Monday, November 29, 2010

ජීවිතයේ කතාව



බැරි බර කරෙන් ගෙන යන දින පැය අතර
අපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනක
දහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතට
අපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතට

වේලක් නොකා තව වේලක රස බලන
පොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතර
ඇකයෙන් උරා බොන රුධිරය නැති කලක
අහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ට

වීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝ
වැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝ
මාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝ
කෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝ


උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-29

Sunday, November 14, 2010

සිර ගත කල පෙම





සිර ගත කල පෙම

දම් පාට අහස යට පෙම් පාට පිරුනු රැලි
නුවර වැව් ඉවුර ලඟ තනිවෙලා......
පෙම් කතා අමතකව පෙම් සිනා හඬ නැතිව
බංකු පොඩි එක පෙලට තනිවෙලා....

එදා වැව් රවුම වට මැවූ පෙම් කතන්දර
දෙනෝ දාහක් හිතේ සිරවෙලා
ප්‍රේමයේ අස්වැන්න කපාගෙන ගෙනියන්න
රාලහාමිලා එයි උන් සොයා

පෙම් නොකල සිත් ඇතුව මෙලොව එලි දුටු එවුන්
හඬ නගන බහු බූත අස අසා
කාකි රූ බැටන් පොලු මග වඩීදෝ කියා
මල් සරා අතු අගක සැඟවිලා


උපෙන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-14

Time in Sri Lanka: