Monday, October 28, 2013

සිල්ලර ෆෝන් කටුවෙන් ලෝකය දැකීම

  
(මෙය අන්තර්ජාලයෙන් ගත් ජායාරූපයකි)



                                    හිච්චි එකා සන්දියේ මේ ඔලු ගෙඩිය අස්සේ මහා හීන තොගයක් තිබ්බා ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලපු දවසට මට ඕන උනේ පහුවෙනිදා ඉදලා කරාටි පංති යන්ඩ. අමරදේව මහත්ත්යගේ සිංදුවක් අහපු හැම වෙලාවකම මට ඕන උනේ ඒ හඩෙන් සිංදු කියන්ඩ. කොටින්ම කියනවනම් මට පොර වෙන ඕනම දෙයක් දැක්කම මට ඕන උනේ එහෙම වෙන්ඩ.. එකෝම එක සැරයක් පුංචි ලස්සන හොල්මන් කෙල්ලක් ඉන්න චිත්‍රපටියක් TV එකෙ ගිහින් මං මැරෙන්ඩත් හිත හදාගත්තා :D.

ඒ පුංචි කාලේ හරිය...

ඊටත් පස්සෙ කාලෙක මම හිතාගත්තා මගේ පොර මංම වෙන්ඩ ඕන කියලා.. ඒ කියන්නේ මං දැන් පොරක් හරිය. :D

ඊට පස්සෙ පිලිවෙලට බයික් පිස්සුව, ගිටාර් පිස්සුව , ෆෝන් පිස්සුව , කොම්පීටර පිස්සුව , කැමරා පිස්සුව වගේ දේවල් පිලිවෙලට ජීවිතේට ආවා.  කැමරා පිස්සුව ඇරෙන්ඩ අනික් හැම එකම වගේ මේ වෙනකොට හොඳ වෙලා ඉවරයි කැමරා පිස්සුවත් ෆෝන් පිස්සුවට බෙහෙත් ගත්ත කාලෙම ටිකක් යට ගියා.. මොකද ඒ බෙහෙත් මේ ලෙඩේටත් ටිකක් ගුණදායක උන හින්දා..

මේ ඉතිං බොහෝම ආධුනිකයෙක් විදියට මගේ සිල්ලර ෆෝන් කටුවලින් ගහපු ෆොටෝ කෑලි ටිකක්..  ( පින්තූර උඩ එබුවහම ලොකුවට පේනවය කියලා ගූගල් අයියා කියන්නේ )

Photos - Nokia N 97 | Sony Ericsson J10i2 



























Monday, October 21, 2013

හීන සහ මිත්‍රයෝ

                                          මේ කතාවට මග පාදගන්ඩ පොඩි නෙවේ මහා විසාල පදුරු තැලිල්ලක් කොරන්ඩ වෙනවා. එහෙම නොවුනොත් මගේ හිතේ තියන විදියට මේක ලියාගන්ඩ බැරි වෙනවා ඒ හින්දා  වීසි කැති , උදලු පිහි ලෑස්ති කරන් කියවන එක හොදා.........
  
                                  එකදාස්වලින් අවුරුදු ගතවෙන කාලේ  හිච්චි එකෙක් වෙච්ච මට ඉන්ටර්නෙට් කිව්වම ඒක දරාගන්න බැරි තරම් මැජික් එකක් උනා.. ඊටත් පහු කාලෙක ගැටබේ තිබ්බ ඇසළ මේලාවක නොමිලේ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකක පෝලිමේ ඉදලා යාහු සර්ච් එකක් කරපු දවසේ මම හිතුවේ මම බිල්ගෙට්ස්ටත් වඩා පොරක් කියලා.  එ ඔකොමත් ගෙවිලා 2008 අවුරුද්දේ මම ග්‍රාමසේවක සහතික, චරිත සහතික ඔක්කොම තාත්තට පෙන්නලා ගෙදරට ඉන්ටනෙට් ගත්තා.  ඉනටර්නෙට් කියන්නේ යකෙක් රකුසෙක් නොව ආතල් පුස් පැටියෙකි කියලා ගෙදරට කියලා දෙන්ඩ මම නොගත්ත උත්සාහයක් නෑ.

2008 ඉදලා මම 2010 වෙනකම් ඉනටනෙට් එකෙන් හම්බකලා..  සේවක සංඛ්යාව 7ක් වෙච්ච පුංචි ව්‍යාපාරෙකුත් එක්ක.  ඒත් ඉතිං වට පිටාවෙ ඉන්න උන් නම් ඕක දිහා බැලුවේ නිකං කෝන මාන අස්සෙං.. අරූ කෙල්ලෝ 7කුත් තියාගෙන ඉන්ටනෙට් එකේ මොන මගුලක් කොරනවද මන්දා.. උන් හිතුවෙ එහෙම  එතකොට නෑයෝ..  " අනේ නංගියේ දැං කාලෙ වෙන දේවල් දන්නවනේ පුතාව පරිස්සංකරගං.. "  නෑයෝ කොයි තරම් මං ගැන දුක් උනාද.. එව්වා ඉතිං එහෙමයි.

ඇමරිකාවෙයි ලංකාවෙයි එක එක හුටප්පර හින්දා මම මගේ පුංචි ව්‍යාපාරේ  වැඩේ අත ඇරලා දාන්නේ 2010 මැද හරියක් විතර යද්දි.. ඊට පස්සෙ  මොකටද මට ඉන්ටනෙට්.. 

" ඔන්න ඔය මගුල තියනවනම්  ඉස්සර වගේ උබම බිල ගෙවපන් " ගෙදරින් සාධාරන මල්ටි බැරල්

හම්බකරන්ඩත් නැතුව.. වෙන  වැඩකුත් නැතුව මොකටද මං ඉන්ටනෙට් තියාගන්නේ..  ඔන්න එදා මම ජීවිතේට ගත්ත වැදගත්ම තීරනේ ගන්නවා.  

ඕන මගුලක්  කියලා  මම ඉන්ටනෙට් එක තියාගන්ඩ තීරනය කරනවා

හැබෙයි  මම ජිවිතේ හම්බකරපු වටිනාම දේවල් හම්බ කරගත්තේ එදායින් පස්සෙ , ඊට පස්සෙ මම ඉන්ටනෙට් එකෙන් ඉගන ගත්තා. රුපියල් විසි තිස් දාස් ගනන් වල කෝස් මම මාසෙට රුපියල් 1500 දීලා ඉගනගත්තා. ඊටත් පස්සෙ ඔය අන්තර්ජාලෙ තියන අහු මුලු වල හක්කලං කලා. අන්න එතනදි  තමා මගෙ ජීවිතේ වටිනම යාලුවෝ මට හම්බ උනේ..  


ඒ දවස් වල ආගම් ප්‍රශ්න වලට වලි නැගලා ගිය එක අඩ්වියකට මම සෙට් උනේ අහම්බෙන්.. හැමදාම හවසට සරමත් කරට අරන් ඕකට සෙට් වෙන්ඩ මම පුරුදු වෙලා හිටියා.. ඕකට මාව සෙට් කරගත්තේ  සමන්තයා.. , පොර අරාබිකරේ ඉන්න හිත හොද වගේම සෑහෙන්ඩ දැනුමක් තියන ඔටුවෙක්. ඉතින් ඒ අඩිවියෙන් මම ගැලවෙන්නෙ ජීවිතෙට එකතු උනු  හොදම යාලුවෝ ටිකක් හදාගෙන. 

මට 1 වසරෙදි හිටපු හොදම යාලුවා දැන් හොයාගන්ඩවත් නෑ .. ඌ  කැටපිලර් එකක් එලවනවා කියලා ආරන්චි ඒත් දැන් අවුරුදු 15 විතර  දැකලා නෑ. ඊට පස්සෙ හිටපු හොදම යාලුවා ඌත් ආගිය අතක් නෑ..  යාන්තම් හරි ඊට පස්සෙ ඉතුරු උනේ 6 න් 7වසරෙන් පස්සෙ එකතු උනු යාලුවෝ ටික.  මගේ යාලු ආස්සරේ ටිකක් විතර අමුතුයි මිනිහෙක් මට දිරවාගැනීමෙ අපහසුවක් තියනවනම් ඌ ආස්සරේ කිරිමේ ලොකු අපහසුවක් මට තියනවා. ඒ හින්දා ඉස්කෝලෙන් අයින් වෙලා මේ වෙනකොට මට ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු ඉස්කෝලෙ යාලුවෝ ප්‍රමාණයක්.  

මුලින්ම මට ජංජාලෙන් හම්බ උනු යාලුවා සමන්තයා..  කියලා කිව්වනේ  .. ඌ ඉතිං මාව බොහොම දරුනු පොරක් කලා. කොටින්ම මම අර කලින් කිව්ව සයිට් එකට ලොග් වෙනකොට වයස 18 අඩු උන් කොම්පීතර ඕෆ් කරලා නැගිටලා ගියා කියලා අපේ සුදු අක්කා මං එක්ක කිව්වා පස්සෙ කාලෙක..

එහෙම නැහැදිලා හිටපු මාව කවි සීපද ලියපිය කියලා හොද මනුස්සයෙක් කොරන්නේ මට ඊලගට හම්බ වෙච්ච මගේ ආදරණිය සුදු අක්කා   කොටින්ම කියනවනම් එදා ඉදලා අද වෙනකම්  ඉගනගං.. අරක කෝස් එක කරපං , මේ කෝස් එක කරපං කියලා අම්මෙක් වගේ බලාගන්නේ, ලංකාව හතර වටේ ට්‍රිප් එක්ක යන්නේ, ඒ වගෙම බූලොන්ට නැති තෑගි , ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් හොයලා දෙන්නේ,  ඒ වගේම අපේ හාමිනේව බලාගන්නෙත්  අපේ සුදු අක්කා 
 
ඊට පස්සෙ   හම්බ උනේ  ඉබ්බා  ඉබ්බෙක් කිව්වට් ඌ හෙන දිග පලල එකෙක්.  ඌගෙ පොඩි අවුලකට තියෙන්නෙ ඌ ජීවත්වෙන්නේ උගේ පපා කියපු විදියට පපා ඌට ඕන දේවල් ටික ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කියලා දීල නිසා ,ඌ තාමත් ඔක්කොම දේවල් කරන්නේ අග මුල මාරු කොරලා.. ඌත් ඉතිං මොන තරම් මොලේ අමාරුකං තිබ්බත් හොද එකා. සමාජ සත්කාරේ කිව්වොත් ඉතිං ඉහටත් උඩින් රට වටේ පන්සල් හදනවා මේ දවස් වලනම්. වැඩිපුරම අවුරුදු 30 පැන්න නංගිලා ඉන්න පැති වල තමා මිනිහා පිංකම් කරන්නෙ

ඕං ඊලගට මට සෙට් වෙන්නේ අන්තර්ජාලේ  හෙන දරුනුයි කියලා හිතං හිටිය පොරක්. ඌට ජංජාලේ ඈයෝ නම් කියන්නේ මාරයා කියලා. උගේ මාර ගතිය ඉස්සර්වෙලාම දැනගත්තේ ඌට ඉස්සරවෙලාම ෆෝන් එකෙන් කතා කරපු දවසේ හලෝ මාරයද කියලා අහපුවම. එහා පැත්තෙන් සැමන් ටින් එකක්  දහයේ කියත් පටියකින් හූරනවා වගේ ඔව් අනේ කියලා සද්දයක් ආවා..  අනේ ඉතිං උගේ මාරකං.. මොනවා කලත් ඉතිං රට වටේ හක්කලං ගහන්ටයි හැමදාම කොලඹ ඇද්දම කන්ඩ හදලා දෙන එකයි අපරාදේ කියන්ඩ බෑ ඌ හරියටම කරනවා.. මක්ක කලත් ඉතිං ඕනම වැඩකට නෑ බෑ නොකියා. ඇවිත් කරලා දෙනවා. කොටින්ම කියනවනම් ඉතිං බාප්පා වගේ තමා 

 මොනදේ විහිලුවට කිව්වත් ජිවිතේ ගොඩදාගන්ඩ අමාරු උනු ගොඩක් ප්‍රශ්න වලදි , ඔය යාලුවෝ සෙට් එක මං එක්ක හිටියා . මේ වගෙම තවත් කීප දෙනෙක් මට ජංජාලේ නිසා හම්බ උනා ඒ  අය එක්ක එකතු වෙලා කරපු මේ වගේ ගොඩක් දේවල් වලින් ජීවිතේට  කවදාවත් අමතක  වෙන් නැති දේවල් බොහොමයක් මගේ ජිවිතේට එකතු උනා..  ඒ වගේම ඒ වගේ හම්බවෙච්ච තවත් මිත්‍රයෙක් නිසා  ජීවිතේ තිබ්බ ලොකු හීනයක් පහු ගිය දාක ඉෂ්ඨ උනා

අමරදේව මාස්ටර් කියන්නෙ මගෙ ජීවිතේ වීරයෙක්. හුගක් උන්ට බැට් මෑන් ,සුපර් මෑන් , ෂාරුක් ඛාන් වීරයෙක් වෙන වයස වෙද්දී මගෙ වීරයා උනේ අමරදේව මාස්ටර්, පන්ති කාමරේ ගුරුවරයෙක් නැති වෙලාවට  එහෙමත් නැත්තං සංගීත කාමරේ ගෙවුන ගොඩක් වෙලාවල් වලට තාල ඇල්ලුනේ අමරදේව මාස්ටර්ගේ සින්දු වලට.  ඒ කාලෙ ඉදලම මගේ හිතේ තිබ්බා ලොකු හීනයක්.. ඒ තමා අමරදේව මාස්ටර් ඇස්දෙකෙන් දැකලා එතුමගේ ප්‍රසංගයක් බලන එක. එත් එක අවුරුදු 15කටත් වඩා මගේ හිතේ හීනයක්ම වෙලා තිබ්බා. වෙලාවකට හිතුනා ඒක හීනයක්ම වෙයි කියලා.. ඒ අතරෙදි තමා අපේ  සුදු අක්කා  මගේ තිබ්බ මේ උන ගැන විස්තරේ සුදු අක්කගෙයි මගෙයි යාලුවෙක් වෙච්ච සත් ගුනවත් තිස්ස අයියට කියන්නේ. මොකද අක්කත් කිහිප සැරයක්ම උත්සාහ කලා මට එතුමගේ ප්‍රසංගයක් බලන්න අවස්ථාවක් අරන් දෙන්න. ඒ වගේම නෙලුම් පොකුනේ අමරදේව මාස්ටර් කරපු ප්‍රසංගේ අන්තිම මොහොතේ රනිලුයි ෆොන්සේකා මහත්තයයි නිසා  මට මිස් වෙලා ගියා.

ඉතිං ඔය පනිවිඩේ දැනගත්තු අපේ සත් ගුනවත් තිස්ස අයියා බෝම මහන්සි වෙනවා , මට ඔය අවස්ථාව අරන් දෙන්න. නිකං හරි බුකියෙ දැක්කත් තිස්ස අයියා මෙහෙම කියනවා " මල්ලි මට අමතක වෙලා නෑ හොදේ " යාලුවෝ කියන වචනේ තේරුම හරි පුදුමයි කියලා ඒ ගොඩක් වෙලාවට මට හිතුනා. ඉතිං  වැඩ රාජකාරී දාහක් අස්සෙ දව්ස් කීපෙකට ලංකාවට ඇවිත් හිටපු තිස්ස අයියා පහු ගිය දවසක මට කෝල් එකක් දෙනවා..

"මල්ලී අමරදේව මාස්ටර්ගේ ෂෝ එකක් තියනවා හෙට උබට එන්න පුලුවන්ද ? "

ඊලග මොහොතේ මට දැනුනේ නිකං මගේ කන් දෙක දෙපැත්තෙන්  A/C කලා වගේ හැගීමක්. 

අන්න එහෙමයි යාලුවෝ හින්දා හීන හැබෑ වෙන්නේ.. හැබෙයි මේ කතාවෙදි මට මස් කෑල්ලක් නෙවෙ රාත්තලම හම්බ උනා.. පහල ෆොටෝ කෑලි ටික ඒකට සාක්කි..







  මගේ.. ජීවිත කාලෙදි යාලුවෝ කියලා කටපුරා කියන්න පුලුවන් පිරිසක් මම හම්බකරගත්තා   මේ සටහන ලියන්න හිතුවේ මේ හැමදෙයක්ම වෙනුවෙන් කරපු ස්තූතියට තිස්ස අයියා කියපු මේ කතාව දැක්කට පස්සෙ..

 " උඹල කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "


ඒක ඒ විදියටම  මටත් කියන්න වෙනවා මේ සටහන ලිව්වෙත් ඒ වෙනුවෙන්..........



" ඔයාලා කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "



Saturday, October 5, 2013

සංගීත කාමරේ.... සහ මගේ ගුරුවරිය






                                                   ඉස්කෝලෙ කාලෙ කියන්නෙ  අදටත්  ලොකූ මතක ගොඩක්... ඒ මතක වලින් වැඩි හරියක් එකතු වෙච්ච තැනක් තමා අපේ සංගීත කාමරේ කියන්නෙ.. දවසට එක එක විශයන් වලට බෙදලා පීරියඩ් කීපයක් තිබ්බත් අපි කීපදෙනෙක්ගේ සදාකාලික පන්ති කාමරේ බවට පත්වෙලා තිබ්බේ අපේ පුංචි සංගීත කාමරේ.. එහෙම වෙලාවට අපේ මැඩම්ගෙන් බැනුමක් දෙකක් අහගෙන සංගීත කාමරෙන් එලියට ආවත්. ආයෙම විනාඩි ගානකින් අපි නතර උනේ සංගිත කාමරේ..  අමරදේව මාස්ටර්.. සුනිල් මහත්තයා ඒ දවස්වල අපි පට්ට ගැහුවා. 

ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් එහෙමත් නැත්තං සමස්ත ලංකා තරග පවත්වන කාලෙ අපි බොහොම සතුටින් හිටපු කාලයක්. මොකද එතකොට අපිට නීත්‍යානුකූලවම සංගීත කාමරේ ඉන්න අයිතිය හම්බවෙනවා. ඇත්තටම අදටත් එ මතක හරි සුන්දරයි..  මම ඉස්කෝලෙන් සමුගත්ත අවුරුද්දෙ අපි එකතුවෙලා සංගීත දිනයක් පටන්ගත්තා.. ඒ අපේ පාසලේ මුල්ම වතාවට සංගීත අංශයෙන් කරපු දෙයක් විදියට. එකෙ නම " ස්වර රංජනා" නම තිබ්බේ අපේම එකෙක් .. ඉතින් පහුගිය 3 වෙනිදා වෙනකොට   අපි සංගීත දිනය වෙනුවෙන්  සර්පිනාවයි තබ්ලාවයි , වයලීනෙයි වගේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තිබ්බ පොඩි ඔගෙස්ට්‍රාවකින් පටන් ගත්තු ස්වර රංජනාව 9 අවුරුද්ද පහු කලා ..නිකං නෙවෙ ලංකාවෙ තියන හොදම ඔගෙස්ට්‍රාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් කොල්ලො ටිකක් සහ වොයිස් කරන්න පුලුවන් කොල්ලො ටිකක් එක්ක.. 

අවංකවම එදා අපේ ඇස්වලට කදුලු ආවා..

මේ කතන්දරෙ මෙ විදියට ලියන්න හිතුවෙ මම ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 8ක් වෙලත් සංගීත කාමරේ එක්ක බැදුනු ජිවිතේ තාමත් ඒ ව්දියටම තියෙන එක ගැන හිතේ තියන සතුට නිසා.. ඉස්කෝල ජිවිතේදී අපිට ගොඩක් ගුරුවරු හම්බවෙනවා. මටත් ඒ වගේ හම්බ උනා. එත් අදටත් කකුල් දෙක අල්ලලා පාරක උනත් දනගහලා වදින්න පුලුවන් ගුරුවරු දෙන්නයි එදත් අදත් මට ඉන්නෙ .. එකෙන් පලවෙනියා මගේ සංගීත ගුරුවරිය , අනෙක් කෙනා මගේ නැටුම් ගුරුවරයා.. 

අපේ සංගීත මැඩම් ගැන කියනවනම් .. මැඩම්ගෙන් ගුටි නොකාපු , බැනුම් අහපු නැති එකෙක් නෑ.. හැබෙයි කිසිම දවසක හිතේ අපි ගැන තරහක් තිබිලත් නෑ . මගේ කොල්ලො ටික මගෙ දරුවෝ ටික කියලා තමා අපෙ මැඩම් හැමදාම අපිට කතා කලෙ.  ඇත්තටම සංගීත කමරේදී අපේ මැඩම් අපිට අම්මා කෙනෙක් .. එක කතාවට විතරක් කියන දෙයක් නෙවෙ. සාමන්යෙන් ගුරුවරු නොකරන බොහෝ දේවල් අපේ මැඩම් අපි වෙනුවෙන් කලා..   මෙ එහෙම කතා ටිකක්

අපෙ ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබ්බම මැඩම්ට ප්‍රධාන ගැටලුවක් උන එකෙක් තමා මම. මොකද මම බෑන්ඩ් ගැහුවා , නැටුම් කලා , ඉතිං උත්සවේකදි සංගීත අංශයෙන් තියන ප්‍රසංග අංකෙ මම අර ඔක්කොම වැඩ ටික ඉවර කරල එනකම් මැඩම් පහු කරලා තියාගන්නවා..  මැඩම්ට ඔන තරම් පුලුවන් කම තිබ්බා මගේ තැනට හිටගෙන ඉන්න විතරක් පුලුවන් එකෙක් දාලා ඒ බර ඔලුවට නොගෙන ඉන්න. එත් කිසිම දවසක මැඩම් එහෙම කලේ නෑ. ඕනම එකෙක්ට යන්තමින් හරි දෙයක් පුලුවන් කියලා මැඩම් දන්නවනම් ඌව කොහොම හරි ගොඩ යවන්න අපේ මැඩම් දැනගෙන හිටියා.. ඒ වගේම තමුන්ගේ වැඩෙ විතරක් කරගෙන අනික් දේවල් බල්ලට ගියත් කමක් නෑ කියන ඕන තරම් ගුරුවරු ඉද්දි. තමන්ගෙ වැඩේ පහු කරගෙන හරි ලමයාට ඒ හැම්දේකටම සහභාගි වෙන්ඩ වෙලාව හදලා දුන්නා.. ඒ මැඩම්ගේ හැටි..

අපේ මැඩම් ගැන කියන්න තව කතා නම් කීයක් තියනවද.. අපෙත් එක්ක හිටපු එකෙක්ට විභාගයක් ලියන්න සල්ලි නැති වෙච්ච වෙලාවක . මූ මුනත් ඇද කරගෙන සංගීත කමරේට වෙලා මැලවිලා හිටියා. ප්‍ර්ශ්නේ දැනගත්තු අපේ මැඩම් කෙලින්ම නතර උනේ ඉස්කෝලෙ ඉස්සරහ තියන බැංකුවෙ. අතේ තිබ්බ වලල්ල උකස් කරලා අපෙ එකාට  විභාගෙ ලියන්න සල්ලි දුන්නෙ අපේ මැඩම්.. ඒ වගෙ පන්ති යන්න සල්ලි දුන්නු උන් ඉසේ කෙස් ගානට ඇති..  ආයෙත් දවසක අපේ පොඩි එකෙක් ෆෝන් එකකට පිස්සු වැටිලා ඒක ගන්න සල්ලි නෑ කියලා දුකෙන් ඉන්නකොට කරේ තිබ්බ මාලෙ උකස් කරලා උබේ ආසාවනේ කියලා සල්ලි දුන්නේ අපේ මැඩම්.. ඒ නිසා  සංගීත කාමරේදි අපෙ අම්මා කියලා කියන  වචනෙට විතරක් සීමා නොවුනු ආදරයක් අපේ මැඩම්ගෙන අපිට ලැබුනා.


ඉස්කෝලෙ  අපි කරපු ගොඩක් උත්සව , ප්‍රසංග වලදි මැඩම්ගේ කනකර බැංකු වල නතර උනා. අපි වෙනුවෙන් ඒ තරම් දේවල් කැපකරපු ගුරුවරයෙක් මට මේ වෙනකම් කවදාවත් මුනගෙහිලා නෑ,  එදා සංගීත කාමරේ මැඩම්ගෙන ඉගනගත්තු හැම එකාම අදටත් මැඩම්ට , අපෙ සංගීත කාමරෙට පන වගේ ආදරේ කරන්නේ ඒ හින්දා..
Time in Sri Lanka: