Friday, December 27, 2013

සුන්දර ප්‍රශ්න

 
 
උඹට මතකද ...?
මට ඉස්සරෝම උඹ හම්බවෙච්ච දවස..
මටත් හරියට නිච්චියක් නෑ.. ඒත්  අඩු පාඩුවක් නැතුව
ජීවිතේ මතකෙට වැටෙන කාලෙ ඉදලා
උඹ හැමදාම වගේ මට මුන ගැහුනා..
 
 
ඉස්සරෝම උඹ මුනගැහුනම
මම පුරුදු උනා අඩන්න..
මම හිතුවෙ උබට දුක හිතිලා මාව දාල යයි කියලා
ඒත් උබ නපුරෙක්
හිත අඩපු හැම වෙලාවකම 
උඹට ඒක ඔච්චමක් උනා
 
ඊට පස්සෙ උඹ මුනගැහෙද්දි
මම උඹව මග හරින්න හැදුවා
පැය ගනන් බෝක්කු උඩට වෙලා උබව අමතක කරන්න හැදුවා
ඒත් උඹ තප්පරේකටවත් මාව දාල ගියේ නෑ..


අන්තිමට මම උඹව මග හරින හැටි ඉගනගත්තා..
උඹ ඊට පස්සෙ මාව බලන්න එනකොට 
මං උබව ආදරෙන් පිලිගත්තා
උඹත් මගේම කෙනෙක් කියලා හිතුවා..
 
මට තේරුනා උඹ එකට ඩිංගක්වත් කැමති නැති බව.
අන්තිමේදි.. උඹ මට මෙහෙම කියලා කාලෙකට කලින් 
මාව දාල ගියා..
මට තාම මතකයි උඹ යද්දි කියලා ගිය වචන ටික
.............................
 
" උඹ ඒ පාර ජීවත් වෙන්න පටන් අරන් "




Saturday, November 23, 2013

මහල්ලාගේ පුත්තු



                                                        එක සීරුවට ගිනියම් වෙන පොලොව මත ඉක්මන් අඩි තබමින් බන්දුල  රිය ගාල දෙසට ඇදෙයි.  දැඩිව වැවුනු රවුල අතරින් ගලා යන දහඩියෙන් තෙත් වූ ඔහුගේ මුහුනෙන් දිස් වන්නේ දැඩි වෙහෙසකර බවකි. ඉක්මන් අඩි තබමින් රිය වෙත ලංවූ බන්දුල රියට ගොඩ වූ සැනින් වායූසමීකරණය පන ගන්වන්නට විය.

" හප්පා... පුදුම රස්නයක් නේ "

බන්දුල තනිවම මුමුනමින් ජංගම දුරකතනයට අත යවයි.

" හෙලෝ.. සඳා... දැන් තමා මීටීන් එක ඉවර උනේ. මම එන ගමන් තාත්තවත් බලාගෙන එන්නේ, දැන් මාස තුන හතරකින් ඒ පැත්තෙ ගියේ නෑ නේ "

" ඔව්.. ඔව්.. අද එනවා  ඔයා බබාව අරගන්න මං එහෙනම් තියනවා "

දුරකථන ඇමතුම අවසන් කල බන්දුල රිය පනගන්වාගෙන ප්‍රධාන දොරටුව දෙසට ඇදෙයි

බන්දුල  කුසල් ජයවරධන දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන විධායක නිළධාරියෙකි. මසකට වරක් අගනුවර මුලස්ථානයේ පැවැත්වෙන රැස්වීම සදහා පැමිනී බන්දුල ආපසු යන අතරමග තම පියාද හමුවීමට තීරණය කොට තිබිනි.

නගරයේ සිට පැය දෙක තුනක් හැල්මේ දිව ආ නවීන පන්නයේ මෝටර් රිය තාර බිදක් හෝ දැක නැති මගට හැරවූ සැනින් රිය පසු පසින් මහා දූවිලි වලාවක් නැගෙන්නට විය.

" මේවා කවදා හදලා ඉවර කරයිද මන්දා.. "

බන්දුල එලෙස තමන්ටම කියාගත්තෙ නොරිස්සුමකිනි.

අබලන් මග දිගේ තවත් දුරක් ගෙවා ආ මෝටර් රිය පැරණි ගේට්ටු කනු දෙක අතරින් ගෙවත්තට ඇතුල් කරද්දි.. නිවසේ ඉදිරිපිට වාඩි වී සිටි මහල්ලෙකු  සතුට පිරි මුහුනින් ඒ දෙසට ඇදී එන්නට විය.

ගස් සෙවන අද්දර රිය නැවැත්වූ බන්දුලද රියෙන් බැස නිවස දෙසට ඇදෙන්නට විය.

" පුතා .. ඇයි මේ හදිස්සියෙ.. "

තම  පුතාගේ හදිසි පැමිනීමෙන් සතුටට හා කුතුහලයට පත්  බන්දුලගේ පියා . නිවස දෙසට ඇදෙන බන්දුල දෙස බලමින් විමසයි.

" නෑ එහෙම මොකුත් නෑ.. කොම්පැනි එකේ මීටින් එකකට ආව යන ගමන් මෙහෙටත් ආවා.."

" එහෙනම් අද ඉදලා හෙට උදෙන්ම යන්න පුලුවන්.. දැන් හවස් වෙලාත් නේ ."

" අනේ බෑ තාත්තේ.. හෙට ආයෙම  අනුරාධපුරේ යන්න ඕන.. ඒ හින්දා අද ගෙදර යන්ඩ ඕන"

" හ්ම්.. එහෙමද "

මහල්ලාගේ මුහුනේ සතුට සැනකින් වියැකී යන අයුරු බන්දුලට පෙනේ..

" ආ... තාත්තට අලුත් යාලුවෙක් හම්බ වෙලා තියෙන්නෙ "

බන්දුල එසේ කීවෙ එතෙක් වෙලා තම පියාගේ තුරුලට වී සැපට නිදා සිටි බලල් තඩියා දැකීමෙනි.

මහල්ලාගේ මුවට නැවතත් සිහින් සිනාවක් නැගේ..

" ඔව් ඔව් .. මේකා තමා දැන් ඉතිං මගේ තනියට ඉන්න එකම එකා.. දැන් වරුවක් විතර නටලා නටලා සැපට නිදි "

බන්දුලගේ පියා තුරුලේ සැපට නිදා සිටින බලල් තඩියාගෙ හිස අතගාමින් පවසයි

" යං පුතේ ගෙට තේ ටිකක් වත් බීලා ඉමු "

" කෝ තාත්තෙ දැං සුමනසිරිලා ගෙවල් වල නැද්ද "

පියා පිටුපසින් ගෙතුලට ඇදෙන බන්දුල  අවට බලමින් පියාගෙන් විමසයි.

" ඔහේ නෑ .. සතියකට වතාවක් වගේ තමා උන්දැත් ගෙදර එන්නෙ. බන්ඩාරවෙල පැත්තෙ මොකක්දෝ කරනවා කියන්නෙ .. ඒ ගෙවලුත් දැන් පාලු වෙලා . මම විතරයි මේ මන්ඩියටම ඉතුරු උනේ "

" හ්ම්ම්... ඒකත් එහෙමද "

 " දැන් පොඩි එකා එහෙම ඉස්කෝලෙ යනවද පුතේ " 

මහල්ලා බන්දුලගේ දෑස දෙස බලමින් විමසයි

" ඔව් තාත්තේ දැන් හතර වසරෙනෙ පොඩි එකාටත් ඉතිං නිවාඩුවක් නෑ. සදා දැන්ම ඉදං ඔය මොනවද ක්ලාස් වගේකට දාලානේ ඒකයි ගිය නිවාඩුවටටවත් එන්න බැරි උනේ"


" පොඩි එකා දකින්නත් ආසයි පුතේ "

කඩවුනු දැසින් මහල්ලා මුමුනයි

බන්දුලට තම පියා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි වයසින් අවුරුදු 70කට වැඩි තම පියා දැනට අවුරුදු තිහ හතලිහක සිට වෙසෙන්නේ කාත් කවුරුත් නොමැති අනාතයෙකු ලෙසිනි. බන්දුල හා එක්කුස උපන් සහෝදරියක් වූ පවුලෙන් බන්දුලගේ අක්කා දැන් වෙසෙන්නෙ අනුරාධපුරයට ආසන්නවය.  පියා තමා සමීපයට ගැන්මට බන්දුලගේ උවමනාව පැවතියත්  බන්දුලගේ බිරිද එයට එතරම් කැමැත්තක් නොදක්වන්නේ බන්දුලගේ සොයුරියටද එම යුතුකම ඇති බව පවසමනි.  


" පුතේ මේ තේ එක බිව්වනම්  ..     "

තිගැස්සී පියවි ලොවට ආ බන්දුල දකින්නේ තමා දෙසට තේ කොප්පය දිගුකරගෙන සිටින පියාගෙ රුවය.

" ආ.. කෝ දෙන්න තාත්තේ ."

ඒ අතරේම කොහේදෝ සිට දුව ආ බලල් තඩියා බන්දුලගේ සපත්තු ලේසය හා නටන්නට පටන් ගනී.

" ආ.. ආ,. චුටී පුතා මොකෝ ඔය කරන්නෙ... "

මහල්ලා සිනා සෙමින් බලල් තඩියා තුරුලට ගනී. මහල්ලාගේ තුරුලට වන් බලල් තඩියා මහල්ලාගෙ දෑත් ලෙවකමින් පපුවෙ තුරුල් වෙයි

" ආ මෙයාගෙ නම  චුටි පුතාද ? "

බන්දුලද සිනාසෙමින් බලලා දෙස බලයි..


මම යන්නම් තාත්තේ  හෙට උදේම ආයෙ පිටත් වෙන්න ඕන..


++++++++++++++++++++++++++++++++++++++++



ගමන් වෙහෙස යන්නට නාන කාමරයට වැදී පැය බාගයක් පමන නා ගත් බන්දුල රාති ආහරයද ඉක්මනින් ගෙන නිදන කාමරය දෙසට ඇදෙන්නට විය

" මොකෝ අදනම් මහන්සි වගේ කෑවෙත් බාගෙට නේද "

බන්දුලගේ බිරිද නිදන කාමරයේ සිට විමසයි

" ඔව් සදා මාර මහන්සි"

බන්දුල ඇදට වැටෙමින් පවසයි

" මොකෝ තාත්තා කියන්නේ "

" දැන් අල්ලපු ගෙදරත් කවුරුත් නෑ .. සදා තාත්තා විතරයි තනියම "

" හ්ම්ම් .. එහෙමද ,, අක්කලා එහෙමවත් ලගදි ඇවිත් නැද්ද "

බන්දුලගේ බිරිද එසේ කිවෙ තරමක නොරිස්සුමකින් බව බන්දුලට වැටහේ .. සමහරක් විට ඔහුගේ ඊලග යෝජනාව ඇයට දැනෙන්නට ඇති බව බන්දුලට සිතේ.

" අක්කලාට අපිට වගේ නෙවෙ නෙ සදා..  මහින්ද අයියත් ලෙඩ ගානේ අක්කා ගියා මාසෙ එහෙම තියෙද්දිත් ඇවිත් ගිහින් තියනවා "

" එහෙනම් ගානක් කඩාගෙන යන්ඩ එන්ඩ ඇති "

" හැමදේම ඔහොම හිතන්ඩ එපා සදා .. දැන් ඔය කතාව ඇති මම එ ගැන බලාගන්නම් "

බන්දුලට තරමක් තද ස්වරයෙන් පවසා ඇදේ අනික් පස්ට හැරෙයි..

මද නිහැඩියාවකට පසු .. නැවත බන්දුලගේ බිරිද හඩ අවදි කරයි..

" මම තරහ යන්න දෙයක් කිව්වෙ නෑ නෙ බන්දු දැන් තාත්තා මෙහෙ ගෙනාව කියන්නකෝ.. ඔයා දවසම ගෙදර නෑ.. මමත් එනකොට හවස් වෙනවා පුතා උනත් දවසම ක්ලාස්. එහෙම උනොත් තාත්තව බලාගන්නත් කාව හරි ගන්න වෙනවා.. "

" හ්ම්ම්.. කොහොමත් ඔයා කතා කරන්නෙම ඔකෙ නරක පැත්තනෙ "

බන්දුල ඉවත බලාගෙනම පවසයි

" හරි හරි අපි කල්පනා කරලා බලමුකෝ මොනවා හරි කරන්න.. ඉතිං දැං තාත්තගේ තනියට එහෙ කවුරුත්ම නැද්ද .."

බන්දුලගේ බිරිය සැමියා දෙස බලමින් විමසයි

" ඉන්නවා.. "

" ආ.. කවුද "

" පූසෙක් "


" මොකෙක්..!  පුසෙක්.. "

බන්දුලගේ බිරිය සිනාවෙමින් සිය සැමියා දෙසට ඇදෙයි...

" ඒ මොකක්ද අනේ ඒ කතාව.. "

" මොකුත් කතාවක් නෙවෙ තාත්ත පූසෙක් හදනවා ඌ තාත්තා එක්කමයි .. ඌ තමා දැන් තාත්තගේ තනියට ඉන්නෙ.. "

" පූසොන්ට තේරෙනවද අනේ තනිකම ගැන "

සදා සිනාව අතරින්ම මුමුනයි

" ඒත් තාත්තට ඒක හොදට තේරෙනවා ඇති සඳා.. "

බන්දුල දෑස් පියාගනිමින් පවසයි..



++++++++++++++++++++++++++++++++++++++++++

ඉස්තෝප්පුවේ කෙලවරක හාන්සි පුටුවේ වාඩිවී සිටින මහල්ලාගේ තුරුලේ නිදාසිටින බලල් තඩියා නැගිට ඈලි මෑලි කඩා මහල්ලාගේ මුහුන දෙස බලයි..

ඈත ගේට්ටු කනු දෙස බලා සිටි මහල්ලා. නින්දෙන් නැගිට තමා දෙස බලා සිටින පුසා දෙස දෑස් යොමු කර හඩ අවදි කරයි


" ඇයි උබට තනිද පුතේ "














Sunday, November 10, 2013

ගන්න අපේ දේ..

 
 
                                  අපේ පවුලක උපන්න එකෙක් වැරදිලා හරි පිස්සෙක් උනොත්.. අපි ඌට ගරු නම්බු නාමයක් දෙනවා " මානසික රෝගියා " කියලා.. පවුලෙ එහෙම එකෙක් නැත්තං මගතොටදි දකින ඕනම මානසික රෝගියෙක් අපිට පිස්සෙක් , මොංගල් කාරයෙක්
  
අපේ පවුලක උපතින් අන්ඩක් අතක් පයක් නැති එකෙක් හිටියොත් අපි ඌට දෙන නම්බු නාමේ ආබාධිතයා. එහෙම එකෙක් හිටියෙ නැත්තං පාරෙදි දකින ඕනම එහෙම එකෙක් අබ්බගාතයෙක් කොරෙක්..

බස් හෝල්ට් වල . මාකට් වල ඕන තරම් පාරවල් වල ඒ වගේ අහිංසකයෝ තියාගෙන බයිට් කරන මනසික ආතල් ගන්න උන් මේ රටේ නෑ කියලා කියන්න පුලුවන්ද. නුවර මාකට් එක ලග ඉන්නවා මනුස්සයෙක් මානසික රෝගයක් තියන . ඒ මනුස්සයා ඒ ලෙඩෙට වඩා අපේ මේ ගෞතම බුද්ධ රාජ්‍යේ පිංවතුන් නිසා විදවනවා. එ මනුස්සයට එහෙන් මෙහෙන් ඇනලා ඒ මිනිහා කුනුහරුපෙන් කෑ ගහන්කොට අපේ ඇත්තෝ පුදුම මානසික සතුටක් ලබනවා මං දැකලා තියනවා

මේ සිංදුවෙ වටිනාම ටිකත් මම දැක්කෙ අන්තිමට ... සිංදුව අවසන් වෙනකොට. පිටරට වලින් ආව මිනිස්සු සිංදුව ඉවරවෙනකොටම නැගිටලා අත්පුඩි තලනකොට ඊටත් විනාඩි දෙක තුනකට විතර පස්සෙ ඉදගෙන ඉන්න බැරි කමටම අපේ සුදු නැශනල් පෝලිමක් එක පිලිවෙලට නැගිටගෙන යනවා දැක්කා.. ඒ අතරෙදි දැක්ක විදේශ රටක කාන්තාවක් ඇස් වලින් වැටෙන කදුලු එක දිගට පිහිදනවා..

.. කාලෙකට කලින් රට පුරා ගියපු ඇඩ් එකක් මතක් උනා..

" ගන්න අපේ දේ "



Monday, October 28, 2013

සිල්ලර ෆෝන් කටුවෙන් ලෝකය දැකීම

  
(මෙය අන්තර්ජාලයෙන් ගත් ජායාරූපයකි)



                                    හිච්චි එකා සන්දියේ මේ ඔලු ගෙඩිය අස්සේ මහා හීන තොගයක් තිබ්බා ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලපු දවසට මට ඕන උනේ පහුවෙනිදා ඉදලා කරාටි පංති යන්ඩ. අමරදේව මහත්ත්යගේ සිංදුවක් අහපු හැම වෙලාවකම මට ඕන උනේ ඒ හඩෙන් සිංදු කියන්ඩ. කොටින්ම කියනවනම් මට පොර වෙන ඕනම දෙයක් දැක්කම මට ඕන උනේ එහෙම වෙන්ඩ.. එකෝම එක සැරයක් පුංචි ලස්සන හොල්මන් කෙල්ලක් ඉන්න චිත්‍රපටියක් TV එකෙ ගිහින් මං මැරෙන්ඩත් හිත හදාගත්තා :D.

ඒ පුංචි කාලේ හරිය...

ඊටත් පස්සෙ කාලෙක මම හිතාගත්තා මගේ පොර මංම වෙන්ඩ ඕන කියලා.. ඒ කියන්නේ මං දැන් පොරක් හරිය. :D

ඊට පස්සෙ පිලිවෙලට බයික් පිස්සුව, ගිටාර් පිස්සුව , ෆෝන් පිස්සුව , කොම්පීටර පිස්සුව , කැමරා පිස්සුව වගේ දේවල් පිලිවෙලට ජීවිතේට ආවා.  කැමරා පිස්සුව ඇරෙන්ඩ අනික් හැම එකම වගේ මේ වෙනකොට හොඳ වෙලා ඉවරයි කැමරා පිස්සුවත් ෆෝන් පිස්සුවට බෙහෙත් ගත්ත කාලෙම ටිකක් යට ගියා.. මොකද ඒ බෙහෙත් මේ ලෙඩේටත් ටිකක් ගුණදායක උන හින්දා..

මේ ඉතිං බොහෝම ආධුනිකයෙක් විදියට මගේ සිල්ලර ෆෝන් කටුවලින් ගහපු ෆොටෝ කෑලි ටිකක්..  ( පින්තූර උඩ එබුවහම ලොකුවට පේනවය කියලා ගූගල් අයියා කියන්නේ )

Photos - Nokia N 97 | Sony Ericsson J10i2 



























Monday, October 21, 2013

හීන සහ මිත්‍රයෝ

                                          මේ කතාවට මග පාදගන්ඩ පොඩි නෙවේ මහා විසාල පදුරු තැලිල්ලක් කොරන්ඩ වෙනවා. එහෙම නොවුනොත් මගේ හිතේ තියන විදියට මේක ලියාගන්ඩ බැරි වෙනවා ඒ හින්දා  වීසි කැති , උදලු පිහි ලෑස්ති කරන් කියවන එක හොදා.........
  
                                  එකදාස්වලින් අවුරුදු ගතවෙන කාලේ  හිච්චි එකෙක් වෙච්ච මට ඉන්ටර්නෙට් කිව්වම ඒක දරාගන්න බැරි තරම් මැජික් එකක් උනා.. ඊටත් පහු කාලෙක ගැටබේ තිබ්බ ඇසළ මේලාවක නොමිලේ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකක පෝලිමේ ඉදලා යාහු සර්ච් එකක් කරපු දවසේ මම හිතුවේ මම බිල්ගෙට්ස්ටත් වඩා පොරක් කියලා.  එ ඔකොමත් ගෙවිලා 2008 අවුරුද්දේ මම ග්‍රාමසේවක සහතික, චරිත සහතික ඔක්කොම තාත්තට පෙන්නලා ගෙදරට ඉන්ටනෙට් ගත්තා.  ඉනටර්නෙට් කියන්නේ යකෙක් රකුසෙක් නොව ආතල් පුස් පැටියෙකි කියලා ගෙදරට කියලා දෙන්ඩ මම නොගත්ත උත්සාහයක් නෑ.

2008 ඉදලා මම 2010 වෙනකම් ඉනටනෙට් එකෙන් හම්බකලා..  සේවක සංඛ්යාව 7ක් වෙච්ච පුංචි ව්‍යාපාරෙකුත් එක්ක.  ඒත් ඉතිං වට පිටාවෙ ඉන්න උන් නම් ඕක දිහා බැලුවේ නිකං කෝන මාන අස්සෙං.. අරූ කෙල්ලෝ 7කුත් තියාගෙන ඉන්ටනෙට් එකේ මොන මගුලක් කොරනවද මන්දා.. උන් හිතුවෙ එහෙම  එතකොට නෑයෝ..  " අනේ නංගියේ දැං කාලෙ වෙන දේවල් දන්නවනේ පුතාව පරිස්සංකරගං.. "  නෑයෝ කොයි තරම් මං ගැන දුක් උනාද.. එව්වා ඉතිං එහෙමයි.

ඇමරිකාවෙයි ලංකාවෙයි එක එක හුටප්පර හින්දා මම මගේ පුංචි ව්‍යාපාරේ  වැඩේ අත ඇරලා දාන්නේ 2010 මැද හරියක් විතර යද්දි.. ඊට පස්සෙ  මොකටද මට ඉන්ටනෙට්.. 

" ඔන්න ඔය මගුල තියනවනම්  ඉස්සර වගේ උබම බිල ගෙවපන් " ගෙදරින් සාධාරන මල්ටි බැරල්

හම්බකරන්ඩත් නැතුව.. වෙන  වැඩකුත් නැතුව මොකටද මං ඉන්ටනෙට් තියාගන්නේ..  ඔන්න එදා මම ජීවිතේට ගත්ත වැදගත්ම තීරනේ ගන්නවා.  

ඕන මගුලක්  කියලා  මම ඉන්ටනෙට් එක තියාගන්ඩ තීරනය කරනවා

හැබෙයි  මම ජිවිතේ හම්බකරපු වටිනාම දේවල් හම්බ කරගත්තේ එදායින් පස්සෙ , ඊට පස්සෙ මම ඉන්ටනෙට් එකෙන් ඉගන ගත්තා. රුපියල් විසි තිස් දාස් ගනන් වල කෝස් මම මාසෙට රුපියල් 1500 දීලා ඉගනගත්තා. ඊටත් පස්සෙ ඔය අන්තර්ජාලෙ තියන අහු මුලු වල හක්කලං කලා. අන්න එතනදි  තමා මගෙ ජීවිතේ වටිනම යාලුවෝ මට හම්බ උනේ..  


ඒ දවස් වල ආගම් ප්‍රශ්න වලට වලි නැගලා ගිය එක අඩ්වියකට මම සෙට් උනේ අහම්බෙන්.. හැමදාම හවසට සරමත් කරට අරන් ඕකට සෙට් වෙන්ඩ මම පුරුදු වෙලා හිටියා.. ඕකට මාව සෙට් කරගත්තේ  සමන්තයා.. , පොර අරාබිකරේ ඉන්න හිත හොද වගේම සෑහෙන්ඩ දැනුමක් තියන ඔටුවෙක්. ඉතින් ඒ අඩිවියෙන් මම ගැලවෙන්නෙ ජීවිතෙට එකතු උනු  හොදම යාලුවෝ ටිකක් හදාගෙන. 

මට 1 වසරෙදි හිටපු හොදම යාලුවා දැන් හොයාගන්ඩවත් නෑ .. ඌ  කැටපිලර් එකක් එලවනවා කියලා ආරන්චි ඒත් දැන් අවුරුදු 15 විතර  දැකලා නෑ. ඊට පස්සෙ හිටපු හොදම යාලුවා ඌත් ආගිය අතක් නෑ..  යාන්තම් හරි ඊට පස්සෙ ඉතුරු උනේ 6 න් 7වසරෙන් පස්සෙ එකතු උනු යාලුවෝ ටික.  මගේ යාලු ආස්සරේ ටිකක් විතර අමුතුයි මිනිහෙක් මට දිරවාගැනීමෙ අපහසුවක් තියනවනම් ඌ ආස්සරේ කිරිමේ ලොකු අපහසුවක් මට තියනවා. ඒ හින්දා ඉස්කෝලෙන් අයින් වෙලා මේ වෙනකොට මට ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු ඉස්කෝලෙ යාලුවෝ ප්‍රමාණයක්.  

මුලින්ම මට ජංජාලෙන් හම්බ උනු යාලුවා සමන්තයා..  කියලා කිව්වනේ  .. ඌ ඉතිං මාව බොහොම දරුනු පොරක් කලා. කොටින්ම මම අර කලින් කිව්ව සයිට් එකට ලොග් වෙනකොට වයස 18 අඩු උන් කොම්පීතර ඕෆ් කරලා නැගිටලා ගියා කියලා අපේ සුදු අක්කා මං එක්ක කිව්වා පස්සෙ කාලෙක..

එහෙම නැහැදිලා හිටපු මාව කවි සීපද ලියපිය කියලා හොද මනුස්සයෙක් කොරන්නේ මට ඊලගට හම්බ වෙච්ච මගේ ආදරණිය සුදු අක්කා   කොටින්ම කියනවනම් එදා ඉදලා අද වෙනකම්  ඉගනගං.. අරක කෝස් එක කරපං , මේ කෝස් එක කරපං කියලා අම්මෙක් වගේ බලාගන්නේ, ලංකාව හතර වටේ ට්‍රිප් එක්ක යන්නේ, ඒ වගෙම බූලොන්ට නැති තෑගි , ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් හොයලා දෙන්නේ,  ඒ වගේම අපේ හාමිනේව බලාගන්නෙත්  අපේ සුදු අක්කා 
 
ඊට පස්සෙ   හම්බ උනේ  ඉබ්බා  ඉබ්බෙක් කිව්වට් ඌ හෙන දිග පලල එකෙක්.  ඌගෙ පොඩි අවුලකට තියෙන්නෙ ඌ ජීවත්වෙන්නේ උගේ පපා කියපු විදියට පපා ඌට ඕන දේවල් ටික ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කියලා දීල නිසා ,ඌ තාමත් ඔක්කොම දේවල් කරන්නේ අග මුල මාරු කොරලා.. ඌත් ඉතිං මොන තරම් මොලේ අමාරුකං තිබ්බත් හොද එකා. සමාජ සත්කාරේ කිව්වොත් ඉතිං ඉහටත් උඩින් රට වටේ පන්සල් හදනවා මේ දවස් වලනම්. වැඩිපුරම අවුරුදු 30 පැන්න නංගිලා ඉන්න පැති වල තමා මිනිහා පිංකම් කරන්නෙ

ඕං ඊලගට මට සෙට් වෙන්නේ අන්තර්ජාලේ  හෙන දරුනුයි කියලා හිතං හිටිය පොරක්. ඌට ජංජාලේ ඈයෝ නම් කියන්නේ මාරයා කියලා. උගේ මාර ගතිය ඉස්සර්වෙලාම දැනගත්තේ ඌට ඉස්සරවෙලාම ෆෝන් එකෙන් කතා කරපු දවසේ හලෝ මාරයද කියලා අහපුවම. එහා පැත්තෙන් සැමන් ටින් එකක්  දහයේ කියත් පටියකින් හූරනවා වගේ ඔව් අනේ කියලා සද්දයක් ආවා..  අනේ ඉතිං උගේ මාරකං.. මොනවා කලත් ඉතිං රට වටේ හක්කලං ගහන්ටයි හැමදාම කොලඹ ඇද්දම කන්ඩ හදලා දෙන එකයි අපරාදේ කියන්ඩ බෑ ඌ හරියටම කරනවා.. මක්ක කලත් ඉතිං ඕනම වැඩකට නෑ බෑ නොකියා. ඇවිත් කරලා දෙනවා. කොටින්ම කියනවනම් ඉතිං බාප්පා වගේ තමා 

 මොනදේ විහිලුවට කිව්වත් ජිවිතේ ගොඩදාගන්ඩ අමාරු උනු ගොඩක් ප්‍රශ්න වලදි , ඔය යාලුවෝ සෙට් එක මං එක්ක හිටියා . මේ වගෙම තවත් කීප දෙනෙක් මට ජංජාලේ නිසා හම්බ උනා ඒ  අය එක්ක එකතු වෙලා කරපු මේ වගේ ගොඩක් දේවල් වලින් ජීවිතේට  කවදාවත් අමතක  වෙන් නැති දේවල් බොහොමයක් මගේ ජිවිතේට එකතු උනා..  ඒ වගේම ඒ වගේ හම්බවෙච්ච තවත් මිත්‍රයෙක් නිසා  ජීවිතේ තිබ්බ ලොකු හීනයක් පහු ගිය දාක ඉෂ්ඨ උනා

අමරදේව මාස්ටර් කියන්නෙ මගෙ ජීවිතේ වීරයෙක්. හුගක් උන්ට බැට් මෑන් ,සුපර් මෑන් , ෂාරුක් ඛාන් වීරයෙක් වෙන වයස වෙද්දී මගෙ වීරයා උනේ අමරදේව මාස්ටර්, පන්ති කාමරේ ගුරුවරයෙක් නැති වෙලාවට  එහෙමත් නැත්තං සංගීත කාමරේ ගෙවුන ගොඩක් වෙලාවල් වලට තාල ඇල්ලුනේ අමරදේව මාස්ටර්ගේ සින්දු වලට.  ඒ කාලෙ ඉදලම මගේ හිතේ තිබ්බා ලොකු හීනයක්.. ඒ තමා අමරදේව මාස්ටර් ඇස්දෙකෙන් දැකලා එතුමගේ ප්‍රසංගයක් බලන එක. එත් එක අවුරුදු 15කටත් වඩා මගේ හිතේ හීනයක්ම වෙලා තිබ්බා. වෙලාවකට හිතුනා ඒක හීනයක්ම වෙයි කියලා.. ඒ අතරෙදි තමා අපේ  සුදු අක්කා  මගේ තිබ්බ මේ උන ගැන විස්තරේ සුදු අක්කගෙයි මගෙයි යාලුවෙක් වෙච්ච සත් ගුනවත් තිස්ස අයියට කියන්නේ. මොකද අක්කත් කිහිප සැරයක්ම උත්සාහ කලා මට එතුමගේ ප්‍රසංගයක් බලන්න අවස්ථාවක් අරන් දෙන්න. ඒ වගේම නෙලුම් පොකුනේ අමරදේව මාස්ටර් කරපු ප්‍රසංගේ අන්තිම මොහොතේ රනිලුයි ෆොන්සේකා මහත්තයයි නිසා  මට මිස් වෙලා ගියා.

ඉතිං ඔය පනිවිඩේ දැනගත්තු අපේ සත් ගුනවත් තිස්ස අයියා බෝම මහන්සි වෙනවා , මට ඔය අවස්ථාව අරන් දෙන්න. නිකං හරි බුකියෙ දැක්කත් තිස්ස අයියා මෙහෙම කියනවා " මල්ලි මට අමතක වෙලා නෑ හොදේ " යාලුවෝ කියන වචනේ තේරුම හරි පුදුමයි කියලා ඒ ගොඩක් වෙලාවට මට හිතුනා. ඉතිං  වැඩ රාජකාරී දාහක් අස්සෙ දව්ස් කීපෙකට ලංකාවට ඇවිත් හිටපු තිස්ස අයියා පහු ගිය දවසක මට කෝල් එකක් දෙනවා..

"මල්ලී අමරදේව මාස්ටර්ගේ ෂෝ එකක් තියනවා හෙට උබට එන්න පුලුවන්ද ? "

ඊලග මොහොතේ මට දැනුනේ නිකං මගේ කන් දෙක දෙපැත්තෙන්  A/C කලා වගේ හැගීමක්. 

අන්න එහෙමයි යාලුවෝ හින්දා හීන හැබෑ වෙන්නේ.. හැබෙයි මේ කතාවෙදි මට මස් කෑල්ලක් නෙවෙ රාත්තලම හම්බ උනා.. පහල ෆොටෝ කෑලි ටික ඒකට සාක්කි..







  මගේ.. ජීවිත කාලෙදි යාලුවෝ කියලා කටපුරා කියන්න පුලුවන් පිරිසක් මම හම්බකරගත්තා   මේ සටහන ලියන්න හිතුවේ මේ හැමදෙයක්ම වෙනුවෙන් කරපු ස්තූතියට තිස්ස අයියා කියපු මේ කතාව දැක්කට පස්සෙ..

 " උඹල කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "


ඒක ඒ විදියටම  මටත් කියන්න වෙනවා මේ සටහන ලිව්වෙත් ඒ වෙනුවෙන්..........



" ඔයාලා කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "



Saturday, October 5, 2013

සංගීත කාමරේ.... සහ මගේ ගුරුවරිය






                                                   ඉස්කෝලෙ කාලෙ කියන්නෙ  අදටත්  ලොකූ මතක ගොඩක්... ඒ මතක වලින් වැඩි හරියක් එකතු වෙච්ච තැනක් තමා අපේ සංගීත කාමරේ කියන්නෙ.. දවසට එක එක විශයන් වලට බෙදලා පීරියඩ් කීපයක් තිබ්බත් අපි කීපදෙනෙක්ගේ සදාකාලික පන්ති කාමරේ බවට පත්වෙලා තිබ්බේ අපේ පුංචි සංගීත කාමරේ.. එහෙම වෙලාවට අපේ මැඩම්ගෙන් බැනුමක් දෙකක් අහගෙන සංගීත කාමරෙන් එලියට ආවත්. ආයෙම විනාඩි ගානකින් අපි නතර උනේ සංගිත කාමරේ..  අමරදේව මාස්ටර්.. සුනිල් මහත්තයා ඒ දවස්වල අපි පට්ට ගැහුවා. 

ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් එහෙමත් නැත්තං සමස්ත ලංකා තරග පවත්වන කාලෙ අපි බොහොම සතුටින් හිටපු කාලයක්. මොකද එතකොට අපිට නීත්‍යානුකූලවම සංගීත කාමරේ ඉන්න අයිතිය හම්බවෙනවා. ඇත්තටම අදටත් එ මතක හරි සුන්දරයි..  මම ඉස්කෝලෙන් සමුගත්ත අවුරුද්දෙ අපි එකතුවෙලා සංගීත දිනයක් පටන්ගත්තා.. ඒ අපේ පාසලේ මුල්ම වතාවට සංගීත අංශයෙන් කරපු දෙයක් විදියට. එකෙ නම " ස්වර රංජනා" නම තිබ්බේ අපේම එකෙක් .. ඉතින් පහුගිය 3 වෙනිදා වෙනකොට   අපි සංගීත දිනය වෙනුවෙන්  සර්පිනාවයි තබ්ලාවයි , වයලීනෙයි වගේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තිබ්බ පොඩි ඔගෙස්ට්‍රාවකින් පටන් ගත්තු ස්වර රංජනාව 9 අවුරුද්ද පහු කලා ..නිකං නෙවෙ ලංකාවෙ තියන හොදම ඔගෙස්ට්‍රාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් කොල්ලො ටිකක් සහ වොයිස් කරන්න පුලුවන් කොල්ලො ටිකක් එක්ක.. 

අවංකවම එදා අපේ ඇස්වලට කදුලු ආවා..

මේ කතන්දරෙ මෙ විදියට ලියන්න හිතුවෙ මම ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 8ක් වෙලත් සංගීත කාමරේ එක්ක බැදුනු ජිවිතේ තාමත් ඒ ව්දියටම තියෙන එක ගැන හිතේ තියන සතුට නිසා.. ඉස්කෝල ජිවිතේදී අපිට ගොඩක් ගුරුවරු හම්බවෙනවා. මටත් ඒ වගේ හම්බ උනා. එත් අදටත් කකුල් දෙක අල්ලලා පාරක උනත් දනගහලා වදින්න පුලුවන් ගුරුවරු දෙන්නයි එදත් අදත් මට ඉන්නෙ .. එකෙන් පලවෙනියා මගේ සංගීත ගුරුවරිය , අනෙක් කෙනා මගේ නැටුම් ගුරුවරයා.. 

අපේ සංගීත මැඩම් ගැන කියනවනම් .. මැඩම්ගෙන් ගුටි නොකාපු , බැනුම් අහපු නැති එකෙක් නෑ.. හැබෙයි කිසිම දවසක හිතේ අපි ගැන තරහක් තිබිලත් නෑ . මගේ කොල්ලො ටික මගෙ දරුවෝ ටික කියලා තමා අපෙ මැඩම් හැමදාම අපිට කතා කලෙ.  ඇත්තටම සංගීත කමරේදී අපේ මැඩම් අපිට අම්මා කෙනෙක් .. එක කතාවට විතරක් කියන දෙයක් නෙවෙ. සාමන්යෙන් ගුරුවරු නොකරන බොහෝ දේවල් අපේ මැඩම් අපි වෙනුවෙන් කලා..   මෙ එහෙම කතා ටිකක්

අපෙ ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබ්බම මැඩම්ට ප්‍රධාන ගැටලුවක් උන එකෙක් තමා මම. මොකද මම බෑන්ඩ් ගැහුවා , නැටුම් කලා , ඉතිං උත්සවේකදි සංගීත අංශයෙන් තියන ප්‍රසංග අංකෙ මම අර ඔක්කොම වැඩ ටික ඉවර කරල එනකම් මැඩම් පහු කරලා තියාගන්නවා..  මැඩම්ට ඔන තරම් පුලුවන් කම තිබ්බා මගේ තැනට හිටගෙන ඉන්න විතරක් පුලුවන් එකෙක් දාලා ඒ බර ඔලුවට නොගෙන ඉන්න. එත් කිසිම දවසක මැඩම් එහෙම කලේ නෑ. ඕනම එකෙක්ට යන්තමින් හරි දෙයක් පුලුවන් කියලා මැඩම් දන්නවනම් ඌව කොහොම හරි ගොඩ යවන්න අපේ මැඩම් දැනගෙන හිටියා.. ඒ වගේම තමුන්ගේ වැඩෙ විතරක් කරගෙන අනික් දේවල් බල්ලට ගියත් කමක් නෑ කියන ඕන තරම් ගුරුවරු ඉද්දි. තමන්ගෙ වැඩේ පහු කරගෙන හරි ලමයාට ඒ හැම්දේකටම සහභාගි වෙන්ඩ වෙලාව හදලා දුන්නා.. ඒ මැඩම්ගේ හැටි..

අපේ මැඩම් ගැන කියන්න තව කතා නම් කීයක් තියනවද.. අපෙත් එක්ක හිටපු එකෙක්ට විභාගයක් ලියන්න සල්ලි නැති වෙච්ච වෙලාවක . මූ මුනත් ඇද කරගෙන සංගීත කමරේට වෙලා මැලවිලා හිටියා. ප්‍ර්ශ්නේ දැනගත්තු අපේ මැඩම් කෙලින්ම නතර උනේ ඉස්කෝලෙ ඉස්සරහ තියන බැංකුවෙ. අතේ තිබ්බ වලල්ල උකස් කරලා අපෙ එකාට  විභාගෙ ලියන්න සල්ලි දුන්නෙ අපේ මැඩම්.. ඒ වගෙ පන්ති යන්න සල්ලි දුන්නු උන් ඉසේ කෙස් ගානට ඇති..  ආයෙත් දවසක අපේ පොඩි එකෙක් ෆෝන් එකකට පිස්සු වැටිලා ඒක ගන්න සල්ලි නෑ කියලා දුකෙන් ඉන්නකොට කරේ තිබ්බ මාලෙ උකස් කරලා උබේ ආසාවනේ කියලා සල්ලි දුන්නේ අපේ මැඩම්.. ඒ නිසා  සංගීත කාමරේදි අපෙ අම්මා කියලා කියන  වචනෙට විතරක් සීමා නොවුනු ආදරයක් අපේ මැඩම්ගෙන අපිට ලැබුනා.


ඉස්කෝලෙ  අපි කරපු ගොඩක් උත්සව , ප්‍රසංග වලදි මැඩම්ගේ කනකර බැංකු වල නතර උනා. අපි වෙනුවෙන් ඒ තරම් දේවල් කැපකරපු ගුරුවරයෙක් මට මේ වෙනකම් කවදාවත් මුනගෙහිලා නෑ,  එදා සංගීත කාමරේ මැඩම්ගෙන ඉගනගත්තු හැම එකාම අදටත් මැඩම්ට , අපෙ සංගීත කාමරෙට පන වගේ ආදරේ කරන්නේ ඒ හින්දා..

Monday, September 23, 2013

චන්දේ...

චන්දේ...





එකදාස් ගනන්වලින් අවුරුදු ගනන් කරන කාලේ මම මීට වඩා බරපතලෙටම දේශපාලනේ කලා. චන්දෙ ඔන්න මෙන්න කියලා ගෙදරට එන පාට පාට මාමලගෙන් වැඩිම කැලෙන්ඩර් කාඩ්. පෝස්ටර් එකතු කරන සීතල යුද්දයක් මමයි මල්ලි අතරෙයි දරුනුවටම තිබ්බා ගොඩාක් වෙලාවට ඒවා කෙලවර උනේ පූර්ව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා වලින්. කැෆේ සංවිධාන වගේ සංවිධාන නොවුනත් අපේ අම්මගෙ හරි තාත්තගෙ හරි සංවිධානයක් මැදිහත් වෙලා ඒවා නීරික්ෂනය කරලා ඒ වෙලාවෙම බරපතල දඩුවමුත් ලබා දුන්නා.

ඊට පස්සෙ වැදගත්ම දවස උනේ චන්ද දවස . උදේ පාන්දරින් ගිහින් චන්දෙ දාල එන අම්මගෙයි තාත්තගෙයි පුන්චි ඇගිල්ල දිහා බලාගෙන අපී අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා . මොකද අපිටත් අයිතියක් තියනවා මේ රටේ පුරවැසියෝ වැස්සියෝ විදිහට අපේ මනාපේ දෙන්ඩ. හැමදේටම අපි පුන්චි වැඩි කියන එක පිලිගන්ඩ පුලුවන්ද.  දෙපාරක් තුන්පාරක් පුම්බගෙන  එහෙ මෙහෙ යනකොට ඔන්න තාත්තගෙන් කැදවීමක් එනවා.

" එනවා කන්තෝරු කාමරේට "

අන්න ඒ වෙලාවට පුම්බගත්ත නැට්ට අකුලගෙන මල්ලිට කලින් කොහොම හරි මම කාමරේට පැනගන්නවා. ඒ දවස් වල අපේ තාත්තා ලග තිබ්බා මාකර් පෑන් ඉතින් තාත්තා කරන්නේ ඕකෙන් අපේ පුන්චි ඇගිල්ල පාට කරන එක. අන්න ඒ විදියට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ  පුරවැසියෙක් වීමෙ අයිතිය කන්තෝරු කාමරේදී අපේ තාත්ත ලබා දෙනවා.



ඉතින් ඊට පස්සෙ හරී සන්තෝසයි. ගෙදරට එන බල්ලටයි කොල්ලටයි නැන්දලටයි මාමලටයි සහ සීයලුම හෙලවෙන ජීවියෙක් දැක්ක ගමන් අපි කරන්නෙ අපේ ඇගිල්ල උස්සලා පෙන්වන එක. සෙල්ලංද අපිත් චන්දෙ දීලා ඉන්නෙ.


එහෙමත් වෙලාවක කොරන්ඩ වැඩක් නැතිම එකෙක් කුපාඩි කමට අපෙන් ප්‍ර්ශ්නයක් අහනවා. ආ ලොක්කා කාටද චන්දෙ දුන්නෙ. 

ඕකට මම හැමදාම දුන්නෙ එකම උත්තරේ ... පලාත් සබා , ප්‍රාදේශිය සබා , ජානාධිපතිවරනේ ඔය මොකක් උනත් මගේ උත්තරේ උනේ " ප්‍රේමදාස මහත්තයට " කියන එක. ඒ උත්තරෙන් පස්සෙ වටේ පිටේ උන් කුප්ප විදියට හිනා වෙනකොට ආයෙම පූර්ව මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා ඇති උන වාර බොහොමයක් තිබ්බා.

ඊට පස්සෙ හවස තුන තුනහාමාර වෙනකොට මායි මල්ලිවයි එක්කරගෙන අපේ තාත්ත පාර අයිනට යනවා ජනතාවගේ පරාමාධිපත්‍ය පෙට්ටි වලට පුරවගෙන අරන් යන හැටි බලන්ඩ.   ලංගම බස් ලයිට් දාගෙන දුම් පිබගෙන අපිව පහු කරන් යනකොට ඒ බස් වල ඩ්‍රයිවර් ලා මගේ සුපිරි වීර ලැයිස්තුවෙ සුපර් මෑන්ටත් වඩා අඩි 25ක් 30ක් උඩින් තමා කොහොමත් නතර වෙන්නෙ. චන්දෙ ඉවරවෙලත් මාසයක් දෙකක් යනකම් ලංගම බස් ඩ්‍රයිවර්ලා මගේ ගරු කටයුතු ලිස්ට් එකෙන් කොහොමටවත් පහලට බහින් නෑ .. කොහොමත් අන්තිම චන්ද පෙට්ටියත් අරන් ගියා කියන වචනෙ මට විශ්වාස කරන්ඩ පුලුවන් එකෙක්ගෙ කටින් පිටවෙනක්ම් අපි ගෙදර ගියෙත් නෑ

අන්න එහෙමයි අපි චන්ද කලේ

එතනින් පස්සෙ උදා වෙන්නේ  සෑහෙන්ඩ වැඩ තියන කොටස . හය හත වෙනකොට පහල ගෙදර අය අපේ ගෙදෙට්ට එන්න පටන් ගන්නවා. චන්ද් ප්‍රටිපල බලන්ඩ අපේ බාප්පා ඒ දවස් වල අනිත් පැත්තේ . අපේ තාත්ත කොහොමත් උපන්දා ඉදලා යූ, එන් ,පී   ඉතින් අපි කලින්ම ප්‍රතිපල යනකොට කෑ ගහන්ඩ ඕන පක්ශෙ පාට සතා තාත්තගෙන් අහගන්නවා.  ඔය වෙලාව වෙනකොට තාත්ත අපිට දෙනවා කොල ස්ටෙප්ලර් කරලා හදපු පොතක්. අපි එතකොට තේරුම් ගන්නවා අපි සෑහෙන්ඩ වැදගත් කාර්යක් ඉටුකල යුතු පුද්ගලයෝ කියලා. කොහොමත් ඒ වෙනකොට මම තීරණය කරලා ඉවරයි දවසම ඇහෙරලා ඒ පවරපු රාජකාරිය අකුරටම ඉටු කරනවා කියලා. හැබෙයි  ඒ පොතක පිටු දෙකක් තුනක් ඇරෙන්ඩ කවදාවත් ඊට වඩා නම් ලියාගන්ඩ බැරි උනා. 

මුල්ම චන්ද ප්‍රතිපල අතරේ උඩින්ම ඉන්න සතා අලියනම් . ආයේ ඉතින් අපි යටිගිරියෙන් අපේ සතුට ප්‍රකාශ කරනවා ලේසිද දිනලා ඉන්නේ අපේ තාත්තා. ඊලග චන්ද ප්‍රතිපල ටිකත් අලියම උනාම වෙන දේ හිතාගන්න අමාරු නෑ නේ. මම හිතන්නෙ අපේ ගෙදර උන් යූ.එන්.පී කියලා මුලු හාරිස්පත්තුවම ඒ දවස්වල දන්නවා ඇති.  අපේ මේ සතුට ප්‍රකාශ කිරීම හමුවේ අපේ බාප්පා පාන්දර ජාමෙම ගෙදර බලා යන්ඩ යනවා. මම මේ මෑතකදි කල්පනා කලා ඒ මනුස්සය කොයි තරම් නම් දුකක් අපි හින්දා විදින්ඩ ඇද්ද කියලා.   කොහොමෙන් හරි පහුවෙනිදට චන්දෙ ඉවර උනාම අපේ තාත්තගෙ පක්ශෙ දිනලා නම් අපි ඉන්නෙ පුදුම සතුටකින්. මොකද කියනවනම් දිනලා ඉන්නේ අපේ තාත්තා. අපේ බාප්පා පැරදිලා.  ඉතින් සන්තෝස නැද්ද... 


ආයෙම කියනවනම් අන්න එහෙමයි අපි චන්ද කලේ



ඔය ඔක්කොම ගෙවිලා අද වෙද්දි අවුරුදු 27ක් ගෙවිලා  , තාත්තගෙ මාකර් එකෙන් නැතුව ගිහිල්ලම පාට කරගෙන වරෙන් කියලා මට ආන්ඩුවෙන් මුල්ම කොලේ එනකොට මට  දේශපාලනේ කියන ආතල් එක  කුනු ගොඩකටත් එහා ගිය ජරාවක් වෙලා . එදායින් පස්සෙ  ආපු චන්ද කාඩ් වලින් එකක් ඇරෙන්න අනික් හැම එකම අපේ තාත්තගේ අල්මාරියේ එකතු වෙලා තියනවා.  එකම එක සැරයක් හිතුනා එක දෙයක් වෙනුවෙන් කතිරේ ගහන්න යුද්දෙන් පස්සෙ තිබ්බ චන්දෙදි  පොඩිම කාලෙ අලියට හුරේ දාපු මම ගිහින්  මහින්ද ලොක්කට කතිරේ ගැහුවා.  එදා රනිල්ට දුක නොහිතුනත් අපේ තාත්තට සෑහෙන්ඩ දුක හිතෙන්ඩ ඇති.  


කොහොමත් මේ වෙනකොට කවදාවත් වෙනස් නොවෙන තීරණයක් මම අරන් ඉවරයි. මේ ජීවිතේ තියනකම් කිසිම දවසක කිසිම එකෙකුට මම චන්දේ දෙන් නෑ.  










Friday, July 26, 2013

මින් පසු පිටසක්වල එලී ලංකාවේදි දැකිය නොහැක





Ex-Alain නංගි ගේ සිංදුව ඇහුවෙ නම් ගොඩක් දවසකට කලින්. මොන පයන්නක්ද කියලා හිතුනත් පොඩි එකීගෙ ආසාවනේ කියලා හිත හදාගත්තා. අපිත් ඉස්කෝලෙ ගිය කාලෙ විතරක් නෙවෙ අදටත් තියන ලොකුම උන තමයි ඔය සින්දු පිස්සුව එහෙව් එකේ මේ පොඩි කෙලීටත් ඕක නැතෑ කියලා එදා හිතුනා.. දෙතුන් දෙනෙක්ටම මම කිව්වා ඕකෙන් වැඩිය ආතල් ගන්ට එපාය. ඔයිට වඩා අජපල් වැඩ මේ ශ්‍රි ලංකාවෙ වෙනවා කියලා..

සහතිකෙන්ම අද වෙනකම් මම හිතන් උන්නෙ මේ කෙල්ල බොහොම හිතේ අමාරුවෙන් ඇති කියලා....

අම්මට හුඩු අදනේ සුදු නංගිගේ රේඩියෝ ඉන්ටවිව් එක ඇහුවේ..

අවංකවම කියනවනම් සිංදුවෙ ඇහිච්ච ඉංගිරිස් වචන තරම්වත් මට නගා සිංහලෙන් කොටාපු අන්ඩර දෙමල ටික තෙරුනේ නෑ. නංගි කතා කරන්නෙ ජිල් බොලයක් හක්කෙ තද කොරන්ද මන්දා.. අතරින් පතර මෙන්න මේ ටික විතරක් තෙරුනා..

නංගි නවල් එකක් ලියනවලු...

නංගි ලංකාවෙ කලාවෙ නව නැම්මක්ද නමන්න හදනවලු.. එ කිව්වෙ වෙනසක්

නංගි ලෝයර් කෙනෙක් වෙන්ඩ යනවලු

එතකොට ලංකාවෙ උන්ට වෙනසක් ආවම එක දරාගන්න බාරගන්න බැරිලු.

නංගිට පොලිටික්ස් පැත්තෙන් ගිහින් ලොකේ වෙනස් කරන්ඩ ඕනලු..

හරී .. ඕවගෙන් නගා ලෝයර් කෙනෙක් වෙනවා.. පොලිටීශියන් කෙනෙක් වෙනවා එක වගේ අනාගත අරමුනු ගැන සන්තෝස වෙනවා.

ඒත් .... නගා කිව්වා අනිත් ඒවා ගැන පැයක් විතර කල්පනා කොලත් නිකං හෝන්දු මාන්දු වෙලා වගේ. නගා කිව්වෙ ගීතය ලිව්වෙ නගා ලියන නවල් එකෙන් අරන්  මේකට දාල ඒකෙන් අරන් තව කොහෙටද දාල මොන මොනවදෝ කරලා කියලනේ. අනේ ඔය වගේම අපේ අම්මා සුප් හදනවා නගා..

අනේ මන්දා නගා මට ඒ කාලෙ ඉදලම තේරෙන්නෙ නැති එක දෙයක් තියනවා. අපේ කලාවෙ පොරවල්ය කියලා කියන ඇත්තොයි උන්ගෙ පාර දිගේ යන උනුයි හැමදාම අපේ කලාවෙ නැම්ම නවන්න හැදුවෙ අහල පහල රටවලින් කොපි කරගත්තු හරි ගෙඩි පිටින් උස්සගෙන ආපු හරි දේවල් වලින්. සරස්වතී දේවිට වැදලා සිංදු අහන්න පුරුදු වෙච්ච රටක උන්ට ගංජා ගහලා සිංදු කියන උන්ගෙන් කොපි කරපුවා ගෙනත් නැම්ම නවන්ඩ හදනවා. නගා ඔයා ඔය නැම්ම නවන්ඩ වියදම් කරපු වියදම  ඔයාගෙ මහන්සිය වගේ නෙවෙ. කවදා හරි ඔය නැම්ම කෙලින් කරන්ඩ ගිය දවසට  කැටපිලර් අලි ඇත්තු දාලවත් ඕක කෙලින් කරගන්ඩ වෙන් නෑ.. නගා

ලංකාවෙ උපන්න එකෙක් උනාම ඇයි නගා නවාගන්ඩ ඕන තරම් නැවිලි අපෙ රටේ සංගිතයේ තියෙද්දි  වෙන රටවල ඒවා ගෙනත් අපේ රටේ කාලාවෙ නැමි නවන්ඩ යන්නේ..

නිකමට කල්පනා කරලා බලහන් නගා මයිකල් ජැක්සන් , එල්ටන් ජෝන් , බොබ් මාලෙලත් ඔය නැවිල්ල නැව්වා. හැබැයි උන්ගේ රටේ උන්ගේ සංස්කෘතියෙ. අහන දකින දෙවල් එක්ක. ඒ රටෙ මිනිස්සු එක බාරගත්තෙ උන්ට ඒක අහලා දැකලා හුරු හින්දා එහෙම නැතුව

මයිකල් ජැක්සන්

" හොයි රයිරේ.. හොයිරාමා කොල මැඩපාන්........ " කියල හරි

බොබ් මාලේ

" ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට "

කියලා හරි උන්ගේ රටේ ඔය නැවිල්ල නවන්ඩ ගියානම් උන්ටත් වෙන්නේ අද ඔයාට වෙච්ච විදියට පට්ට කුජිත වෙන්ඩ නේද. ඔක්කොටම කලින් දෙයක් කරන්ඩ යනකොට පයගහලා ඉන්නේ මොන තැනද කියලා බලල. මෙතෙන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා හිතලා බලල දෙයක් කරපන් නගා.
මෙව්වට උබ විතරක් වැරදි නෑ උබ හැසිරෙන කතා බහ කරන හැටියෙන් මටනම් තෙරෙන්න පැය ගහලා ඉන්නෙ මෙ රටේ උනත් උබ ජිවත් වෙන්නෙ වෙන රටක වෙන ලෝකෙක කියලා. පැය 24 ඉන්ටනෙට් එකෙ හිටියත් නගා මේ ලංකාවෙ ඉන්න බහුතරයක් උබ ඔය පය ගහලා ඉන්න ලෝකෙට බොහොම පහල පඩිපෙල් වල ඉන්න උන් ඉන්න රටක්. උඩම පඩියෙ ඉදන් උබ අපිට මැනික් පෙන්නුවත් යට ඉන්න උන්ට ඕක පෙන්නෙ බල්බ් වගේ.

තවත් දෙයක් කියනවනම් නගාගෙ කකුලෙන් ඇදලා පහලට දාන කතාවක් කිව්වනේ.. ඒකනම් ඉතිං මට තාමත් හරියට තෙරුමක් නෑ.. හැබෙයි නගා මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ සංගීත කන්ඩයමේ හිටියා.. අපේ ඉස්කෝලෙ තිබ්බ එක එක අට පට්ටලම් වලට දවස් ගනන් නටලා කෑ ගහලා අපිත් සින්දු කියන්ඩ ලෑස්ති උනා. මොන මොන වැඩ්ඩෝ උනත් නගා ඒ දවසට අපේ උගුර බැරෙන්ඩි වෙලා හරි ලාවට හෙම්බිරිස්සාවක් හැදිලා හරි තිබ්බනම්. අපෙ මැඩම් අපිව හරි අගේට ඉස්ටේජ් එකෙන් බස්සලා පැත්තකින් තිබ්බා.. එහෙම නැතුව අරුන් අස්සටම දාල අපිටත් සින්දු කියවලා ඒක අලුත් නැම්මක් එහෙම නැත්තං ලෝ පිච් මැද අමුතු පිච් එකක් යනකොට හරි ගතියයි කියලා හරි අපිවත් අර ගොඩට දැම්මනම් අපිටත් කලාවෙ නැම්මෙ ඇද ඇරගන්න තිබ්බා නගා. ඒ අතරෙම අපි ඔය පන්ති කාමරේ සර් කෙනෙක් නැති දවසට ආතල් එකේ සින්දුවක් එහෙම කියනකොට උපන්තෙකට තාලෙට හුවක් වත් කියන්න බැරි උනුත් අපිත් එක්ක සින්දු කිව්වා නගා හැබැයි ටික වෙලාවකින් ඌ කට වහගෙන මෙසෙට තට්ටු දාන්න පටන් ගන්නවා ඒකවත් කරගන්න බැරිනම් ඌ සින්දුව අහන් ඉන්න පටන් ගත්තා.. තමුන් ගැන තමුන් තෙරුම් ගන්නවා කියන්නෙ ඒකයි නගා,, සමහර විට ඌ දිගටම සින්දු කිව්වනම් අපි සිංදු කියන එක නවත්තන්න හරි ඌට ඉස්පිරිතාලෙ යන්ට හරි දෙකෙන් එකක් වෙන්ට තිබ්බා. ඒත් උන් නම් යස අගෙට තැනට ගැලපෙන්ට ඉගනගත්තා.

දැන් බලහන් නගා සින්දුව මෙලඩි කරපු එකා දන් නෑ කරපු ස්ටැයිල් එක, ඒක ඌටත් තාම ශුවර් නෑ.  මෙක අහපු උන්ට තාම ශුවර් නෑ උන් මොනවා හරි ඇහුවද කියන එක. ඒ ඔක්කොමත් හරි කියමුකෝ එ ඔක්කොම බලන් ඉද්දි උබ කියවන ඒවා අහපුවම අපිට මොකුත්ම මතක නෑ.. 

නගා ඕනම දේකට කැමති වෙන හා අකමෙති වෙන දෙකොටසක් ඉන්නවා එක පොදු දෙයක් එත් බහුතර මතය එක පැත්තකට ඇදෙනවනම් එතන මොකක් නමුත් ගත යුතු දෙයක් තියනවා. එහෙම වෙද්දිද් ඔයා පොර ටෝක් දීගෙන යන එකෙන් වෙන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙන්න තාම වයසක් ඔයාට නෑ.. මට තියෙන ප්‍රශ්නෙ ඔයාගෙ අම්මලා තාත්තල හා වගකිව යුතු වයසක ඉන්න උනුත් මොකක්ද මේ කරන්නෙ කියන එක.  සමාජේ ජිවත් වෙනකොට එතනින් එහාට යන්න මිනිස්සු එක එක පාරවල් කපා ගන්නවා ඒත් නගා ඔයා ඒ පාර කපාගන්න අතට අරන් තියෙන්නෙ උදැල්ලක්  නෙවෙ උදලු මිටක්. 


උබේ හිතේ තියන හයිය හරි ව්දියට පාවිච්චි කරහන් නගා එදාට උබ ගොඩ
කොහොම කොහොම හරි නගා ඉදලා හිටලා හරි පාත් වෙලා ගියපු පිටසක්වල යානා ටික මීට පස්සෙනම් ජිවිතේට ආයෙ මේ සිරි ලංකාවෙ දකිනවා බොරු.






නගාගේ ඉන්ටවිව් එක






නගාගේ සිංදුව


 

 

Monday, July 15, 2013

නිදහස් අධ්‍යාපනය සංජීවලා සහ අපි


" නිදහස් අධ්‍යාපනය රැකගවු "
 


මේ දවස් වල කනක් ඇහෙන්නට නැති තරමට නිදහස් අධ්‍යාපනය ගැන එක එක කචල් ඇත. සෑබෑ ලෙසම නිදහස් අධ්‍යාපනය රැකගත යුතු වස්තුවකි . අවුරුදු 5කට වරක් බුද්ධිය මෙහෙයවා ඔලු බක්කන්  මහ පුටුවලට යවන බුද්ධිමත් ජනතාවක් සිටින රටකට නිදහස් අධ්‍යාපනය වනාහි රැකගත යුතු මහාම වස්තුවක්ම වන්නේය.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නෙ නම් ගහට පොත්ත සේ බැදුන නම් කිහිපයක් ඇත, ඒ අතර සංජීවලා. උදුල්ලා ප්‍රධානය එක් එක් අය  සංජීවලා , උදුල්ලා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දේ ලියා ඇති නිසා කහනවාට වාගේ මොනා හරි ලියන්නට මමද හිතාගත්තෙමි.

නිදහස් අධ්‍යාපනය රැකගෑනීමේ කැක්කුම. කාට තිබුනත් ඒකේ විලිරුදාව විදින්නට වෙන්නෙ ගමේ කඩේ සිරිපාලට . කන්තෝරුවෝ පියදාසට හා බයිසිකලේ යන මටය. එහෙම කියන්නට හේතුවක් ඇත. පහුගිය දාක අම්බානකට හදිස්සි රාජකාරියකට කන්තෝරුවේ පියන්ද පටවාගෙන පිම්මෙ ගිය මගේ රොද දේකේ BMW එකට මල්වත්ත  පහු කරන්නට හම්බ උනේ නැත . කට්ටියක් පාර දිගේ නිදහස් අධ්‍යාපනය රකිමින් සිටි නිසා. ඒ බිත්තරේ රැක පැටියා බිහි වන තුරු පියදාසටත් මටත් පැය 4ක් මල්වත්ත හන්දියේ බිත්තර රකින්නට විය.

ඒ උදවියගෙන් නොතේරුම් කමට අහන්නට ප්‍ර්ශ්න දෙක තුනක් ඇත

1 ) මහා පාරවල් වසා උබලාගෙම අම්මලා තාත්තලා සහෝදරයෝ බස් වල පාරවල් වල පැය ගනන් තප්පවා. වද දෙන්නේ නිදහස් අධ්‍යාපනයට විකුනන්නට හදන්නේ උන් නිසාද ?

2) නිදහස් අධ්‍යාපනය රකින්නට කියා පෙලපාලි ගොස් නිදහස් අධ්‍යාපනයෙන් ලැබුනු බිල්ඩින් ටික . ඒවායේ ජනෙල් විදුරු ටික ,කුඩු පට්ටම් කරන්නෙ ඒකත් නිදහස් අධ්‍යාපනයේ රැකීමේ කොටසක් නිසාද


මේ නාඩගම මම විද ඇත්තේ වරක් දෙවරක් නොවේ. උබලාට ඇත්තටම නිදහස් අධ්‍යාපනය රකින්නට කැක්කුමක් තියනවානම් කොරන්නට බොහෝ දේවල් ඇත. උබලා පැය ගනන් පාරවල් වසා කලු කොඩි ,රතු බැනර්, මිනී පෙට්ටි පෙන්වනේ උබලාගෙම උන්ට මිසක  උබලාගේ ප්‍ර්ශ්න වලට උත්තර බදින්නට ඕනෑ උන්ට නොවන වග උබලාට තාම තේරී නැත.

අධ්‍යාපන ඇමතිවත්. රටේ ජනාධිපතිවත් , අමාත්‍යංශ ලේකම් වත් උබලා ඔය පැය ගනන් වහගෙන නටන පාරවල් වල නවතින බස් එකේ ගෙදර යන්නේ නැත. ඔය පාරක් වැහුවා කියාවත් ගිරිය කැඩෙනකම් කෑ ගැහුවා කියාවත් බැටන් පාරක් හැරෙන්නට නිදහසේ වෙන දෙයක් උබලාට ලැබෙන්නේද නැත. 

එහෙව් කතා කොච්චර කීවත් උබලාට නොතේරුනාට සංජීවලාගේ , උදුල්ලාගේ කැක්කුම අහක ඉන්නා මට තේරුනේ සෑහෙන කාලෙකට කලින්ය.

සංජිවලාගේ දේශපාලනය අනුව සමාජය පංති කරද්දි සිද්ධාලේප මුදලාලිලාද, නවලෝක මුදලාලිලාද වැටෙන්නෙ ධනපති පංතියටය.   උන්  ධනපති උම්මත්තකයන් වන අතර එදාවේල කන්නට නැති උන් පීඩිත පංතියේ අසරණයන් වන්නේය. වැරදිලාවත් අර පිඩිත පංතියේ අසරණයා මුට්ට කරගස එන අතර ගන්නා ලොතරැයිකට කෝටියක් ඇදුනහොත් ඌ ඒ වෙලාවේම ධනපති පංතියේ උම්මත්තකයෙක් වන්නේය.  සංජීවලාගේ මේ දේශපාලන පක්ශයට එක එක නම් එක එක හැදින්වීම් ඇත . ඒත් අහක ඉදන් බලන් ඉන්න අපිට පේන්නේ ඒ පක්ශය මහා ඉරිසියාකාර පක්ශයක් ලෙසත් ඒ දේශපාලනය මහා ඉරිසියාකර දේශපාලනයක් බවත්ය.

ඒ තර්කයට වැටෙන්නට මට සිද්ධවෙන්නෙ සංජීවලාගේ දේශපාලනය ගැන අමුතු කතන්දර කිහිපයක් අහන්නට දකින්නට වීම නිසාය. මේ එයින් එක කතාන්දරයකි

 මගේ මිතුරකුගේ සහෝදරයෙක් ඔය නිදහස් අධ්‍යපන රකින සටනේ ඉහලම චරිතයක්ව සිටියේය. මිනිහා ගෙදරට වෙලා පාඩම් කරනවාට වඩ කලේ පොස්ටර් අදින එකය. කහ පාටින් සුදු කොලේ මැද ඔහේ නයෙක් වගේ ඉරක් ඇදෙයි   ඊට පස්සේ එලියේ වේලෙන්නට හැර ලියනවෙන්නෙ  මෙන්න මෙහෙම වැකියකි. " නිදහස් අධ්‍යාපනයට අත නොතබනූ " ඊට පස්සෙ ඊලග කොලේ " පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හකුලා ගනිව් "  ඒ ගෙදර හැමදම තුන් හතර දෙනෙක් එකතු වෙලා ඔය පොස්ටර් ඇදිල්ල නැති උනේ නැත. ඒ වගේම අපිට මේ කර්යයේ උතුම් බව පැහෙදිලි කරන්න ඒ අයියලා නිතර උනන්දු උනේය. මාසෙකට දෙකකට සැරයක් බැන්ඩේජ් එකක් පිටින් මිනිහා දකිනවා සේම අවුරුද්දකට විතර සැරයක් උන්ගේ තාත්තා ඌට ඇපදෙන්න පොලිසියට ගියේය. ඒ පවුලේ කොල්ලෝම තුනකි තාත්තා දුම්රිය දෙපාර්තුමේන්තුවෙ පොඩි රස්සාවක් කර පවුල ගොඩ දැමූවෙකි.පොස්ටර් සටං පාඨ මැදිං ඒ කතාව සද්ද බද්ද මැද එහෙමම ගෙවිලා යන්නේය .

දැන් කතාවේ තාලය වෙනස් කරන්නට වන්නේය . තොරණක උනත් තාලය තියන්නෙ කතාවේ සැරේ විදියටය. තාලය වෙනස් වෙන කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙමය.

දැන් අවුරුද්දකට විතර ඉස්සර ඔය කියපු සහෝදරයගෙන් මට කෝල් එකක් ආවා. 

" හලෝ මල්ලි මම අහවලා "

" ආ.. අයියා කියන්න. කොහොමද මොකෝ කරන්නෙ "

" ගිය සතියේ ලංකාවට ආවෙ මල්ලි... පොඩි උදව්වක් ඉල්ලගන්න කතා කලේ ... "

" කියන්න අයියා මොකක්ද වෙන්ඩ ඕන "

" මල්ලි අපේ පොඩි මල්ලි රංගිකයව  SLIT එකට දාගන්ඩ ඕන.. .."

" ඇයි අයියා ඌ දෙවෙනි සැරේ A/L කරනව කිව්වා නේද.. "

" වැඩක් නෑ මල්ලී ඊලග පාර ගොඩ ගියත් එලියට එනකොට කවදා වෙයිද මම බැලුවෙ SLIT එක කරවලා එහෙට ගන්න . උබ IT ගැන දන්නවනේ ඒකයි මේ කතා කලේ "


අන්න එහෙමයි ඒ කතාව ඉවර උනේ..  අද උගේ මල්ලි SLIT එකේ.   එදා උන්  අකුලවන්ඩ හදපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනත  ගැන මට මහා සංවේගයක් ඇති උනා

සංජීවලා කරන්න ඕන කියලා මට හිතෙන්නෙ මේ දේ .අඩුම තරමේ තියන දේවල් ටිකවත් රැකගෙන ආර්ක්ශා කරගෙන ඉගන ගන්න ඕන කියල ඔතෙන්ට දාහක් බලාපොරොත්තු බැදගෙන එන උන්ට ඉගන ගන්න දෙන එක.  ලංකාවෙ කැම්පස් වලට යන උන්ගෙන් බහුතරයක් 2500 මහපොලෙනුයි ගෙදරින් එවන 2500 රෝල ගහන උන්. උන්ට ඉර අල්ලනවත් ලෝකෙ පෙරලන්නවත් උවමනාවක් නෑ උන්ට ඕන තාත්තා නය වෙලා එවන 2500 නය බේරන්න ඉක්මනට මෙතනින් පැනගන්න. සංජීවලාගේ නිදහස් අධ්‍යාපනේ රැකිල්ලෙන් වෙන්නෙ අවුරුදු 4ක් නය වෙවී ඉගන ගන්න එකා අවුරුදු 5ක් 6ක් නය කාරයෙක් කරවලා තියන එක.

උබට නොතේරුනාට සංජීව සක්කුව බර උන් උබලා එක්ක පාරට බැහෙලා ජෝගි නටන් නෑ . ඔතන නැත්තං උන් කෙලින්ම කටුනායකින් උඩට . මොකුත්ම කරගන්න බැරි ගමේ කුබුරු කොටලා, හේන් කපලා , ගල් කොරියේ ගල් තලලා කැම්පස් යවන එකා තමා  නන්නත්තාර වෙන්නෙ. ඔතන මාසෙකට හමාරකට කැම්පස් වහපුවාම ඌටත් වෙන්නෙ ගෙදර ගිහින් ගල් කඩන්න වලව්වෙ බේබිලා නම් යාල කුමන සෆාරි යයි.

නිදහස් අධ්‍යාපනේ රැකපල්ලා එපා කියන් නෑ. හැබෙයි පුලුන් බෝල පුම්බලා කොලේ වහන් නැතුව. අපිත් දන්නවා කොයි වෙලේ හරි ඔය මහ පුටු වල ඉන්න උන් නිදහස් අධ්‍යාපනේට ගේම දෙයි කියලා. හැමදේම විකුනගෙන කාපු උන්ට ඕක ලොකු නෑ බං හරියට බත් කාල කෙහෙල් ගෙඩියක් කනව වගේ උන් ඕකත් කාල දායි. 

උබලා උබලගේ ජීවිතවලට පාරවල් කපා ගන්න රුපියල් 45ට වතුරත් එක්ක බත් කාල , ටැන්කි පුරව පුරව නාගෙන , මහපොල 2500 රෝල ගහන අහිංසකයවන්ව මුක්කු වලට ගන්න එපා. උබලගේ මේ බොරු නාට්ටියෙන් වෙන්නෙ මහ උන් කරන්න හදන දේ උබලම කරලා දෙන එක. ඉඩමක් හරි උකස් කරලා  උගන්නගන්න පුලුවන් කම තියන එකෙක් තොපි හින්දා දැන් ලමයි කැම්පස් එවන් නෑ. එක්කෝ රටකට යවනවා. නැත්ත ප්‍රයිවට් එකකට දානවා.  කට්ට කාගෙන හරි ගිහින් ඉගනගන්න හදන එකෙක් උබලගෙ කෙහෙල්මල් වලට ආවෙ නැත්තං උං මරාගෙන කන්න හදනවා. උබලා නිසා කැම්පස් අත ඇරලා ආව උන් ලිස්ට් පිටින් මම දන්නවා . ඒ අතින් බලපුවාම එදා ඉදලා හිටපු කිසිම රජයක් තොපි තරම් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්තු උන්ට වල කපලා නෑ.

පාන් රාත්තල් රුපියලකින් වැඩි උනාම , තොපේ එකෙක් මොනවා හරි කුප්ප වැඩක් කරලා කූඩු කලාම පන්ති කාමරේ ඉගන ගන්න එකාවත් ඇදගෙන පාරට බහිනවා නිදහස් අධ්‍යාපනෙ රකින්න. රැකෙයි බලගෙන හිටපන්. පුලුවන් නම් ඉගන ගන්න දවස් 5 ඉගනගෙන අනික් දවස් වල කරන රෙද්දක් කරපන්. අධ්‍යාපන ඇමතියගේ. රටේ ජනාදිපතිගේ ගෙදරට යන පාර වහගෙන පැයක් බැරිනම් දවසක් ඉදගෙන හිටපං . පුලුවං නම් සංජිව උබ  ඔය ඉල්ලීම ටික ඉල්ලලා ගිනි තියාගෙන මැරියං .. හැබෙයි උබ මැරියං කාගෙ හරි අහිංසක අම්මෙක් තාත්තෙක්ගේ පුතෙක් ෆෝම් කරලා මල්ලි ගිනි තියාගනිං කියලා කෑන් එක අතට නොදී.  

උබල ඔය එකක්වත් කරන් නෑ මොකද එහෙම උනොත් උබලා කපාගෙන යන පාර කපලා දෙන්න කවුරුත් නෑ. උබලට නිදහස් අද්‍යාපනේ ගැන්වත්. එකෙන් ඉගන ගන්න උන් ගැන්වත් කැක්කුමක් නෑ බං උබලට තියන කැක්කුම දන්නේ උබලා තුන් හතර දෙනා විතරයි. ඒ කැක්කුමට විදවන්නේ අහිංසක පොඩි උන්.

  
කැමරාකාරයෙක් කැමරාව අල්ලපු ගමන් ඇඩෙන මූනක් හදාගෙන උබ කියවන විස්තර අහපුවාම අපිටත් ඇඩෙනවා සංජීව . ඒ වෙලාවට හිතෙනව  මාසෙකට සැරයක් කෑම එකක් අරන් නංගි බලන්න යන අපි තරම් වත් උබ කැම්පස් එකකට ගිහින් නැද්ද කියලා. අඩුම තරමෙ උබ කියවන ඒව උබටවත් තේරෙනවද කියලා. උබ කියන බහුබූත නෙවෙ. ගිහින් බලපන් කැම්පස් වලට හොස්ටල් වලට උන්ට ලයිට් නෑ , වතුර් නෑ. දහ දෙනෙක් නාල ඊලග උන් නාන්න ටැන්කි පිරෙනකම් ඉන්න ඕන . හොස්ටල් වල වහලවල් ඔලුවට කඩන් වැටෙන්න.  කැන්ටිමේ කෑම පිගන බල්ලෙකුට හැලුවොත් ඌ සිහි නැතිවෙලා වැටෙනවා. අඩුම තරමේ ඊලග පාර පාරට බහිනකොට අදින පොස්ටර් ටිකට ඔය ටික ලියාගෙන පලයන්. තේරෙන බාසාවෙන්.

එහෙම නැතුව පිස්සු බල්ලෝ රැලක් වගේ අහිංසකයෝ උසි ගන්නලා. උන්ව පාරට දාල උන්ව කාලකන්නියො නොකර උන්ට මිනිස්සු වෙන්න දීපන්. උබලා ඔය කරන්නෙ ඉරිසියාවෙන් කුහක කමෙන් උන්ගෙ ඔලු පුරවන එක.









මේ ලිපිය කියවන ඔබ එක් කාරනාවක් සිහියේ තබාගෙන මෙම ලිපිය කියවන මෙන් ඉල්ලා සිටින්නෙමි. එනම් මෙම ලිපිය ලියන මා අවුරුදු 18දී ජන්ද බලය ලැබ මේ වන විට ගතවී ඇති වසර නවය තුල එක් වතාවක් හැරෙන්නට කිසිදු විටක කිසිදු පක්ශයක් වෙනුවෙන් ජන්දය භාවිතා නොකල අයෙක්මි.   එක් වරක් ජන්දය භාවිතා කරන ලද්දෙ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව පැවති ජන්ද විමසුමේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් වන අතර . දැන් නම් ඒකද අපරාදේ කියා සිතෙන වෙලාවල් ඇත.
Time in Sri Lanka: