවෙනිදා ඉදලා කරාටි පංති යන්ඩ. අමරදේව මහත්ත්යගේ සිංදුවක් අහපු හැම වෙලාවකම මට ඕන උනේ ඒ හඩෙන් සිංදු කියන්ඩ. කොටින්ම කියනවනම් මට පොර වෙන ඕනම දෙයක් දැක්කම මට ඕන උනේ එහෙම වෙන්ඩ.. එකෝම එක සැරයක් පුංචි ලස්සන හොල්මන් කෙල්ලක් ඉන්න චිත්‍රපටියක් TV එකෙ ගිහින් මං මැරෙන්ඩත් හිත හදාගත්තා :D.

ඒ පුංචි කාලේ හරිය...

ඊටත් පස්සෙ කාලෙක මම හිතාගත්තා මගේ පොර මංම වෙන්ඩ ඕන කියලා.. ඒ කියන්නේ මං දැන් පොරක් හරිය. :D

ඊට පස්සෙ පිලිවෙලට බයික් පිස්සුව, ගිටාර් පිස්සුව , ෆෝන් පිස්සුව , කොම්පීටර පිස්සුව , කැමරා පිස්සුව වගේ දේවල් පිලිවෙලට ජීවිතේට ආවා.  කැමරා පිස්සුව ඇරෙන්ඩ අනික් හැම එකම වගේ මේ වෙනකොට හොඳ වෙලා ඉවරයි කැමරා පිස්සුවත් ෆෝන් පිස්සුවට බෙහෙත් ගත්ත කාලෙම ටිකක් යට ගියා.. මොකද ඒ බෙහෙත් මේ ලෙඩේටත් ටිකක් ගුණදායක උන හින්දා..

මේ ඉතිං බොහෝම ආධුනිකයෙක් විදියට මගේ සිල්ලර ෆෝන් කටුවලින් ගහපු ෆොටෝ කෑලි ටිකක්..  ( පින්තූර උඩ එබුවහම ලොකුවට පේනවය කියලා ගූගල් අයියා කියන්නේ )

Photos - Nokia N 97 | Sony Ericsson J10i2 



























Monday, October 21, 2013

හීන සහ මිත්‍රයෝ

                                          මේ කතාවට මග පාදගන්ඩ පොඩි නෙවේ මහා විසාල පදුරු තැලිල්ලක් කොරන්ඩ වෙනවා. එහෙම නොවුනොත් මගේ හිතේ තියන විදියට මේක ලියාගන්ඩ බැරි වෙනවා ඒ හින්දා  වීසි කැති , උදලු පිහි ලෑස්ති කරන් කියවන එක හොදා.........
  
                                  එකදාස්වලින් අවුරුදු ගතවෙන කාලේ  හිච්චි එකෙක් වෙච්ච මට ඉන්ටර්නෙට් කිව්වම ඒක දරාගන්න බැරි තරම් මැජික් එකක් උනා.. ඊටත් පහු කාලෙක ගැටබේ තිබ්බ ඇසළ මේලාවක නොමිලේ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකක පෝලිමේ ඉදලා යාහු සර්ච් එකක් කරපු දවසේ මම හිතුවේ මම බිල්ගෙට්ස්ටත් වඩා පොරක් කියලා.  එ ඔකොමත් ගෙවිලා 2008 අවුරුද්දේ මම ග්‍රාමසේවක සහතික, චරිත සහතික ඔක්කොම තාත්තට පෙන්නලා ගෙදරට ඉන්ටනෙට් ගත්තා.  ඉනටර්නෙට් කියන්නේ යකෙක් රකුසෙක් නොව ආතල් පුස් පැටියෙකි කියලා ගෙදරට කියලා දෙන්ඩ මම නොගත්ත උත්සාහයක් නෑ.

2008 ඉදලා මම 2010 වෙනකම් ඉනටනෙට් එකෙන් හම්බකලා..  සේවක සංඛ්යාව 7ක් වෙච්ච පුංචි ව්‍යාපාරෙකුත් එක්ක.  ඒත් ඉතිං වට පිටාවෙ ඉන්න උන් නම් ඕක දිහා බැලුවේ නිකං කෝන මාන අස්සෙං.. අරූ කෙල්ලෝ 7කුත් තියාගෙන ඉන්ටනෙට් එකේ මොන මගුලක් කොරනවද මන්දා.. උන් හිතුවෙ එහෙම  එතකොට නෑයෝ..  " අනේ නංගියේ දැං කාලෙ වෙන දේවල් දන්නවනේ පුතාව පරිස්සංකරගං.. "  නෑයෝ කොයි තරම් මං ගැන දුක් උනාද.. එව්වා ඉතිං එහෙමයි.

ඇමරිකාවෙයි ලංකාවෙයි එක එක හුටප්පර හින්දා මම මගේ පුංචි ව්‍යාපාරේ  වැඩේ අත ඇරලා දාන්නේ 2010 මැද හරියක් විතර යද්දි.. ඊට පස්සෙ  මොකටද මට ඉන්ටනෙට්.. 

" ඔන්න ඔය මගුල තියනවනම්  ඉස්සර වගේ උබම බිල ගෙවපන් " ගෙදරින් සාධාරන මල්ටි බැරල්

හම්බකරන්ඩත් නැතුව.. වෙන  වැඩකුත් නැතුව මොකටද මං ඉන්ටනෙට් තියාගන්නේ..  ඔන්න එදා මම ජීවිතේට ගත්ත වැදගත්ම තීරනේ ගන්නවා.  

ඕන මගුලක්  කියලා  මම ඉන්ටනෙට් එක තියාගන්ඩ තීරනය කරනවා

හැබෙයි  මම ජිවිතේ හම්බකරපු වටිනාම දේවල් හම්බ කරගත්තේ එදායින් පස්සෙ , ඊට පස්සෙ මම ඉන්ටනෙට් එකෙන් ඉගන ගත්තා. රුපියල් විසි තිස් දාස් ගනන් වල කෝස් මම මාසෙට රුපියල් 1500 දීලා ඉගනගත්තා. ඊටත් පස්සෙ ඔය අන්තර්ජාලෙ තියන අහු මුලු වල හක්කලං කලා. අන්න එතනදි  තමා මගෙ ජීවිතේ වටිනම යාලුවෝ මට හම්බ උනේ..  


ඒ දවස් වල ආගම් ප්‍රශ්න වලට වලි නැගලා ගිය එක අඩ්වියකට මම සෙට් උනේ අහම්බෙන්.. හැමදාම හවසට සරමත් කරට අරන් ඕකට සෙට් වෙන්ඩ මම පුරුදු වෙලා හිටියා.. ඕකට මාව සෙට් කරගත්තේ  සමන්තයා.. , පොර අරාබිකරේ ඉන්න හිත හොද වගේම සෑහෙන්ඩ දැනුමක් තියන ඔටුවෙක්. ඉතින් ඒ අඩිවියෙන් මම ගැලවෙන්නෙ ජීවිතෙට එකතු උනු  හොදම යාලුවෝ ටිකක් හදාගෙන. 

මට 1 වසරෙදි හිටපු හොදම යාලුවා දැන් හොයාගන්ඩවත් නෑ .. ඌ  කැටපිලර් එකක් එලවනවා කියලා ආරන්චි ඒත් දැන් අවුරුදු 15 විතර  දැකලා නෑ. ඊට පස්සෙ හිටපු හොදම යාලුවා ඌත් ආගිය අතක් නෑ..  යාන්තම් හරි ඊට පස්සෙ ඉතුරු උනේ 6 න් 7වසරෙන් පස්සෙ එකතු උනු යාලුවෝ ටික.  මගේ යාලු ආස්සරේ ටිකක් විතර අමුතුයි මිනිහෙක් මට දිරවාගැනීමෙ අපහසුවක් තියනවනම් ඌ ආස්සරේ කිරිමේ ලොකු අපහසුවක් මට තියනවා. ඒ හින්දා ඉස්කෝලෙන් අයින් වෙලා මේ වෙනකොට මට ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු ඉස්කෝලෙ යාලුවෝ ප්‍රමාණයක්.  

මුලින්ම මට ජංජාලෙන් හම්බ උනු යාලුවා සමන්තයා..  කියලා කිව්වනේ  .. ඌ ඉතිං මාව බොහොම දරුනු පොරක් කලා. කොටින්ම මම අර කලින් කිව්ව සයිට් එකට ලොග් වෙනකොට වයස 18 අඩු උන් කොම්පීතර ඕෆ් කරලා නැගිටලා ගියා කියලා අපේ සුදු අක්කා මං එක්ක කිව්වා පස්සෙ කාලෙක..

එහෙම නැහැදිලා හිටපු මාව කවි සීපද ලියපිය කියලා හොද මනුස්සයෙක් කොරන්නේ මට ඊලගට හම්බ වෙච්ච මගේ ආදරණිය සුදු අක්කා   කොටින්ම කියනවනම් එදා ඉදලා අද වෙනකම්  ඉගනගං.. අරක කෝස් එක කරපං , මේ කෝස් එක කරපං කියලා අම්මෙක් වගේ බලාගන්නේ, ලංකාව හතර වටේ ට්‍රිප් එක්ක යන්නේ, ඒ වගෙම බූලොන්ට නැති තෑගි , ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් හොයලා දෙන්නේ,  ඒ වගේම අපේ හාමිනේව බලාගන්නෙත්  අපේ සුදු අක්කා 
 
ඊට පස්සෙ   හම්බ උනේ  ඉබ්බා  ඉබ්බෙක් කිව්වට් ඌ හෙන දිග පලල එකෙක්.  ඌගෙ පොඩි අවුලකට තියෙන්නෙ ඌ ජීවත්වෙන්නේ උගේ පපා කියපු විදියට පපා ඌට ඕන දේවල් ටික ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කියලා දීල නිසා ,ඌ තාමත් ඔක්කොම දේවල් කරන්නේ අග මුල මාරු කොරලා.. ඌත් ඉතිං මොන තරම් මොලේ අමාරුකං තිබ්බත් හොද එකා. සමාජ සත්කාරේ කිව්වොත් ඉතිං ඉහටත් උඩින් රට වටේ පන්සල් හදනවා මේ දවස් වලනම්. වැඩිපුරම අවුරුදු 30 පැන්න නංගිලා ඉන්න පැති වල තමා මිනිහා පිංකම් කරන්නෙ

ඕං ඊලගට මට සෙට් වෙන්නේ අන්තර්ජාලේ  හෙන දරුනුයි කියලා හිතං හිටිය පොරක්. ඌට ජංජාලේ ඈයෝ නම් කියන්නේ මාරයා කියලා. උගේ මාර ගතිය ඉස්සර්වෙලාම දැනගත්තේ ඌට ඉස්සරවෙලාම ෆෝන් එකෙන් කතා කරපු දවසේ හලෝ මාරයද කියලා අහපුවම. එහා පැත්තෙන් සැමන් ටින් එකක්  දහයේ කියත් පටියකින් හූරනවා වගේ ඔව් අනේ කියලා සද්දයක් ආවා..  අනේ ඉතිං උගේ මාරකං.. මොනවා කලත් ඉතිං රට වටේ හක්කලං ගහන්ටයි හැමදාම කොලඹ ඇද්දම කන්ඩ හදලා දෙන එකයි අපරාදේ කියන්ඩ බෑ ඌ හරියටම කරනවා.. මක්ක කලත් ඉතිං ඕනම වැඩකට නෑ බෑ නොකියා. ඇවිත් කරලා දෙනවා. කොටින්ම කියනවනම් ඉතිං බාප්පා වගේ තමා 

 මොනදේ විහිලුවට කිව්වත් ජිවිතේ ගොඩදාගන්ඩ අමාරු උනු ගොඩක් ප්‍රශ්න වලදි , ඔය යාලුවෝ සෙට් එක මං එක්ක හිටියා . මේ වගෙම තවත් කීප දෙනෙක් මට ජංජාලේ නිසා හම්බ උනා ඒ  අය එක්ක එකතු වෙලා කරපු මේ වගේ ගොඩක් දේවල් වලින් ජීවිතේට  කවදාවත් අමතක  වෙන් නැති දේවල් බොහොමයක් මගේ ජිවිතේට එකතු උනා..  ඒ වගේම ඒ වගේ හම්බවෙච්ච තවත් මිත්‍රයෙක් නිසා  ජීවිතේ තිබ්බ ලොකු හීනයක් පහු ගිය දාක ඉෂ්ඨ උනා

අමරදේව මාස්ටර් කියන්නෙ මගෙ ජීවිතේ වීරයෙක්. හුගක් උන්ට බැට් මෑන් ,සුපර් මෑන් , ෂාරුක් ඛාන් වීරයෙක් වෙන වයස වෙද්දී මගෙ වීරයා උනේ අමරදේව මාස්ටර්, පන්ති කාමරේ ගුරුවරයෙක් නැති වෙලාවට  එහෙමත් නැත්තං සංගීත කාමරේ ගෙවුන ගොඩක් වෙලාවල් වලට තාල ඇල්ලුනේ අමරදේව මාස්ටර්ගේ සින්දු වලට.  ඒ කාලෙ ඉදලම මගේ හිතේ තිබ්බා ලොකු හීනයක්.. ඒ තමා අමරදේව මාස්ටර් ඇස්දෙකෙන් දැකලා එතුමගේ ප්‍රසංගයක් බලන එක. එත් එක අවුරුදු 15කටත් වඩා මගේ හිතේ හීනයක්ම වෙලා තිබ්බා. වෙලාවකට හිතුනා ඒක හීනයක්ම වෙයි කියලා.. ඒ අතරෙදි තමා අපේ  සුදු අක්කා  මගේ තිබ්බ මේ උන ගැන විස්තරේ සුදු අක්කගෙයි මගෙයි යාලුවෙක් වෙච්ච සත් ගුනවත් තිස්ස අයියට කියන්නේ. මොකද අක්කත් කිහිප සැරයක්ම උත්සාහ කලා මට එතුමගේ ප්‍රසංගයක් බලන්න අවස්ථාවක් අරන් දෙන්න. ඒ වගේම නෙලුම් පොකුනේ අමරදේව මාස්ටර් කරපු ප්‍රසංගේ අන්තිම මොහොතේ රනිලුයි ෆොන්සේකා මහත්තයයි නිසා  මට මිස් වෙලා ගියා.

ඉතිං ඔය පනිවිඩේ දැනගත්තු අපේ සත් ගුනවත් තිස්ස අයියා බෝම මහන්සි වෙනවා , මට ඔය අවස්ථාව අරන් දෙන්න. නිකං හරි බුකියෙ දැක්කත් තිස්ස අයියා මෙහෙම කියනවා " මල්ලි මට අමතක වෙලා නෑ හොදේ " යාලුවෝ කියන වචනේ තේරුම හරි පුදුමයි කියලා ඒ ගොඩක් වෙලාවට මට හිතුනා. ඉතිං  වැඩ රාජකාරී දාහක් අස්සෙ දව්ස් කීපෙකට ලංකාවට ඇවිත් හිටපු තිස්ස අයියා පහු ගිය දවසක මට කෝල් එකක් දෙනවා..

"මල්ලී අමරදේව මාස්ටර්ගේ ෂෝ එකක් තියනවා හෙට උබට එන්න පුලුවන්ද ? "

ඊලග මොහොතේ මට දැනුනේ නිකං මගේ කන් දෙක දෙපැත්තෙන්  A/C කලා වගේ හැගීමක්. 

අන්න එහෙමයි යාලුවෝ හින්දා හීන හැබෑ වෙන්නේ.. හැබෙයි මේ කතාවෙදි මට මස් කෑල්ලක් නෙවෙ රාත්තලම හම්බ උනා.. පහල ෆොටෝ කෑලි ටික ඒකට සාක්කි..







  මගේ.. ජීවිත කාලෙදි යාලුවෝ කියලා කටපුරා කියන්න පුලුවන් පිරිසක් මම හම්බකරගත්තා   මේ සටහන ලියන්න හිතුවේ මේ හැමදෙයක්ම වෙනුවෙන් කරපු ස්තූතියට තිස්ස අයියා කියපු මේ කතාව දැක්කට පස්සෙ..

 " උඹල කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "


ඒක ඒ විදියටම  මටත් කියන්න වෙනවා මේ සටහන ලිව්වෙත් ඒ වෙනුවෙන්..........



" ඔයාලා කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "



Saturday, October 5, 2013

සංගීත කාමරේ.... සහ මගේ ගුරුවරිය






                                                   ඉස්කෝලෙ කාලෙ කියන්නෙ  අදටත්  ලොකූ මතක ගොඩක්... ඒ මතක වලින් වැඩි හරියක් එකතු වෙච්ච තැනක් තමා අපේ සංගීත කාමරේ කියන්නෙ.. දවසට එක එක විශයන් වලට බෙදලා පීරියඩ් කීපයක් තිබ්බත් අපි කීපදෙනෙක්ගේ සදාකාලික පන්ති කාමරේ බවට පත්වෙලා තිබ්බේ අපේ පුංචි සංගීත කාමරේ.. එහෙම වෙලාවට අපේ මැඩම්ගෙන් බැනුමක් දෙකක් අහගෙන සංගීත කාමරෙන් එලියට ආවත්. ආයෙම විනාඩි ගානකින් අපි නතර උනේ සංගිත කාමරේ..  අමරදේව මාස්ටර්.. සුනිල් මහත්තයා ඒ දවස්වල අපි පට්ට ගැහුවා. 

ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් එහෙමත් නැත්තං සමස්ත ලංකා තරග පවත්වන කාලෙ අපි බොහොම සතුටින් හිටපු කාලයක්. මොකද එතකොට අපිට නීත්‍යානුකූලවම සංගීත කාමරේ ඉන්න අයිතිය හම්බවෙනවා. ඇත්තටම අදටත් එ මතක හරි සුන්දරයි..  මම ඉස්කෝලෙන් සමුගත්ත අවුරුද්දෙ අපි එකතුවෙලා සංගීත දිනයක් පටන්ගත්තා.. ඒ අපේ පාසලේ මුල්ම වතාවට සංගීත අංශයෙන් කරපු දෙයක් විදියට. එකෙ නම " ස්වර රංජනා" නම තිබ්බේ අපේම එකෙක් .. ඉතින් පහුගිය 3 වෙනිදා වෙනකොට   අපි සංගීත දිනය වෙනුවෙන්  සර්පිනාවයි තබ්ලාවයි , වයලීනෙයි වගේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තිබ්බ පොඩි ඔගෙස්ට්‍රාවකින් පටන් ගත්තු ස්වර රංජනාව 9 අවුරුද්ද පහු කලා ..නිකං නෙවෙ ලංකාවෙ තියන හොදම ඔගෙස්ට්‍රාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් කොල්ලො ටිකක් සහ වොයිස් කරන්න පුලුවන් කොල්ලො ටිකක් එක්ක.. 

අවංකවම එදා අපේ ඇස්වලට කදුලු ආවා..

මේ කතන්දරෙ මෙ විදියට ලියන්න හිතුවෙ මම ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 8ක් වෙලත් සංගීත කාමරේ එක්ක බැදුනු ජිවිතේ තාමත් ඒ ව්දියටම තියෙන එක ගැන හිතේ තියන සතුට නිසා.. ඉස්කෝල ජිවිතේදී අපිට ගොඩක් ගුරුවරු හම්බවෙනවා. මටත් ඒ වගේ හම්බ උනා. එත් අදටත් කකුල් දෙක අල්ලලා පාරක උනත් දනගහලා වදින්න පුලුවන් ගුරුවරු දෙන්නයි එදත් අදත් මට ඉන්නෙ .. එකෙන් පලවෙනියා මගේ සංගීත ගුරුවරිය , අනෙක් කෙනා මගේ නැටුම් ගුරුවරයා.. 

අපේ සංගීත මැඩම් ගැන කියනවනම් .. මැඩම්ගෙන් ගුටි නොකාපු , බැනුම් අහපු නැති එකෙක් නෑ.. හැබෙයි කිසිම දවසක හිතේ අපි ගැන තරහක් තිබිලත් නෑ . මගේ කොල්ලො ටික මගෙ දරුවෝ ටික කියලා තමා අපෙ මැඩම් හැමදාම අපිට කතා කලෙ.  ඇත්තටම සංගීත කමරේදී අපේ මැඩම් අපිට අම්මා කෙනෙක් .. එක කතාවට විතරක් කියන දෙයක් නෙවෙ. සාමන්යෙන් ගුරුවරු නොකරන බොහෝ දේවල් අපේ මැඩම් අපි වෙනුවෙන් කලා..   මෙ එහෙම කතා ටිකක්

අපෙ ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබ්බම මැඩම්ට ප්‍රධාන ගැටලුවක් උන එකෙක් තමා මම. මොකද මම බෑන්ඩ් ගැහුවා , නැටුම් කලා , ඉතිං උත්සවේකදි සංගීත අංශයෙන් තියන ප්‍රසංග අංකෙ මම අර ඔක්කොම වැඩ ටික ඉවර කරල එනකම් මැඩම් පහු කරලා තියාගන්නවා..  මැඩම්ට ඔන තරම් පුලුවන් කම තිබ්බා මගේ තැනට හිටගෙන ඉන්න විතරක් පුලුවන් එකෙක් දාලා ඒ බර ඔලුවට නොගෙන ඉන්න. එත් කිසිම දවසක මැඩම් එහෙම කලේ නෑ. ඕනම එකෙක්ට යන්තමින් හරි දෙයක් පුලුවන් කියලා මැඩම් දන්නවනම් ඌව කොහොම හරි ගොඩ යවන්න අපේ මැඩම් දැනගෙන හිටියා.. ඒ වගේම තමුන්ගේ වැඩෙ විතරක් කරගෙන අනික් දේවල් බල්ලට ගියත් කමක් නෑ කියන ඕන තරම් ගුරුවරු ඉද්දි. තමන්ගෙ වැඩේ පහු කරගෙන හරි ලමයාට ඒ හැම්දේකටම සහභාගි වෙන්ඩ වෙලාව හදලා දුන්නා.. ඒ මැඩම්ගේ හැටි..

අපේ මැඩම් ගැන කියන්න තව කතා නම් කීයක් තියනවද.. අපෙත් එක්ක හිටපු එකෙක්ට විභාගයක් ලියන්න සල්ලි නැති වෙච්ච වෙලාවක . මූ මුනත් ඇද කරගෙන සංගීත කමරේට වෙලා මැලවිලා හිටියා. ප්‍ර්ශ්නේ දැනගත්තු අපේ මැඩම් කෙලින්ම නතර උනේ ඉස්කෝලෙ ඉස්සරහ තියන බැංකුවෙ. අතේ තිබ්බ වලල්ල උකස් කරලා අපෙ එකාට  විභාගෙ ලියන්න සල්ලි දුන්නෙ අපේ මැඩම්.. ඒ වගෙ පන්ති යන්න සල්ලි දුන්නු උන් ඉසේ කෙස් ගානට ඇති..  ආයෙත් දවසක අපේ පොඩි එකෙක් ෆෝන් එකකට පිස්සු වැටිලා ඒක ගන්න සල්ලි නෑ කියලා දුකෙන් ඉන්නකොට කරේ තිබ්බ මාලෙ උකස් කරලා උබේ ආසාවනේ කියලා සල්ලි දුන්නේ අපේ මැඩම්.. ඒ නිසා  සංගීත කාමරේදි අපෙ අම්මා කියලා කියන  වචනෙට විතරක් සීමා නොවුනු ආදරයක් අපේ මැඩම්ගෙන අපිට ලැබුනා.


ඉස්කෝලෙ  අපි කරපු ගොඩක් උත්සව , ප්‍රසංග වලදි මැඩම්ගේ කනකර බැංකු වල නතර උනා. අපි වෙනුවෙන් ඒ තරම් දේවල් කැපකරපු ගුරුවරයෙක් මට මේ වෙනකම් කවදාවත් මුනගෙහිලා නෑ,  එදා සංගීත කාමරේ මැඩම්ගෙන ඉගනගත්තු හැම එකාම අදටත් මැඩම්ට , අපෙ සංගීත කාමරෙට පන වගේ ආදරේ කරන්නේ ඒ හින්දා..

Monday, September 23, 2013

චන්දේ...

චන්දේ...





එකදාස් ගනන්වලින් අවුරුදු ගනන් කරන කාලේ මම මීට වඩා බරපතලෙටම දේශපාලනේ කලා. චන්දෙ ඔන්න මෙන්න කියලා ගෙදරට එන පාට පාට මාමලගෙන් වැඩිම කැලෙන්ඩර් කාඩ්. පෝස්ටර් එකතු කරන සීතල යුද්දයක් මමයි මල්ලි අතරෙයි දරුනුවටම තිබ්බා ගොඩාක් වෙලාවට ඒවා කෙලවර උනේ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලින්. කැෆේ සංවිධාන වගේ සංවිධාන නොවුනත් අපේ අම්මගෙ හරි තාත්තගෙ හරි සංවිධානයක් මැදිහත් වෙලා ඒවා නීරික්ෂනය කරලා ඒ වෙලාවෙම බරපතල දඩුවමුත් ලබා දුන්නා.

ඊට පස්සෙ වැදගත්ම දවස උනේ චන්ද දවස . උදේ පාන්දරින් ගිහින් චන්දෙ දාල එන අම්මගෙයි තාත්තගෙයි පුන්චි ඇගිල්ල දිහා බලාගෙන අපී අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා . මොකද අපිටත් අයිතියක් තියනවා මේ රටේ පුරවැසියෝ වැස්සියෝ විදිහට අපේ මනාපේ දෙන්ඩ. හැමදේටම අපි පුන්චි වැඩි කියන එක පිලිගන්ඩ පුලුවන්ද.  දෙපාරක් තුන්පාරක් පුම්බගෙන  එහෙ මෙහෙ යනකොට ඔන්න තාත්තගෙන් කැදවීමක් එනවා.

" එනවා කන්තෝරු කාමරේට "

අන්න ඒ වෙලාවට පුම්බගත්ත නැට්ට අකුලගෙන මල්ලිට කලින් කොහොම හරි මම කාමරේට පැනගන්නවා. ඒ දවස් වල අපේ තාත්තා ලග තිබ්බා මාකර් පෑන් ඉතින් තාත්තා කරන්නේ ඕකෙන් අපේ පුන්චි ඇගිල්ල පාට කරන එක. අන්න ඒ විදියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ  පුරවැසියෙක් වීමෙ අයිතිය කන්තෝරු කාමරේදී අපේ තාත්ත ලබා දෙනවා.



ඉතින් ඊට පස්සෙ හරී සන්තෝසයි. ගෙදරට එන බල්ලටයි කොල්ලටයි නැන්දලටයි මාමලටයි සහ සීයලුම හෙලවෙන ජීවියෙක් දැක්ක ගමන් අපි කරන්නෙ අපේ ඇගිල්ල උස්සලා පෙන්වන එක. සෙල්ලංද අපිත් චන්දෙ දීලා ඉන්නෙ.


එහෙමත් වෙලාවක කොරන්ඩ වැඩක් නැතිම එකෙක් කුපාඩි කමට අපෙන් ප්‍ර්ශ්නයක් අහනවා. ආ ලොක්කා කාටද චන්දෙ දුන්නෙ. 

ඕකට මම හැමදාම දුන්නෙ එකම උත්තරේ ... පලාත් සබා , ප්‍රාදේශිය සබා , ජානාධිපතිවරනේ ඔය මොකක් උනත් මගේ උත්තරේ උනේ " ප්‍රේමදාස මහත්තයට " කියන එක. ඒ උත්තරෙන් පස්සෙ වටේ පිටේ උන් කුප්ප විදියට හිනා වෙනකොට ආයෙම පූර්ව මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති උන වාර බොහොමයක් තිබ්බා.

ඊට පස්සෙ හවස තුන තුනහාමාර වෙනකොට මායි මල්ලිවයි එක්කරගෙන අපේ තාත්ත පාර අයිනට යනවා ජනතාවගේ පරාමාධිපත්‍ය පෙට්ටි වලට පුරවගෙන අරන් යන හැටි බලන්ඩ.   ලංගම බස් ලයිට් දාගෙන දුම් පිබගෙන අපිව පහු කරන් යනකොට ඒ බස් වල ඩ්‍රයිවර් ලා මගේ සුපිරි වීර ලැයිස්තුවෙ සුපර් මෑන්ටත් වඩා අඩි 25ක් 30ක් උඩින් තමා කොහොමත් නතර වෙන්නෙ. චන්දෙ ඉවරවෙලත් මාසයක් දෙකක් යනකම් ලංගම බස් ඩ්‍රයිවර්ලා මගේ ගරු කටයුතු ලිස්ට් එකෙන් කොහොමටවත් පහලට බහින් නෑ .. කොහොමත් අන්තිම චන්ද පෙට්ටියත් අරන් ගියා කියන වචනෙ මට විශ්වාස කරන්ඩ පුලුවන් එකෙක්ගෙ කටින් පිටවෙනක්ම් අපි ගෙදර ගියෙත් නෑ

අන්න එහෙමයි අපි චන්ද කලේ

එතනින් පස්සෙ උදා වෙන්නේ  සෑහෙන්ඩ වැඩ තියන කොටස . හය හත වෙනකොට පහල ගෙදර අය අපේ ගෙදෙට්ට එන්න පටන් ගන්නවා. චන්ද් ප්‍රටිපල බලන්ඩ අපේ බාප්පා ඒ දවස් වල අනිත් පැත්තේ . අපේ තාත්ත කොහොමත් උපන්දා ඉදලා යූ, එන් ,පී   ඉතින් අපි කලින්ම ප්‍රතිපල යනකොට කෑ ගහන්ඩ ඕන පක්ශෙ පාට සතා තාත්තගෙන් අහගන්නවා.  ඔය වෙලාව වෙනකොට තාත්ත අපිට දෙනවා කොල ස්ටෙප්ලර් කරලා හදපු පොතක්. අපි එතකොට තේරුම් ගන්නවා අපි සෑහෙන්ඩ වැදගත් කාර්යක් ඉටුකල යුතු පුද්ගලයෝ කියලා. කොහොමත් ඒ වෙනකොට මම තීරණය කරලා ඉවරයි දවසම ඇහෙරලා ඒ පවරපු රාජකාරිය අකුරටම ඉටු කරනවා කියලා. හැබෙයි  ඒ පොතක පිටු දෙකක් තුනක් ඇරෙන්ඩ කවදාවත් ඊට වඩා නම් ලියාගන්ඩ බැරි උනා. 

මුල්ම චන්ද ප්‍රතිපල අතරේ උඩින්ම ඉන්න සතා අලියනම් . ආයේ ඉතින් අපි යටිගිරියෙන් අපේ සතුට ප්‍රකාශ කරනවා ලේසිද දිනලා ඉන්නේ අපේ තාත්තා. ඊලග චන්ද ප්‍රතිපල ටිකත් අලියම උනාම වෙන දේ හිතාගන්න අමාරු නෑ නේ. මම හිතන්නෙ අපේ ගෙදර උන් යූ.එන්.පී කියලා මුලු හාරිස්පත්තුවම ඒ දවස්වල දන්නවා ඇති.  අපේ මේ සතුට ප්‍රකාශ කිරීම හමුවේ අපේ බාප්පා පාන්දර ජාමෙම ගෙදර බලා යන්ඩ යනවා. මම මේ මෑතකදි කල්පනා කලා ඒ මනුස්සය කොයි තරම් නම් දුකක් අපි හින්දා විදින්ඩ ඇද්ද කියලා.   කොහොමෙන් හරි පහුවෙනිදට චන්දෙ ඉවර උනාම අපේ තාත්තගෙ පක්ශෙ දිනලා නම් අපි ඉන්නෙ පුදුම සතුටකින්. මොකද කියනවනම් දිනලා ඉන්නේ අපේ තාත්තා. අපේ බාප්පා පැරදිලා.  ඉතින් සන්තෝස නැද්ද... 


ආයෙම කියනවනම් අන්න එහෙමයි අපි චන්ද කලේ



ඔය ඔක්කොම ගෙවිලා අද වෙද්දි අවුරුදු 27ක් ගෙවිලා  , තාත්තගෙ මාකර් එකෙන් නැතුව ගිහිල්ලම පාට කරගෙන වරෙන් කියලා මට ආන්ඩුවෙන් මුල්ම කොලේ එනකොට මට  දේශපාලනේ කියන ආතල් එක  කුනු ගොඩකටත් එහා ගිය ජරාවක් වෙලා . එදායින් පස්සෙ  ආපු චන්ද කාඩ් වලින් එකක් ඇරෙන්න අනික් හැම එකම අපේ තාත්තගේ අල්මාරියේ එකතු වෙලා තියනවා.  එකම එක සැරයක් හිතුනා එක දෙයක් වෙනුවෙන් කතිරේ ගහන්න යුද්දෙන් පස්සෙ තිබ්බ චන්දෙදි  පොඩිම කාලෙ අලියට හුරේ දාපු මම ගිහින්  මහින්ද ලොක්කට කතිරේ ගැහුවා.  එදා රනිල්ට දුක නොහිතුනත් අපේ තාත්තට සෑහෙන්ඩ දුක හිතෙන්ඩ ඇති.  


කොහොමත් මේ වෙනකොට කවදාවත් වෙනස් නොවෙන තීරණයක් මම අරන් ඉවරයි. මේ ජීවිතේ තියනකම් කිසිම දවසක කිසිම එකෙකුට මම චන්දේ දෙන් නෑ.  










Sunday, September 1, 2013

සමාජවාදය මගේ බාසාවෙන්

http://4.bp.blogspot.com/-ulS-kEzfgt0/Ty00-VRO9jI/AAAAAAAAAag/55EdiHlWh4c/s320/Colombo_JVPrap.jpg

 

                     පහු ගිය දවස් ටිකේ බ්ලොග් ලියලා නොසෑහෙන්ඩ බැනුම් අහගත්ත එකේ අදත් නිවාඩු පාඩුවෙ මොනවා හරි අහගන්න හිතුනා.එහෙම හිතුනේ පහුගිය දාක ලියපු ලිපියකට දාල තිබ්බ කොමෙන්ටුවක් දැක්කම. ඔන්න එහෙනම් ඒක බලාගන්ඩකෝ.


Anonymous - මිත්‍රයා ඔබ විසින් මේ ලිපිය ලියන්න ඇත්තේ සමහර විට ජනතා විමුක්ති පෙරමුන ගැන ඔබේ හිතේ ඇති ආකල්ප පදනම් කරගෙන වෙන්න පුලුවන්. ඒත් අමතක නොකල යුතුයි විශ්වවිද්‍යාල ප්‍රජාවට යම් කාරන දිනා ගැනීමට ඉතිහාසය තුලදී ඔවුන්ගේ මත ඉහල වැදගත්කමක් දැක්වුව බව. ඉතිහාසය පුරා ඔවුන් විසින් දිනා දුන් දේවල් අපි අත්විදිනවා.ඒත් ජනතාව ඒ පිලිබදව දැනුවත් නෑ හේතුව ඔවුන් ඒවට සටන් කලේ නිහඩව.

ඉතිං මේ කොමෙන්ටුව දැක්කට පස්සෙ මේකට උත්තරයක් ලියන්ඩ හිතුනා. මොකද කියනවනම් ඇනෝ මිත්‍රයා කිව්වා වගේ ජනතා විමුක්ති පෙරමුණ ගැන මගේ තියන ආකල්පෙ වැරදි ඇති . ඒ නිසා එහෙම වැරදි ආකල්පයක් හැදුනේ ඇයි කියලා ලියලා දාන්න හිතුනා. මෙතිනින් එහාට ලියවෙන කතන්දරෙන් පස්සෙ මගෙ වැරදි  ආකල්පෙ කොහොමද ගොඩ නැගුනේ කියලා කාට කාට හරි තේරුනොත් මගේ වැරද්ද නිවරදි කරලා දෙන්න. එහෙනම් කතාව පටන් ගමු.


මම ඉස්කෝලෙ යන කාලෙ මට හොදට මතක කාලයක් තිබ්බා. ඒ 9 වසර සතියට දවස් 3ක් දිග කලිසමයි දවස් 2ක් කොට කලිසමයි ඇන්ද කාලෙ. මොකද කියනවනම් 9 වසරෙදි තමා අපිට දිග කලිසම් අදින්න අවසර ලැබුනේ. එකපාර කලිසම් දෙකක් මහගන්න බැරි නිසා කාලයක් යනකම් එක සුදු කලිසමයි අනිත් දවසට කොට කලිසමයි ඇදන් මම ඉස්කෝලෙ ගියේ. ඒත් ඔය අවසරේ ලැබුන ගමන් මට සුදු කලිසමක් මහගන්න හැටියක් තිබ්බෙ නෑ. නමුත් ඔය අවසරේ ලැබුන ගමන්ම පන්තියෙන් කොටසක් ඉස්කෝලෙ ආවෙ සතිය පුරා සුදු කලිසම් ඇදගෙන.

අන්න ඒ කාලෙ හරි අපූරු දෙවල් උනා. පන්තියෙ හිටපු කොට කලිසම් ඇදගෙන හිටපු සෙට් එක සතිය පුරාම හෙව්වෙ දිග කලිසම් වල අවුල්. 

" බලපන් අරක මහල තියන හැටි "
" අපෝ අරුගේ කකුලේ ලොකූ ඌට කලින් කලිසම යනවා "
" යකෝ බලපන්කෝ උගේ ලොකු කම දැන් නලුවා කියලා හිතන් ඉන්නෙ "

ඔය වගේ එකී නොකී දේවල් දාහක් කොට කලිසම් කල්ලියෙ ලිස්ට් වල තිබුනා. හැබැයි දිග කලිසම් ඇදපු එකෙක්ගෙවත් එහෙම ලොකුකමක් මට පෙනුනේ නෑ. මට ඕන උනෙත් පුලුවන් තරම් ඉක්මනට දිග කලිසමක් මහ ගන්න. ඔය කාලෙ කොට කලිසම් ගහපු උන් හරි එකමුතුයි. මං එක්කත් හෙන ෆිට් වෙච්ච උන් ටිකක් හිටියා. හැබෙයි ඒ මමත් දිග කලිසමක් මහ ගන්නකම් විතරයි. මම දිග කලිසමට බැස්ස ගමන් මං එක්ක සෙට් වෙලා දිග කලිසම් වල ඇද කියපු සෙට් එක මගෙන් ඈත් උනා. හැබ්යි ඒ උනුත් දිග කලිසම් මහගන්නකම් විතරයි. හැබැයි කොට කලිසම ඇදෙගෙන තමන්ගෙ පාඩුවෙ හිටපු උන් ඕන තරම් හිටියා ඔය කැහිල්ල කැක්කුම තිබ්බෙ කීප දෙනෙක්ට විතරයි. 

ඉතිං ඒ කතාවට කොහොමද ජනතා විමුක්ති පෙරමුණ ගෑවෙන්නෙ.

ආ.....  ඒ මෙන්න මෙහෙමයි. මම කවදාවත් සමාජාදය ගැන පොත් කියවලා නෑ. දේශන අහලා නෑ. අහන්න උවමනාවකුත් නෑ. ඒත් මට සමාජවාදය උගන්වන්ඩ ආව ගොඩක් දෙනෙක්  මම ඔය කතාවෙ කියපු කොට කලිසම් කාරයෝ වගේ. සමහර විට ඇත්ත සමාජවාදේ කියන්නෙ රතු දර්ශනේ කියන්නෙ යම් ගතයුත්තක් ඇති හෝ තාර්කික දර්ශනයක් වෙන්න ඇති ඒත්. ලංකාවෙ සමාජවාදය කියන්නෙ තනිකරම ඉරිසියාව. තමුන්ට නැති දේ අනුන්ට තියන දේ ගෙන ඇති ඉරිසියාව. මට ජීවිතේ එක එක කාල වලදී රතු රත්නලා ගොඩක් ආස්සරේ කරන්න ලැබුනා. බොහොමයක් අය තදින්ම ඔය කියන පෙරමුණට වැඩ කරපු උදවිය. හැබ්යි ඒ හැම එකා ගාවම මම දැක්කේ දර්ශනයකට වඩා ඉරිසියාවක්. උන්ට කවදාවත් ඒ දේවල් ලබාගන්න ඉලක්කයක් තිබ්බෙ නෑ. තිබ්බේ ඒ දේවල් තියන උන්ට ඉරිසියා කරන පුරුද්ද විතරයි. 

වැඩිය දුරක නෙවෙ මගේ පවුලෙ නෑදෑ වෙන කෙනෙක් ඉන්නවා උග්‍ර රතු රත්න කෙනෙක්. දන්නා තරමින් ප්‍රාදේශිය වශයෙන් ඔය ප්ක්ශෙ තනතුරු දරන කෙනෙක්. මිනිහාගෙ සමාජවාදෙ හරි පුදුමයි. ඉස්සරවෙලාම කාලයක් පුරා නැටුවා 5 වසරට  තමන්ගෙ ලමයව නුවර ප්‍රධාන පෙලෙ පාසලකට දා ගන්න. ඒක හරි ගියේ නෑ පස්සෙ කාලෙක මිනිහා මං එක්කම කියනවා මේ ජනප්‍රිය පාසල් කියන ඒවා නැති කරන්න ඕනලු . ගමේ පාසල් වලට වෙන අකටයුතු ගැන. මිනිස්සුමලු ඒවා ජනප්‍රිය කියලා ලේබල් කරලා තියෙන්නෙ අරකද මේකද. හැබෙයි ඊටා අවුරුදු දෙකක් විතර ගිය තැන ඌ ආයෙම මගෙන් අහනවා උගෙ ලොකු පුතා O/L කරනවා.  ඒකෙන් පස්සෙ මම ගිය ඉස්කෝලෙට දා ගන්න පුලුවන්ද කියලා. 

ඉතින් මට හරී.... සන්තෝසයි... 

ඊට පස්සෙ එකෙක් හිටියා ඇමරිකාවට බටහිර රටවලට පලු යන්ඩ බනින එකෙක්. අද ඌ ඉන්නෙ UK වල දැන් උගේ සමාජවාදේ කෙසෙ වෙතත් ඌට සිංහලත් බෑ.


හා... ඉතින් ඔන්න ඔහොමයි මට හම්බ උනු රතු රත්නලා. ඒ උන්දලාගෙනුත් මම ඔය සමාජවාදෙ ගැන සෑහෙන්න දැනුවත් උනා. එත් සමාජවාදේ සහ ජනතා විමුක්ති පෙරමුණ ගැන හිතට දැනෙනම කතාව මට කියලා දුන්නෙ අපේ තාත්තා. ඒ නිසා ඒ ආකල්පේ කවදාවත් වෙනස් වෙන එකක් නෑ මොකද චේ ගුවේරට. ලෙනින්ට වඩා මට මගේ තාත්තව විශ්වාසයි


 ඉතිං දැන් කියන්න යන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිහඩව  සාමාන්‍ය ජනතාව වෙනුවෙන් දිනා දුන්  ඒ වටිනා කැපකිරීම් ගැන අපේ තාත්තා මට කියපු කතාව.


දවසක් තාත්තයි මමයි ගෙදර පේන්ට් කරන්න පටන් ගත්තා. මතක හැටියට 2004 විතර. අපෙ ගෙදර ඇතුලට හුලන් එන්න තියන කවුලු වලට කාඩ්බෝඩ් ගහලා වහලා තිබ්බේ. තාත්තා ඒ කාඩ්බෝඩ් ඔක්කොම එකින් එක ගලවන්න පටන් ගත්තා. එතකොටම මම ඇහුවා ඇයි ඒවා ගලවන්නේ කියලා. මොකද මම හිතුවෙ ඒව ගහලා තියෙන්නෙ ගේ ඇතුලට ඒ කවුලු වලින් සත්තු එන නිසා කියලා. තාත්ත මං දිහා බලලා හිනා වෙලා මෙහම ඇහුවා.

" උබ හිතං ඉන්නෙ මේවා ගැහුවෙ සත්තු රිංගනවට කියලා "

හැරෙන තෑපෑලෙන් මගේ උත්තරේ උනේ  

" ඔව් "

" පිස්සුද . මේවා ගැහුවෙ උබල පොඩි කාලෙ උබලට කිරි හදලා දෙන්න. ඉස්සර JVP එකෙන් ඇවිත් ලයිට් නිවන්න කියලා කිව්වට පස්සෙ ගමේ කිසිම තැනක ලයිට් දාන්න තහනම්. ඒත් උබලා රෑට නැගිටලා අඩනකොට කරන්න දෙයක් නෑ නේ. මේස යට ඉටිපන්දම් පත්තුකරගෙන උබලට කිරි හැදුවෙ . ඒලිය පිටට පෙනවට ඔය කවුලු වලට කාඩ්බෝඩ් ගැහුවෙ "

ඔය උඩින් කොමෙන්ටුව කෙටුව මහත්තයෝ මට එදා උබලගෙ ඔය පෙරමූන ගැන ඇති වෙච්ච ආකල්පේ මම මැරෙනකම් වෙනස් වෙන එකක් නෑ. උබලගෙ පඩි වදන් වල විදියට අපිත් එතකොට ධනපතිද. උබලා සාමාන්‍ය ජනතාවට දිනා දෙන්න හැදුවෙ සැපද. ඒකයි මම හැමදාම කියන්නෙ.

මේ ලංකාවෙ පැවතුන කිසිම ආන්ඩුවක් නොකරපු තරමට පොඩි මිනිහට වද දුන්නෙ උබලා කියල.


උබලා ගිනි තියපු ලංගම බස් වල ගියේ ආන්ඩුවෙ ඇමතිලාද. කඩලා දාපු ලයිට් කනු දිගේ කරන්ට් එක ගියේ ධනපතියංගේ ගෙවල් වලට විතරද. උබලගෙ මූනවල් දැක්කත් අදටත් මට හිනා යන්නේ ඒකයි.  උබලා හැමදාම කලේ මිනිස්සුන්ට ඉරිසියා කරන්න පුරුදු කරපු එක. කන්න නැති එකා කන්න තියන එකාට ඉරිසියා කලා. අදින්න නැති එකා අදින්න තියන එකාට ඉරිසියා කලා. උබලා ගම් වලින් ඒවගේ උන් තෝරගෙන උන්ගේ ඒ ගතියට  සමාජවාදේ කියලා නමක් දැම්මා අන්න එක තමා උබලගේ සමාජවාදය. ඒ හිත් වල තිබ්බ ආවෙගය හරි මගට අරන් ඒ වෙගෙන්ම උන්ට දියුනු වෙන්න පාර පෙන්නුවනම් අද උන් ඔක්කොම ධනපතියෝ. උබලා කලේ උන්ගේ මෝඩකම් උබලගේ ඔනෑකම් වෙනුවෙන් පාවිච්චි කරපු එක.  

මට සමාජවාදේ කියලා දෙන්න ආව හාල්පාරුවෝ හැම එකාම කිව්වෙ මට දේවල් ලබාගන්න සටන් කරන්න ඕන කියලා. බූරු හැත්ත සටන් කරන්න ඕන නම් යකෝ ආමි එකට යනවනේ මලාට පස්සෙ ගෙදරට පඩිය හරි එයි. මමත් උබලගෙ සමාජවාදෙ ඔලුවට දා ගත්තනම් ඇනිත් උන් වගේම පාරක් පාරක් ගානෙ ගුටි කකා , ගෙදරින් සල්ලි ඉල්ලගෙන , උබලට බැනර් උස්සන් ඉන්න තිබ්බා. එදා කිව්වා වගේම කැම්පස් වල උබලට බැනර්  උස්සන් යන උන්ගෙන් 90% කට 2500ක් ආන්ඩුවෙන් 2500ක් ගෙදරින් වියදම දෙන උන්. අන්න ඒකයි ආතල්ම කොටස. රෙද්ද උස්සන් කෑ ගැහුවා කියල හැම දේම ලැබෙනවනම් . මේ රටේ උබලා එදා ඉදලා කෑ ගැහුව විදියට අද සුර පුරයක් වෙලා තියෙන්න ඕන. එකක් මතක තියාගනින් සහෝදරයා සමාජවාදේ කියල උබලා කියන්නෙ නිකං ඉදගෙන , කෑ ගහලා කාගෙන් හරි ඉල්ලගෙන කන එකනම් . ඊට වඩා හොදයි හිගා කන එක.


උබලා ඔය කැම්පස් ඇතුලට පැනගෙන විනාශ කරන ඔලු ඇතුලට උබලා ක්වදා හරි මෙ දේවල් දාල තියනවද. කට්ට කාගෙන හරි ඉගනගනිල්ලා. අනිත් එකාවත් කොහොම හරි ඇදෙගෙන විභාග ගොඩ දා ගනිල්ලා. නෑ නේ.

උබලා කියන එකම දේ අනිත් එකාවත් ඇදගෙන වරෙල්ලා අපි මරාගෙන මැරෙමු. 


එහෙම කියලා වෙන එකෙක් මැරෙන්ඩ දාලා උබල මාරු වෙනවා. පහුවෙනිදට උගේ මිනිය කරේ තියන් ආයෙම වත්ත වටේ යනවා. ඔකනේ උබලගෙ සමාජවාදෙ.

මට හම්බඋනු හැම රතුරත්නයම මට ගොඩ යන පාර විදියට පෙන්නුවෙ ඔය පාර. හැබෙයි එහෙම ගියා නම් මම අදත් කන්නෙ ගෙදරින්. මම ඉස්සරවෙලාම රස්සාවට යනකොට මට අවුරුදු 20යි. මට තේරුන එකම දේ. මගේ ප්‍ර්ශ්න  විසදගන්න ඕන මන්මයි කියන එක. මගේ ප්‍ර්ශ්න කවදාවත් මෙ රටේ මහ උන්ට ප්‍ර්ශ්නයක් නොවෙන බව මම එදා ඉදලම දැනගෙන හිටියා. මම පලවෙනි රස්සාවෙ පලවෙනි ප්‍රොජෙක්ට් එකේ තිබ්බේ තට්ටු 4 බිල්ඩිමක නෙට්වර්ක් අදින්න ඒදා ඒ වහලේ පන බයේ වෙව්ල වෙව්ල අඩිය තිබ්බ වෙලෙ මට ඉස්සරහ හිටිය එකා හොද වෙලාවට සමාජවාදියෙක් නෙවෙ. ඌ මට අත දීලා කිව්වෙ මෙච්ච්රයි.

" මල්ලි පරිස්සමෙන් වැඩ කරපන් " කියලා

එදා එතන උබලගෙ එකෙක් හිටියනම් කියන්නෙ මේ ටික

" මල්ලි පේනවනේ අපි විදින දුක. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. අපි මේ වෙනුවෙන් සටන් කරන්න ඕන "

බම්බුව තමා එහෙම උනා නම් අද වෙද්දි මම කොහෙද කියලා මටවත් හිතාගන්න බැරි වෙයි.

උබලාගෙ සමාජවාදේ අන්න එහෙමයි. ඒ වගේම ඔය මට ජනතා විමුක්ති පෙරමුණ දිනා දුන් දේවල් ගැන උගන්වන්න ආපු මහත්තුරුන්ට මතක් කරන්න තව කතාවක් තියනවා. ඒත් ඔයාලා දිනා දුන්න මම උදේ හවා දකින කතාවක්.

මම හැමදාම ගෙදරින් එලියට බහින පාර ඉස්සරහම තියනවා ගෙදරක්. ඒ ගෙදර ඉන්නෙ වයසක මානසික රෝගී අම්මා කෙනෙක් සහ එයාගෙ දුවයි පොඩි දරුවෙකුයි.ඒ පවුලෙ හතර දෙනයි හැබෑයි දැන් ඉන්නෙ තුන් දෙනයි. මොකද ඒ වයසක අම්මගෙ මහත්තයා උබලගේ ඔය දේශප්‍රේමි ජනතා විමුක්ති පෙරමුණ විසින් මරලා දැම්මා. හේතුව ලමයි බඩගින්නෙ තියන්න බැරි කමට උන්ගේ ඇදිරි නීතිය කඩලා වැඩට යාම. ඒ මනුස්සයා රස්සාව විදියට කලේ ෆොටෝ ගහන එක. එහෙම වැඩට ගියා කියලා ඒ මිනිහව මරලා දැම්මා. එහෙම කලේ නිකං නෙවෙ. තම්න්ගේ ගෑනි . ලමයි දෙන්නා ඉස්සරහ කටට බෙඩ්සීට් 2ක් ගිල්ල්වලා . ඇගිලි කපලා වෙඩි තියලා. තිරිසනෙක් වගේ මරලා දැම්මෙ. අන්තිමට ඒ අම්මා පිස්සියෙක් උනා. ලමයි දෙන්නා පිස්සු අම්මා එක්ක හැදිලා ඒ කෙල්ල නන්නත්තාර උනා.  කොල්ලා ආ ගිය අතක් නෑ. දැන් පිස්සු අම්මා එක්ක අප්පෙක් නැති ලමයෙක් හදන් අර කෙල්ල ඉන්නවා.  උබලගේ රෙද්දෙ සමාජවාදේ ගැන මට තවත් අමුතුවෙන් ආකල්ප ඕනද කියපන් දැන්.

මිනිස්සුන්ට දැනෙන්නේ උබලගේ පොතේ තියන සමාජවාදේ නෙවෙ. ඇස් පනාපිට දකින සමාජවාදේ. අපිට තේරෙන්නෙ  උබල ඔය අපිට නොතේරෙන්ට බර වචනවලින් කියන දෙවල් නෙවෙ. උබල අපිට පේන්න කරපු දෙවල්. 

උබලා කවදාවත් මිනිස්සුන්ට තේරෙන බාසාවෙන් කතා කලාද කියලා හිතපල්ලා, නිර්ධන. සමාජවාද.ධනේශ්වර . පීඩිත පංතිය. ඔය වචන කවදාවත් ඔය දුක් විදින පංතියේ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ . ඔය වචන තේරුම් ගන්න අඩුම ගානේ ඌ දෙපාරක්වත් රුසියාවෙ ගිහින් ආව එකෙක් වෙන්න ඕන. අඩුම තරමෙ තමුන් පෙනී සිටින පංතියට තෙරෙන බාසාවෙන් කතා කරන්න ඉගනගනිල්ලා. උබලා එහෙම නොකරන්නෙත් උබලගෙම වාසියට කියලා මම දන්නවා මොකද උබලා ලොකූ බර වචනවලින් කියන ගොඩක් දේවල් සාමාන්‍ය බාසාවෙන් ගත්තම පොඩි දෙයක්. අර මෙලෝ හසරක් තේරෙන්නෙ නැති උන් ගොඩක් මැදට ගිහින් උබලා මේ වගේ වචන සෙට් එකක් දානවා

 ප්‍රතිගාමී තත්වයන් යටතේ ක්‍රියාකාරි වන සෛධ්‍යාන්තික නිගමන වලින් ව්‍යුත්පන්න කර ගන්නා ලද භෞතිකවාදී දයලෙක්තික ධර්මතාවයෙන් විසංගතිකව ශ්‍රමය මූලික කොට යැපෙන නිර්ධනපංතික ආමාශයන්හී ප්‍රකෘතිවාදය විසින් ඉල්ලා සිටින කෘෂිකර්මාන්තයේ හෝ ජෛව පාලනයෙහි ඵල ඔවුනට ලබා දිම ව්‍යවහාරික වශයෙන් වඩා ඵලදායීය


දැන් ඔය කියපු එක උන්ට තේරුනාද. අඩු ගානෙ ඕක පාලකයන්ට තේරෙනවද . මේ රටේ ඇමතිවරු ඉන්න උන්ගෙන 90% සාමාන්‍යපෙලවත් පාස් නැති උන්. 

ඕක කියපන්කෝ මෙහෙම..

මේ වැඩකරන මිනිස්සුන්ට බඩගිනි උන්ට කන්න හොයාගන්න විදියක් නෑ උන් දුප්පත්. ඒකට විසදුමක් දෙන්න


ඕක උබලට , මට , උන්ට, පාලකයන්ට ඔක්කොටම තේරෙනවා. උබල හැමදාම කරන්නෙ කොලේ වහලා ගහන එක. පොඩි මිනිහව උබලගේ අරමුනු වෙනුවෙන් ඇමට දාන එක. ඉතිහාසෙ පුරාවටම උනේ , වෙන්නෙ , ඔය ටිකම තමා


ඒ ඔක්කොමත් එක්ක මේ ගැන මට තියන ආකල්පේ ඇනෝ ඇවිත් මට සමාජවාදේ උගන්වන්ට හදන උන්ට කවදාවත් වෙනස් කරන්ඩ බැරි වෙයි. මොකද උබලගෙයි මගෙයි සමාජවාදේ වෙනස්.






Thursday, August 8, 2013

රතු පස් වලින් වෙන්දේසි කල ජන අරගල...

 
     


                                          රතුපස්වල ගැටුමෙන් මැරුනු අය , ඒ ප්‍ර්ශ්නෙට මැදිවෙච්ච අය වෙනුවෙන් කතා කරන්න අය දැන් වැහි වැහැලා. මැරුනු අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් රටේ හැම අහු මුල්ලකින්ම අය මතුවෙන්න පටන් අරන්. ඒත් උන්ගෙ අයිතිවාසිකම වෙනුවෙන් දැන් මැරෙන්න හදන උන්ට ඇයි බැරි උනේ මීට කලින් උන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න.


එහෙම කරලා පුලුවන්ද නේද.?   එහෙම කලානම් කෝ අපිට සටන් පාඨ.

" වතුර වෙනුවට වෙඩි " එහෙම නැත්තං " මිනීමරු ආන්ඩුව ගෙදර යවමු " 

අවංකවම මේ රටේ මිනිහෙක් වෙලා ඉපදිච්ච එක ගැන මම අනේක වාරයක් දුක් වෙනවා. 

මම දන්නේ මෙච්ච්රයි ඒ ප්‍රශ්නෙන් මැරුනු උන්ගෙ පවුලෙ උන් හැර අනික් හැම එකාම ඒ ප්‍ර්ශ්නෙන් ගන්නෙ ආතල් එකක්. නිකං නෙවෙ සුපිරි ආතල් එකක්.

උන් තුන් දෙනා මාරාගත්තෙ කවුද.. එක එකාට බොලෙ පාස් කරගන්න උවමනාවක් නෑ .. අඩු වැඩියක් නැතුව අපි හැමෝම ඒකට සම්මාදන් වෙලා තියනවා. 


මේ රටේ මිනිහෙක් ජීවත් වෙලා ඉන්නවට වඩා උගේ මරනෙට වටිනාකමක් දෙන උන් කොටසක් ඉන්නවා. උන්ට කියන්නෙ දේශපාලුවෝ කියලා. මල ගෙවල් හොය හොයා යන. මිනිහෙක් මැරෙනකම් කෙල හල හල ඉන්න ජාතියක් තමා දෙශපාලුවෝ කියන්නෙ ඒක කොයි පක්ශෙටත් කොයි පාටටත් පොදුයි.

රතුපස්වල ගමේ වතුර ප්‍ර්ශ්නෙ ඇති උනේ අද ඊයෙක නෙවෙ නම් . ඒ මිනිස්සු පාරට බහිනකම් දැන් මලගෙවල් වල යන, ගිහින් පොර ටෝක් දෙන සක්කිලි දේශපාලුවෝ මොනවද කලේ. මේ බබාල එහෙම ප්‍ර්ශ්නයක් තියනවා කියල දැනගන්නෙත් මිනිස්සු පාරට බැස්සට පස්සෙ. ඒ තරම් මිනිස්සු ගැන හොයලා බලපු අය තමයි අද ඒ මල ගෙවල් වල ගිහින් කතා පවත්වන්නේ.

එක හාල්පාරුවෙක්ටවත් එක පක්ශෙකටවත් කඩේ නොයා ඉන්න මිනිහෙක් ඉන්නවනම් ඌට හොදටම තේරෙනවා උනේ මොකක්ද කියන එක.

ගමේ මිනිස්සු පාරට බැහෙලා දෙවෙනි දවස වෙද්දි ගමේ අයට පිලිගත හැකි මට්ටමේ විසදුම් කිහිපයක් ලැබිලා තිබුනා. මොකද ඒ වෙනකොටත් 

1 ) කම්හල තාවකාලිකව වසා දැමුනා.

2) ජලය පරීක්ශණ සදහා අදාල ආයතන කැදවලා තිබුනා

3) ගම | කම්හල | අදාල අංශ අතර සාකච්චාවක් පැවැත්වෙමින් තිබ්බා


වතුර සම්බන්ධ ප්‍රශ්නය ඉතා බරපතලයි මොකද ප්‍රදාන මූලික අයිතිවාසිකමක් වෙන වතුර නැතුව. කිසිම මිනිහෙක්ට ඉන්න බෑඃ අනික ඒ ව්අගේ ප්‍ර්ශ්නෙකට මූන දෙන මිනිස්සු ආවේගශීලි වෙන එක සාධාරනයි. 

එහෙම වෙලා තියෙද්දිත් ඒ මින්ස්සු පාරවල් වලට පැනගෙන , පාරවල් වහගෙන  අනෙක් මිනිසුන්ගෙ සාමාන්‍ය ජනජීවිතය අඩාල වෙන තැනට වැඩ කටයුතු සිද්ධ වෙනකම්. අද බන දේශනා දෙන උත්තමයෝ කොහෙද හිටියේ. 

නෑ උන්ට ඕන උනේ ඔය දේ කරගන්න. මේ වගේ චාන්ස් එකක් ලැබෙන්නෙ කලාතුරකින් කියලා උන් හැමෝම දැනෙගන හිටියා. පිට්ටනියකට වෙලා උද්ගෝශනේ කරපු මිනිස්සු මහ පාරට ආවෙ කොහොමද කියලා පාට කන්නාඩි ගලවලා බැලුවොත් හැම මහත්තයෙක්ටම ඒ ආව විදිය හොද පැහැදිලි විදියට පෙනෙයි.

මේක ලංකාවෙ පලවෙනියට උනු දෙයක් කියලද උබල කියන්න හදන්නෙ. මිනිස්සුන්ට ප්‍ර්ශනය්ක් ඇති උන ගමන් සක්කිලි දෙශපාලුවෝ රෙද්ද කරට අරන් උන් ලගට දුවන්නේ විසදුම් දෙන්නද, 

නෑ උන්ව පිස්සු බල්ලෝ කරන්න. ඊට පස්සෙ පාරට බස්සන්න. ඊට පස්සෙ එකෙක් දෙන්නෙක් මරාගන්න . ඊට පස්සෙ එ මල කදන් ටික විකුනගෙන උන් ගොඩ යන්න.

ඇයි අහලා නැද්ද ඔය ලොකු මහත්තුරු කතා කරනකොට එයාලගේ සෑහෙන ජනප්‍රිය මාතෘකාවක් තියනවා මෙන්න මෙහම

" මේකට විසදුමක් නැත්තං අපි ජනතාව එක්ක පාරට බහිනවා "

අපේ උන් හැමදාම ඔය වාක්‍ය එක්ක ලොකූ හුරේ පාරක් දානවා. එත් උන් දන්නෙ නෑ ඒ වෙන්දේසියේ දාන්නේ උන්ගේ ජීවිත කියලා.

එදා ඉදලම අද වෙනකම් උනේ ඒ ටික. අපෙ ගම් වල ඉන්න පොල් බූරුවොත් අඩුවක් පාඩුවක් නැතුව ඒ ගැටේට එදා ඉදලම අද වෙනකම් අහු වෙනවා. 

ප්‍ර්ශන වෙනුවෙන් පාරට බැහෙලා මැරුනේ මේ මරුනු උන් තුන්දෙනා විතරද , එදා ඉදලා අද වෙනුවෙන් කී දෙනෙක් මේ කාලකන්නි හින්දා මැරුම් කෑවද. හලාවත ඇන්ටනි කිව්වොත් දැන් කාටවත් ඒ මිනිහව මතක තියනවද. කටුනායක මැරුන රොශෙන් චානක ගැන දැන් මතක කීයෙන් කී දෙනාටද, එදා  ඒ ගෙවල් අස්සෙ රිංගගෙන උන්ගෙ පවුල් ගැන කතා කරපු එකෙක් එදයින් පස්සෙ උගෙ ගෙදර ගියාද කියලා හොයලා බලපල්ලා. උන්ට මේ මලකදන් තුරුම්පු විතරයි. 

මෙ රටේ ඔනෑම දෙයක් වෙනුවෙන් පාරට බහිනවනම් එකක් මතක තියාගෙන බැහැපල්ලා. උබලා පාරට බහින්නෙ උබලගේ ජීවත් වීම උදෙසා ප්‍ර්ශ්නයකටනම් ජීවිතේ රැක ගන්නනම්. එක විහිලුවක්. මොකද උබලාගේ ජීවිතේට වඩා මල කදේ වටිනාකම වැඩි. උබලා ජීවත් වෙන එක නොවෙන එක දැන් තීරණය කරන්නෙ මහ බබා නෙවෙ. 

දැන් හැම්දේටම පස්සෙ ජාතියේ මුර දේවතා එලී දැන් ටියුබ් ලයිට් වෙලා. රණවිරුවා ආමිකරයා වෙලා.  රටක හමුදාව කියන්නෙ මොකක්ද ,උන් පිලිපැදිය යුත්තේ කාගෙ අණද , හමුදාවෙ මිනිහෙක්ගෙ මානසිකත්වය මොකක්ද.  කියලා ඉස්සරවෙලාම හොයලා බලපල්ලා ඒ වගේම හමුදා පුහුනුවක් ලබපු මිනිහෙක් ලගට ගිහින් ඌට ගහන්න ගල් අතට ගත්තම වෙන දේ ගැනත් හොයලා බලපල්ලා, අවුරුදු ගානක් තිස්සෙ ආමි එකේ උන් කෑම්ප් වල තියගෙන උන්ට පුරුදු කරන්නෙ සමථ භාවනාවයි  ආනාපනා සති බාවනාවයි කියලද උබලා හිතාගෙන ඉන්නෙ. හැම එකාම කියවන්නෙ ආමි එකෙන් ගහපු කතාවනෙ හැබෙයි උන් ගහන්න කලින්  උන් මෙන්න මෙහෙම තුන් පාරක් කිව්වා.

" මේ වෙනකොට ගමේ ප්‍රධානියෝ සහ ගමේ අය එක්ක කම්හල් ප්‍රධානීන් අදාල පාර්ශව සාකච්චාවක් පැවතෙනවා. ඒ අය ඇවිත් තීරනය දැනුම් දෙන තුරු කරුනාකරලා මාරගයෙන් ඉවත් වෙලා සාමාන්‍ය ජනතාවට අවහිර නොකර ඉන්න කියලා "

ඒකට උබලගේ උත්තරේ උනේ හොද හූ පාරක්..  

උබලට තිබ්බ ප්‍ර්ශ්නෙ ලොකු ප්‍ර්ශ්නයක් ඒක නෑ කියන්න බෑ.. හැබෙයි උබලා නැතුවෙ ඇත්ත්ටම උබලගේ ප්‍ර්ශ්නෙ වෙනුවෙන්ද නැත්තං වෙන උන්ගෙ උවමනවාක් වෙනුවෙන්ද කියලා උබලම හිතලා බලපල්ලා.


හැම දේම උනාට පස්සෙ කඩපිලට වෙලා , ෆේස් බුක් එකට වෙලා , බ්ලොග් එකට වෙලා අපේ මහත්තුරු මොකද කරන්නෙ

ආන්ඩුව වැරදි

හමුදාව වැරදි

විපක්ශේ වැරදි

ජේවීපී කාරයෝ වැරදි..

උබලා ඔය බෝල පාස් කරගන්නේ ඇත්තටම මැරුන එකා ගැන කැක්කුමටද. උබලා කදුලු හල හල පෙනී හිටින්නේ මැරුනු එකා වෙනුවෙන්ද.. නෑ  එකෙක් උබලා කෑ ගහන්නෙ එක්කෝ මහින්ද බේරගන්න , නැත්තං රනිල් බේරගන්න.. මේ රටේ ඉන්න බහුතරයක් නපුංසකයෝ තමන්ගේ ලේ වලට වඩා තමන්ගේ ජීවිතේට වඩා,තමන්ගේ එකාට වඩා වටින්නෙ තමන් අදහන පක්ශේ මහ එකාව. රතුපස්වල උනෙත් ඒකම තමා තම්න්ගෙ ප්‍ර්ශ්නෙ වවාගෙන මුන් කරගන්න යන්නෙ මොකක්ද කියලා එදා පරට පැනගෙන නටපු එක පොල් බූරුවෙක් හරි හිතුවනම් අද අර අහිංසකයෝ තුන් දෙනා යස අගේට ජීවත් වෙනවා.


මෙ රටේ ආන්ඩුව විපක්ශය හෝ කිසිම පක්ශයක් ජනතා ප්‍ර්ශ්න වෙනුවෙන් පෙනී සිටිනවා කියලා හිතෙනවනම්. එහෙම හිතන එකා පව්.


උබලා රෙදි කරේ තියාගෙන පාරවල් වලට පැනගෙන කෑ ගහන්නේ කාගෙ පව් වලටද. ඔය මහ තැන්වල ඉන්න උන් ඒ තැන් වලට යැව්වෙ කතරගම දෙයියොද. බත් පැකට් එකට රුපියල් 100ට රෙද්ද උස්සගෙන කසිප්පු කාරයන්ට කතිරෙ ගහපු මී හරක් තමා මහ ලොකු ජන අරගල වල ඉස්සරහින්ම දුවන්නෙ. පාරවල් මැද බුදියගන්නෙ. දේශපාලනේ කරන එකෙක් වත් බූරුවෝ නෙවෙ. කවුරු හරි කියනවන්ම් දේශපාලනේ කරන් උන් නූගත් කියලා එහෙම කියන එකා තමා ලෝකෙ ඉන්න හොදම පොල් බූරුවා. අවුරුදු 5කට සැරයක් මුලු රටේම ඉන්න පොල් බූරුවන්ගේ මොල ටික හෝදලා අවුරුදු 5ක් පුරා කරපු අවලං අවජාතක වැඩ, සති දෙකෙන් අමතක කරවන්න පුලුවන් උන් නූගතුන් කියලා කාට හරි කියන්න පුලුවන් නම් . බිපං හෙට ඉදලා පුන්නක්කු.



තමන්ගේ තාත්ත මරපු පලියට ආන්ඩුව ගෙදර යවමු  කියන උන් ඉන්න.  ගිනි තියාගන් කියලා කැමරාකරන උන් ඉන්න. අල්ලපු ගෙදර උන් දෙන්නා ගහ ගත්තම ඒකට ආන්ඩුව විපක්ශේ වග කියන්න ඕන කියන උන් ඉන්න. පාරෙ කෙහෙල් ලෙල්ලක් තිබුනොත් ඒකටත් දේශපාලනේ ඇදගන්න . එදා වේල හම්බකරල දෙන ගෑනි, මිනිහා රනිල් මහින්ද වෙනුවෙන් මරාගන්න , නපුංසක ,නිහීන , තුප්පැහි ජාතියක් ඉන්න රටක් මේක.


මේ රට කවදා හරි ආසියාවෙ විතරක් නෙවෙ මුලු තුන් ලෝකෙම  ආශ්චර්ය වෙනවා. ඒක හොදට මතක තියාගනිල්ලා..

තමන් වදපු අම්මා අප්පාට වඩා. එක කුස උපන්නු සහෝදරයට වඩා , එකට කාපු බීපු යාලුවට වඩා,  මැරෙන්ට වැටුනු වෙලාවෙ ඉස්පිරිතාලෙ අරන් ගිහින් පන බේරපු අල්ලපු ගෙදර එකාට වඩා. අපේ උන් මහින්දට රනිල්ට ආදරෙයි. මොකද උන් උපන්නු දවසේ ඉදලා ඉස්කෝලෙ යවලා ලොකු මහත් කලේ මහින්ද..  ඇදුම් අරන් දීලා ලෙඩට දුකට බෙහෙත් අරන් දුන්නේ රනිල්.  උන් තරම් කවදාවත් අපේ පවුල් වල උන්.. යාලුවෝ අපිට කරපු දෙයක් නෑ ඒ හින්දයි අපි චන්දයක් ලං උන ගමන් මිනී මරාගන්නේ. එකට කාපු බීපු එකාට පිහියෙන් අනින්නේ. අම්මා අප්පා එක්ක මරාගන්නේ තොපිට හැම දෙයක්ම කරේ මහින්ද , රනිල් අපි ජීවත් වෙන්නෙ උන් වෙනුවෙන්. තූ නොදකින් තොපේ මනුස්සකම.




Time in Sri Lanka: