Sunday, April 13, 2014

ඔබත් බූරුවෙක් ද ?

    


  දැන් විනාඩි කීපෙකට කලින් පාර පැත්තෙන් මහා විලාප සද්දයක් ආව.. ඒ වෙලාවෙ මම මගෙ යලුවෙක් එක්ක ගෙදර වත්තෙ වාහනේ හරවන ගමන් හිටියේ වලියකට ගෝරියකට එහා ගියපු සද්දයක් හින්දා අපි දෙන්නත් ඒ පැත්තට දිව්වා.. 

ගෙවල් කිට්ටුවම ගෙදරක ජොඩුවක් තමුන්ගේ දුව බලන්න ත්‍රීවිල් එකෙන් ගිහින් ව්ල් එක පෙරලිලා ඒ අම්මා එතනමයිලු.. ආරංචි විදියට ත්‍රීවීල් එක පදවපු කෙනා සෑහෙන්න හොදට අවුරුදු සමරලා තමා වීල් එකට ගොඩ වෙලා තියෙන්නෙ. මගෙ යාලුවාගෙ කඩෙන් බඩුත් අරගෙන තමා ඒ අම්මා ටික වෙලාවකට කලින් එතනින් ගිහින් තිබ්බෙ.

කොහොම නමුත් දුකට , සැපට , මගුලට , අවමගුලට නැතුවම බැරි ලාංකීය ජනයාගේ උත්සව වල මූලිකම අවශ්‍යතාවයක් නිසා. පවුලකට අම්මා කෙනෙක් නැති වෙලා.. හෙට අවුරුදු සමරන්න සතුටින් ඉන්න මොන තරම් බලාපොරොත්තු තිබ්බද කියලා දන්නෙ ඒ මනුස්සයා විතරක් වෙන්න පුලුවන්.. මොකද ඒ මනුස්සයගේ ඒ බලාපොරොත්තු අර පදමට බිලා වාහනේ අතට ගත්තු පොල් බූරුවට තිබුනනම් ඔය මී හරක් වැඩෙ කවදාවත් නොකරන්න තිබ්බා
මට ගොඩක් වෙලාවට හම්බවෙලා තියනවා මගේ යාලුවෝ හිතවත්තු සහ නොදන්නා අය බීලා වාහන එලවලා පුරසාරම් දොඩවන. මේ ලගදි එකෙක් කිව්වා

 " මම පොල්ගහවෙල ඉදලා ආවා ඩෝ හොදට ගසලා එකෙක්ට මාට්ටු නෑ කියලා."

 ඌ හිතාගෙන හිටියේ ඌ සින්බෑන්ඩ් වගේ පට්ට වීර චාරිකාවක් ගියා කියලා.


කියන්න තියෙන්නෙ මෙච්ච්රයි බොනවනම් බීලා වාහන එලවනවනම් තමුන්ගේ දරුවෝ ගෑනි බස් එකකටවත් දාල යවපල්ලා . මැරෙන්නම ඕන නම් තනියම මැරියල්ලා.

කවුරු මොන අර්ථ දුන්නත් බොන එකා කියන්නේ බූරුවෙක් ඌ එහෙම බොන්නෙ තමුන්ගේ හිස් තැන ඒ මතෙන් පුරවගන්න. ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ

Monday, February 10, 2014

ඇයි මල්ලි අවුලක්ද ?




හැමදාම එන පාරේ.. ගෙදර එන ගමන් හිටියේ..
කොහොමත් මම කලබල ටවුම මැදින් එන්න වැඩිය කැමැත්තක් නෑ. ඒ නිසා ටවුමට ඇතුලෙන් යන පාරෙන් බොහොම දුරක් ඒ වෙනකොට මම ඇවිත් තිබ්බෙ. පිටිපස්සෙන් ආව වෑන් එක එලවපු එකා හෝන් ඒක උඩ නැගගෙන පාරේ ඉඩ ඉල්ලපු නිසා මම ඌට ඉඩ දුන්නා, ඒ එක්කම පැයට කිලෝමීටර් හිතාගන්න බැරි ගානකින් ඕවටේක් කරපු ඩිලිවරි වැන් එක තව මීටර් 10ක් ඉස්සර වෙන්කොටම පාර අයිනේ උගේ පාඩුවෙ හිටපු බල්ලෙක් දඩාස් ගාල හැප්පුවා. වේගෙ කිසිම අඩුවක් නොකරපු වෑන් එක. ඊලග තප්පරේදි නොපෙනී ගියා. ( සැලකිය යුතුයි සමහර බල්ලෝ ඉන්නවා මාර්ග නීති තුට්ටුවකට මායිම නොකර පාර මැද බුදියං ඉන්න උන් මූ එකෙම එකෙක් නෙවෙයි පාරෙනුත් සෑහෙන්න ඇතින් හිටියත් වෑන් එකෙ ඕවටේක් ස්පීඩ් එකට වාහනේ කොන්ට්‍රෝල් නැති උනා)

වාහනේ වැදුන බල්ලා පාර අයිනේ වැටිලා මහා හයියෙන් විලාප තියනවා. තව වාහනේකට යට වෙයි කියලා ඌව අයින් කරන්නත් බය. මරු විකල්ලෙන් හපයිද කියන සැකේ හින්දා. මම බයිසිකලෙන් බහිනකොටම මාව පහු කරපු නවීන පන්නේ ජීප් එකක් ඉස්සරහින් නැවැත්තුවා. තප්පර ගානක් ඇතුලත ඒකෙන් බැහැලා ආවේ වයස 60ක 65ක විතර මහත්තයෙක්.

" අප්පා අහිංසකයව හප්පලා නේද ? "

ලගට එන ගමන් ඔහු ඒ විදියට ඇහුවා..

ඊලග තප්පරේදි ඔහු ආයෙම මෙහෙම කිව්වා

" බේරගන්න පුලුවන් වෙයි.. පුතා අල්ලමුද වාහනේට.. "

වෙන්න යන දේ ..හිතාගන්න අමාරු උනත් .. මම හා කියලා ලං උනා ..

"බලාගෙන හපයිද දන් නෑ,,, "

මම කිව්වෙ කෝකටත් පරිස්සමට

"බය වෙන්න එපා පුතා ඌ දන්නවා ඌට හොදක් කරන්න කියලා "

වාහනේට බල්ලා දා ගත්ත මහත්ත්යා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වාහනේ හරවලා ආපහු නුවර පැත්තට පිම්මේ ඇදුනා..

වාහනේ ගියාට පස්සෙත් මම බොහොම වෙලාවක් ඒ පැත්ත දිහා බලාගෙන වෙච්ච දේ මුල ඉදලා කල්පනා කලා..

ඒ එක්කම ලග නවත්තපු ත්‍රි වීල් අයියා කෙනෙක් මං දිහා බලලා මෙහෙම ඇහුවා

" ඇයි මල්ලි අවුලක්ද ? "

ඇත්තටම කාලෙ හැටියටනම් මේක මහා අවුලක්..


Friday, December 27, 2013

සුන්දර ප්‍රශ්න

 
 
උඹට මතකද ...?
මට ඉස්සරෝම උඹ හම්බවෙච්ච දවස..
මටත් හරියට නිච්චියක් නෑ.. ඒත්  අඩු පාඩුවක් නැතුව
ජීවිතේ මතකෙට වැටෙන කාලෙ ඉදලා
උඹ හැමදාම වගේ මට මුන ගැහුනා..
 
 
ඉස්සරෝම උඹ මුනගැහුනම
මම පුරුදු උනා අඩන්න..
මම හිතුවෙ උබට දුක හිතිලා මාව දාල යයි කියලා
ඒත් උබ නපුරෙක්
හිත අඩපු හැම වෙලාවකම 
උඹට ඒක ඔච්චමක් උනා
 
ඊට පස්සෙ උඹ මුනගැහෙද්දි
මම උඹව මග හරින්න හැදුවා
පැය ගනන් බෝක්කු උඩට වෙලා උබව අමතක කරන්න හැදුවා
ඒත් උඹ තප්පරේකටවත් මාව දාල ගියේ නෑ..


අන්තිමට මම උඹව මග හරින හැටි ඉගනගත්තා..
උඹ ඊට පස්සෙ මාව බලන්න එනකොට 
මං උබව ආදරෙන් පිලිගත්තා
උඹත් මගේම කෙනෙක් කියලා හිතුවා..
 
මට තේරුනා උඹ එකට ඩිංගක්වත් කැමති නැති බව.
අන්තිමේදි.. උඹ මට මෙහෙම කියලා කාලෙකට කලින් 
මාව දාල ගියා..
මට තාම මතකයි උඹ යද්දි කියලා ගිය වචන ටික
.............................
 
" උඹ ඒ පාර ජීවත් වෙන්න පටන් අරන් "




Saturday, November 23, 2013

මහල්ලාගේ පුත්තු



                                                        එක සීරුවට ගිනියම් වෙන පොලොව මත ඉක්මන් අඩි තබමින් බන්දුල  රිය ගාල දෙසට ඇදෙයි.  දැඩිව වැවුනු රවුල අතරින් ගලා යන දහඩියෙන් තෙත් වූ ඔහුගේ මුහුනෙන් දිස් වන්නේ දැඩි වෙහෙසකර බවකි. ඉක්මන් අඩි තබමින් රිය වෙත ලංවූ බන්දුල රියට ගොඩ වූ සැනින් වායූසමීකරණය පන ගන්වන්නට විය.

" හප්පා... පුදුම රස්නයක් නේ "

බන්දුල තනිවම මුමුනමින් ජංගම දුරකතනයට අත යවයි.

" හෙලෝ.. සඳා... දැන් තමා මීටීන් එක ඉවර උනේ. මම එන ගමන් තාත්තවත් බලාගෙන එන්නේ, දැන් මාස තුන හතරකින් ඒ පැත්තෙ ගියේ නෑ නේ "

" ඔව්.. ඔව්.. අද එනවා  ඔයා බබාව අරගන්න මං එහෙනම් තියනවා "

දුරකථන ඇමතුම අවසන් කල බන්දුල රිය පනගන්වාගෙන ප්‍රධාන දොරටුව දෙසට ඇදෙයි

බන්දුල  කුසල් ජයවරධන දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන විධායක නිළධාරියෙකි. මසකට වරක් අගනුවර මුලස්ථානයේ පැවැත්වෙන රැස්වීම සදහා පැමිනී බන්දුල ආපසු යන අතරමග තම පියාද හමුවීමට තීරණය කොට තිබිනි.

නගරයේ සිට පැය දෙක තුනක් හැල්මේ දිව ආ නවීන පන්නයේ මෝටර් රිය තාර බිදක් හෝ දැක නැති මගට හැරවූ සැනින් රිය පසු පසින් මහා දූවිලි වලාවක් නැගෙන්නට විය.

" මේවා කවදා හදලා ඉවර කරයිද මන්දා.. "

බන්දුල එලෙස තමන්ටම කියාගත්තෙ නොරිස්සුමකිනි.

අබලන් මග දිගේ තවත් දුරක් ගෙවා ආ මෝටර් රිය පැරණි ගේට්ටු කනු දෙක අතරින් ගෙවත්තට ඇතුල් කරද්දි.. නිවසේ ඉදිරිපිට වාඩි වී සිටි මහල්ලෙකු  සතුට පිරි මුහුනින් ඒ දෙසට ඇදී එන්නට විය.

ගස් සෙවන අද්දර රිය නැවැත්වූ බන්දුලද රියෙන් බැස නිවස දෙසට ඇදෙන්නට විය.

" පුතා .. ඇයි මේ හදිස්සියෙ.. "

තම  පුතාගේ හදිසි පැමිනීමෙන් සතුටට හා කුතුහලයට පත්  බන්දුලගේ පියා . නිවස දෙසට ඇදෙන බන්දුල දෙස බලමින් විමසයි.

" නෑ එහෙම මොකුත් නෑ.. කොම්පැනි එකේ මීටින් එකකට ආව යන ගමන් මෙහෙටත් ආවා.."

" එහෙනම් අද ඉදලා හෙට උදෙන්ම යන්න පුලුවන්.. දැන් හවස් වෙලාත් නේ ."

" අනේ බෑ තාත්තේ.. හෙට ආයෙම  අනුරාධපුරේ යන්න ඕන.. ඒ හින්දා අද ගෙදර යන්ඩ ඕන"

" හ්ම්.. එහෙමද "

මහල්ලාගේ මුහුනේ සතුට සැනකින් වියැකී යන අයුරු බන්දුලට පෙනේ..

" ආ... තාත්තට අලුත් යාලුවෙක් හම්බ වෙලා තියෙන්නෙ "

බන්දුල එසේ කීවෙ එතෙක් වෙලා තම පියාගේ තුරුලට වී සැපට නිදා සිටි බලල් තඩියා දැකීමෙනි.

මහල්ලාගේ මුවට නැවතත් සිහින් සිනාවක් නැගේ..

" ඔව් ඔව් .. මේකා තමා දැන් ඉතිං මගේ තනියට ඉන්න එකම එකා.. දැන් වරුවක් විතර නටලා නටලා සැපට නිදි "

බන්දුලගේ පියා තුරුලේ සැපට නිදා සිටින බලල් තඩියාගෙ හිස අතගාමින් පවසයි

" යං පුතේ ගෙට තේ ටිකක් වත් බීලා ඉමු "

" කෝ තාත්තෙ දැං සුමනසිරිලා ගෙවල් වල නැද්ද "

පියා පිටුපසින් ගෙතුලට ඇදෙන බන්දුල  අවට බලමින් පියාගෙන් විමසයි.

" ඔහේ නෑ .. සතියකට වතාවක් වගේ තමා උන්දැත් ගෙදර එන්නෙ. බන්ඩාරවෙල පැත්තෙ මොකක්දෝ කරනවා කියන්නෙ .. ඒ ගෙවලුත් දැන් පාලු වෙලා . මම විතරයි මේ මන්ඩියටම ඉතුරු උනේ "

" හ්ම්ම්... ඒකත් එහෙමද "

 " දැන් පොඩි එකා එහෙම ඉස්කෝලෙ යනවද පුතේ " 

මහල්ලා බන්දුලගේ දෑස දෙස බලමින් විමසයි

" ඔව් තාත්තේ දැන් හතර වසරෙනෙ පොඩි එකාටත් ඉතිං නිවාඩුවක් නෑ. සදා දැන්ම ඉදං ඔය මොනවද ක්ලාස් වගේකට දාලානේ ඒකයි ගිය නිවාඩුවටටවත් එන්න බැරි උනේ"


" පොඩි එකා දකින්නත් ආසයි පුතේ "

කඩවුනු දැසින් මහල්ලා මුමුනයි

බන්දුලට තම පියා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි වයසින් අවුරුදු 70කට වැඩි තම පියා දැනට අවුරුදු තිහ හතලිහක සිට වෙසෙන්නේ කාත් කවුරුත් නොමැති අනාතයෙකු ලෙසිනි. බන්දුල හා එක්කුස උපන් සහෝදරියක් වූ පවුලෙන් බන්දුලගේ අක්කා දැන් වෙසෙන්නෙ අනුරාධපුරයට ආසන්නවය.  පියා තමා සමීපයට ගැන්මට බන්දුලගේ උවමනාව පැවතියත්  බන්දුලගේ බිරිද එයට එතරම් කැමැත්තක් නොදක්වන්නේ බන්දුලගේ සොයුරියටද එම යුතුකම ඇති බව පවසමනි.  


" පුතේ මේ තේ එක බිව්වනම්  ..     "

තිගැස්සී පියවි ලොවට ආ බන්දුල දකින්නේ තමා දෙසට තේ කොප්පය දිගුකරගෙන සිටින පියාගෙ රුවය.

" ආ.. කෝ දෙන්න තාත්තේ ."

ඒ අතරේම කොහේදෝ සිට දුව ආ බලල් තඩියා බන්දුලගේ සපත්තු ලේසය හා නටන්නට පටන් ගනී.

" ආ.. ආ,. චුටී පුතා මොකෝ ඔය කරන්නෙ... "

මහල්ලා සිනා සෙමින් බලල් තඩියා තුරුලට ගනී. මහල්ලාගේ තුරුලට වන් බලල් තඩියා මහල්ලාගෙ දෑත් ලෙවකමින් පපුවෙ තුරුල් වෙයි

" ආ මෙයාගෙ නම  චුටි පුතාද ? "

බන්දුලද සිනාසෙමින් බලලා දෙස බලයි..


මම යන්නම් තාත්තේ  හෙට උදේම ආයෙ පිටත් වෙන්න ඕන..


++++++++++++++++++++++++++++++++++++++++



ගමන් වෙහෙස යන්නට නාන කාමරයට වැදී පැය බාගයක් පමන නා ගත් බන්දුල රාති ආහරයද ඉක්මනින් ගෙන නිදන කාමරය දෙසට ඇදෙන්නට විය

" මොකෝ අදනම් මහන්සි වගේ කෑවෙත් බාගෙට නේද "

බන්දුලගේ බිරිද නිදන කාමරයේ සිට විමසයි

" ඔව් සදා මාර මහන්සි"

බන්දුල ඇදට වැටෙමින් පවසයි

" මොකෝ තාත්තා කියන්නේ "

" දැන් අල්ලපු ගෙදරත් කවුරුත් නෑ .. සදා තාත්තා විතරයි තනියම "

" හ්ම්ම් .. එහෙමද ,, අක්කලා එහෙමවත් ලගදි ඇවිත් නැද්ද "

බන්දුලගේ බිරිද එසේ කිවෙ තරමක නොරිස්සුමකින් බව බන්දුලට වැටහේ .. සමහරක් විට ඔහුගේ ඊලග යෝජනාව ඇයට දැනෙන්නට ඇති බව බන්දුලට සිතේ.

" අක්කලාට අපිට වගේ නෙවෙ නෙ සදා..  මහින්ද අයියත් ලෙඩ ගානේ අක්කා ගියා මාසෙ එහෙම තියෙද්දිත් ඇවිත් ගිහින් තියනවා "

" එහෙනම් ගානක් කඩාගෙන යන්ඩ එන්ඩ ඇති "

" හැමදේම ඔහොම හිතන්ඩ එපා සදා .. දැන් ඔය කතාව ඇති මම එ ගැන බලාගන්නම් "

බන්දුලට තරමක් තද ස්වරයෙන් පවසා ඇදේ අනික් පස්ට හැරෙයි..

මද නිහැඩියාවකට පසු .. නැවත බන්දුලගේ බිරිද හඩ අවදි කරයි..

" මම තරහ යන්න දෙයක් කිව්වෙ නෑ නෙ බන්දු දැන් තාත්තා මෙහෙ ගෙනාව කියන්නකෝ.. ඔයා දවසම ගෙදර නෑ.. මමත් එනකොට හවස් වෙනවා පුතා උනත් දවසම ක්ලාස්. එහෙම උනොත් තාත්තව බලාගන්නත් කාව හරි ගන්න වෙනවා.. "

" හ්ම්ම්.. කොහොමත් ඔයා කතා කරන්නෙම ඔකෙ නරක පැත්තනෙ "

බන්දුල ඉවත බලාගෙනම පවසයි

" හරි හරි අපි කල්පනා කරලා බලමුකෝ මොනවා හරි කරන්න.. ඉතිං දැං තාත්තගේ තනියට එහෙ කවුරුත්ම නැද්ද .."

බන්දුලගේ බිරිය සැමියා දෙස බලමින් විමසයි

" ඉන්නවා.. "

" ආ.. කවුද "

" පූසෙක් "


" මොකෙක්..!  පුසෙක්.. "

බන්දුලගේ බිරිය සිනාවෙමින් සිය සැමියා දෙසට ඇදෙයි...

" ඒ මොකක්ද අනේ ඒ කතාව.. "

" මොකුත් කතාවක් නෙවෙ තාත්ත පූසෙක් හදනවා ඌ තාත්තා එක්කමයි .. ඌ තමා දැන් තාත්තගේ තනියට ඉන්නෙ.. "

" පූසොන්ට තේරෙනවද අනේ තනිකම ගැන "

සදා සිනාව අතරින්ම මුමුනයි

" ඒත් තාත්තට ඒක හොදට තේරෙනවා ඇති සඳා.. "

බන්දුල දෑස් පියාගනිමින් පවසයි..



++++++++++++++++++++++++++++++++++++++++++

ඉස්තෝප්පුවේ කෙලවරක හාන්සි පුටුවේ වාඩිවී සිටින මහල්ලාගේ තුරුලේ නිදාසිටින බලල් තඩියා නැගිට ඈලි මෑලි කඩා මහල්ලාගේ මුහුන දෙස බලයි..

ඈත ගේට්ටු කනු දෙස බලා සිටි මහල්ලා. නින්දෙන් නැගිට තමා දෙස බලා සිටින පුසා දෙස දෑස් යොමු කර හඩ අවදි කරයි


" ඇයි උබට තනිද පුතේ "














Sunday, November 10, 2013

ගන්න අපේ දේ..

 
 
                                  අපේ පවුලක උපන්න එකෙක් වැරදිලා හරි පිස්සෙක් උනොත්.. අපි ඌට ගරු නම්බු නාමයක් දෙනවා " මානසික රෝගියා " කියලා.. පවුලෙ එහෙම එකෙක් නැත්තං මගතොටදි දකින ඕනම මානසික රෝගියෙක් අපිට පිස්සෙක් , මොංගල් කාරයෙක්
  
අපේ පවුලක උපතින් අන්ඩක් අතක් පයක් නැති එකෙක් හිටියොත් අපි ඌට දෙන නම්බු නාමේ ආබාධිතයා. එහෙම එකෙක් හිටියෙ නැත්තං පාරෙදි දකින ඕනම එහෙම එකෙක් අබ්බගාතයෙක් කොරෙක්..

බස් හෝල්ට් වල . මාකට් වල ඕන තරම් පාරවල් වල ඒ වගේ අහිංසකයෝ තියාගෙන බයිට් කරන මනසික ආතල් ගන්න උන් මේ රටේ නෑ කියලා කියන්න පුලුවන්ද. නුවර මාකට් එක ලග ඉන්නවා මනුස්සයෙක් මානසික රෝගයක් තියන . ඒ මනුස්සයා ඒ ලෙඩෙට වඩා අපේ මේ ගෞතම බුද්ධ රාජ්‍යේ පිංවතුන් නිසා විදවනවා. එ මනුස්සයට එහෙන් මෙහෙන් ඇනලා ඒ මිනිහා කුනුහරුපෙන් කෑ ගහන්කොට අපේ ඇත්තෝ පුදුම මානසික සතුටක් ලබනවා මං දැකලා තියනවා

මේ සිංදුවෙ වටිනාම ටිකත් මම දැක්කෙ අන්තිමට ... සිංදුව අවසන් වෙනකොට. පිටරට වලින් ආව මිනිස්සු සිංදුව ඉවරවෙනකොටම නැගිටලා අත්පුඩි තලනකොට ඊටත් විනාඩි දෙක තුනකට විතර පස්සෙ ඉදගෙන ඉන්න බැරි කමටම අපේ සුදු නැශනල් පෝලිමක් එක පිලිවෙලට නැගිටගෙන යනවා දැක්කා.. ඒ අතරෙදි දැක්ක විදේශ රටක කාන්තාවක් ඇස් වලින් වැටෙන කදුලු එක දිගට පිහිදනවා..

.. කාලෙකට කලින් රට පුරා ගියපු ඇඩ් එකක් මතක් උනා..

" ගන්න අපේ දේ "



Monday, October 28, 2013

සිල්ලර ෆෝන් කටුවෙන් ලෝකය දැකීම

  
(මෙය අන්තර්ජාලයෙන් ගත් ජායාරූපයකි)



                                    හිච්චි එකා සන්දියේ මේ ඔලු ගෙඩිය අස්සේ මහා හීන තොගයක් තිබ්බා ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලපු දවසට මට ඕන උනේ පහුවෙනිදා ඉදලා කරාටි පංති යන්ඩ. අමරදේව මහත්ත්යගේ සිංදුවක් අහපු හැම වෙලාවකම මට ඕන උනේ ඒ හඩෙන් සිංදු කියන්ඩ. කොටින්ම කියනවනම් මට පොර වෙන ඕනම දෙයක් දැක්කම මට ඕන උනේ එහෙම වෙන්ඩ.. එකෝම එක සැරයක් පුංචි ලස්සන හොල්මන් කෙල්ලක් ඉන්න චිත්‍රපටියක් TV එකෙ ගිහින් මං මැරෙන්ඩත් හිත හදාගත්තා :D.

ඒ පුංචි කාලේ හරිය...

ඊටත් පස්සෙ කාලෙක මම හිතාගත්තා මගේ පොර මංම වෙන්ඩ ඕන කියලා.. ඒ කියන්නේ මං දැන් පොරක් හරිය. :D

ඊට පස්සෙ පිලිවෙලට බයික් පිස්සුව, ගිටාර් පිස්සුව , ෆෝන් පිස්සුව , කොම්පීටර පිස්සුව , කැමරා පිස්සුව වගේ දේවල් පිලිවෙලට ජීවිතේට ආවා.  කැමරා පිස්සුව ඇරෙන්ඩ අනික් හැම එකම වගේ මේ වෙනකොට හොඳ වෙලා ඉවරයි කැමරා පිස්සුවත් ෆෝන් පිස්සුවට බෙහෙත් ගත්ත කාලෙම ටිකක් යට ගියා.. මොකද ඒ බෙහෙත් මේ ලෙඩේටත් ටිකක් ගුණදායක උන හින්දා..

මේ ඉතිං බොහෝම ආධුනිකයෙක් විදියට මගේ සිල්ලර ෆෝන් කටුවලින් ගහපු ෆොටෝ කෑලි ටිකක්..  ( පින්තූර උඩ එබුවහම ලොකුවට පේනවය කියලා ගූගල් අයියා කියන්නේ )

Photos - Nokia N 97 | Sony Ericsson J10i2 



























Monday, October 21, 2013

හීන සහ මිත්‍රයෝ

                                          මේ කතාවට මග පාදගන්ඩ පොඩි නෙවේ මහා විසාල පදුරු තැලිල්ලක් කොරන්ඩ වෙනවා. එහෙම නොවුනොත් මගේ හිතේ තියන විදියට මේක ලියාගන්ඩ බැරි වෙනවා ඒ හින්දා  වීසි කැති , උදලු පිහි ලෑස්ති කරන් කියවන එක හොදා.........
  
                                  එකදාස්වලින් අවුරුදු ගතවෙන කාලේ  හිච්චි එකෙක් වෙච්ච මට ඉන්ටර්නෙට් කිව්වම ඒක දරාගන්න බැරි තරම් මැජික් එකක් උනා.. ඊටත් පහු කාලෙක ගැටබේ තිබ්බ ඇසළ මේලාවක නොමිලේ තිබ්බ ඉන්ටර්නෙට් කැෆේ එකක පෝලිමේ ඉදලා යාහු සර්ච් එකක් කරපු දවසේ මම හිතුවේ මම බිල්ගෙට්ස්ටත් වඩා පොරක් කියලා.  එ ඔකොමත් ගෙවිලා 2008 අවුරුද්දේ මම ග්‍රාමසේවක සහතික, චරිත සහතික ඔක්කොම තාත්තට පෙන්නලා ගෙදරට ඉන්ටනෙට් ගත්තා.  ඉනටර්නෙට් කියන්නේ යකෙක් රකුසෙක් නොව ආතල් පුස් පැටියෙකි කියලා ගෙදරට කියලා දෙන්ඩ මම නොගත්ත උත්සාහයක් නෑ.

2008 ඉදලා මම 2010 වෙනකම් ඉනටනෙට් එකෙන් හම්බකලා..  සේවක සංඛ්යාව 7ක් වෙච්ච පුංචි ව්‍යාපාරෙකුත් එක්ක.  ඒත් ඉතිං වට පිටාවෙ ඉන්න උන් නම් ඕක දිහා බැලුවේ නිකං කෝන මාන අස්සෙං.. අරූ කෙල්ලෝ 7කුත් තියාගෙන ඉන්ටනෙට් එකේ මොන මගුලක් කොරනවද මන්දා.. උන් හිතුවෙ එහෙම  එතකොට නෑයෝ..  " අනේ නංගියේ දැං කාලෙ වෙන දේවල් දන්නවනේ පුතාව පරිස්සංකරගං.. "  නෑයෝ කොයි තරම් මං ගැන දුක් උනාද.. එව්වා ඉතිං එහෙමයි.

ඇමරිකාවෙයි ලංකාවෙයි එක එක හුටප්පර හින්දා මම මගේ පුංචි ව්‍යාපාරේ  වැඩේ අත ඇරලා දාන්නේ 2010 මැද හරියක් විතර යද්දි.. ඊට පස්සෙ  මොකටද මට ඉන්ටනෙට්.. 

" ඔන්න ඔය මගුල තියනවනම්  ඉස්සර වගේ උබම බිල ගෙවපන් " ගෙදරින් සාධාරන මල්ටි බැරල්

හම්බකරන්ඩත් නැතුව.. වෙන  වැඩකුත් නැතුව මොකටද මං ඉන්ටනෙට් තියාගන්නේ..  ඔන්න එදා මම ජීවිතේට ගත්ත වැදගත්ම තීරනේ ගන්නවා.  

ඕන මගුලක්  කියලා  මම ඉන්ටනෙට් එක තියාගන්ඩ තීරනය කරනවා

හැබෙයි  මම ජිවිතේ හම්බකරපු වටිනාම දේවල් හම්බ කරගත්තේ එදායින් පස්සෙ , ඊට පස්සෙ මම ඉන්ටනෙට් එකෙන් ඉගන ගත්තා. රුපියල් විසි තිස් දාස් ගනන් වල කෝස් මම මාසෙට රුපියල් 1500 දීලා ඉගනගත්තා. ඊටත් පස්සෙ ඔය අන්තර්ජාලෙ තියන අහු මුලු වල හක්කලං කලා. අන්න එතනදි  තමා මගෙ ජීවිතේ වටිනම යාලුවෝ මට හම්බ උනේ..  


ඒ දවස් වල ආගම් ප්‍රශ්න වලට වලි නැගලා ගිය එක අඩ්වියකට මම සෙට් උනේ අහම්බෙන්.. හැමදාම හවසට සරමත් කරට අරන් ඕකට සෙට් වෙන්ඩ මම පුරුදු වෙලා හිටියා.. ඕකට මාව සෙට් කරගත්තේ  සමන්තයා.. , පොර අරාබිකරේ ඉන්න හිත හොද වගේම සෑහෙන්ඩ දැනුමක් තියන ඔටුවෙක්. ඉතින් ඒ අඩිවියෙන් මම ගැලවෙන්නෙ ජීවිතෙට එකතු උනු  හොදම යාලුවෝ ටිකක් හදාගෙන. 

මට 1 වසරෙදි හිටපු හොදම යාලුවා දැන් හොයාගන්ඩවත් නෑ .. ඌ  කැටපිලර් එකක් එලවනවා කියලා ආරන්චි ඒත් දැන් අවුරුදු 15 විතර  දැකලා නෑ. ඊට පස්සෙ හිටපු හොදම යාලුවා ඌත් ආගිය අතක් නෑ..  යාන්තම් හරි ඊට පස්සෙ ඉතුරු උනේ 6 න් 7වසරෙන් පස්සෙ එකතු උනු යාලුවෝ ටික.  මගේ යාලු ආස්සරේ ටිකක් විතර අමුතුයි මිනිහෙක් මට දිරවාගැනීමෙ අපහසුවක් තියනවනම් ඌ ආස්සරේ කිරිමේ ලොකු අපහසුවක් මට තියනවා. ඒ හින්දා ඉස්කෝලෙන් අයින් වෙලා මේ වෙනකොට මට ඉන්නේ අතේ ඇගිලි ගානටත් වඩා අඩු ඉස්කෝලෙ යාලුවෝ ප්‍රමාණයක්.  

මුලින්ම මට ජංජාලෙන් හම්බ උනු යාලුවා සමන්තයා..  කියලා කිව්වනේ  .. ඌ ඉතිං මාව බොහොම දරුනු පොරක් කලා. කොටින්ම මම අර කලින් කිව්ව සයිට් එකට ලොග් වෙනකොට වයස 18 අඩු උන් කොම්පීතර ඕෆ් කරලා නැගිටලා ගියා කියලා අපේ සුදු අක්කා මං එක්ක කිව්වා පස්සෙ කාලෙක..

එහෙම නැහැදිලා හිටපු මාව කවි සීපද ලියපිය කියලා හොද මනුස්සයෙක් කොරන්නේ මට ඊලගට හම්බ වෙච්ච මගේ ආදරණිය සුදු අක්කා   කොටින්ම කියනවනම් එදා ඉදලා අද වෙනකම්  ඉගනගං.. අරක කෝස් එක කරපං , මේ කෝස් එක කරපං කියලා අම්මෙක් වගේ බලාගන්නේ, ලංකාව හතර වටේ ට්‍රිප් එක්ක යන්නේ, ඒ වගෙම බූලොන්ට නැති තෑගි , ඕනම ප්‍රශ්නෙකට උත්තරයක් හොයලා දෙන්නේ,  ඒ වගේම අපේ හාමිනේව බලාගන්නෙත්  අපේ සුදු අක්කා 
 
ඊට පස්සෙ   හම්බ උනේ  ඉබ්බා  ඉබ්බෙක් කිව්වට් ඌ හෙන දිග පලල එකෙක්.  ඌගෙ පොඩි අවුලකට තියෙන්නෙ ඌ ජීවත්වෙන්නේ උගේ පපා කියපු විදියට පපා ඌට ඕන දේවල් ටික ඇරෙන්න අනිත් දේවල් ඔක්කොම කියලා දීල නිසා ,ඌ තාමත් ඔක්කොම දේවල් කරන්නේ අග මුල මාරු කොරලා.. ඌත් ඉතිං මොන තරම් මොලේ අමාරුකං තිබ්බත් හොද එකා. සමාජ සත්කාරේ කිව්වොත් ඉතිං ඉහටත් උඩින් රට වටේ පන්සල් හදනවා මේ දවස් වලනම්. වැඩිපුරම අවුරුදු 30 පැන්න නංගිලා ඉන්න පැති වල තමා මිනිහා පිංකම් කරන්නෙ

ඕං ඊලගට මට සෙට් වෙන්නේ අන්තර්ජාලේ  හෙන දරුනුයි කියලා හිතං හිටිය පොරක්. ඌට ජංජාලේ ඈයෝ නම් කියන්නේ මාරයා කියලා. උගේ මාර ගතිය ඉස්සර්වෙලාම දැනගත්තේ ඌට ඉස්සරවෙලාම ෆෝන් එකෙන් කතා කරපු දවසේ හලෝ මාරයද කියලා අහපුවම. එහා පැත්තෙන් සැමන් ටින් එකක්  දහයේ කියත් පටියකින් හූරනවා වගේ ඔව් අනේ කියලා සද්දයක් ආවා..  අනේ ඉතිං උගේ මාරකං.. මොනවා කලත් ඉතිං රට වටේ හක්කලං ගහන්ටයි හැමදාම කොලඹ ඇද්දම කන්ඩ හදලා දෙන එකයි අපරාදේ කියන්ඩ බෑ ඌ හරියටම කරනවා.. මක්ක කලත් ඉතිං ඕනම වැඩකට නෑ බෑ නොකියා. ඇවිත් කරලා දෙනවා. කොටින්ම කියනවනම් ඉතිං බාප්පා වගේ තමා 

 මොනදේ විහිලුවට කිව්වත් ජිවිතේ ගොඩදාගන්ඩ අමාරු උනු ගොඩක් ප්‍රශ්න වලදි , ඔය යාලුවෝ සෙට් එක මං එක්ක හිටියා . මේ වගෙම තවත් කීප දෙනෙක් මට ජංජාලේ නිසා හම්බ උනා ඒ  අය එක්ක එකතු වෙලා කරපු මේ වගේ ගොඩක් දේවල් වලින් ජීවිතේට  කවදාවත් අමතක  වෙන් නැති දේවල් බොහොමයක් මගේ ජිවිතේට එකතු උනා..  ඒ වගේම ඒ වගේ හම්බවෙච්ච තවත් මිත්‍රයෙක් නිසා  ජීවිතේ තිබ්බ ලොකු හීනයක් පහු ගිය දාක ඉෂ්ඨ උනා

අමරදේව මාස්ටර් කියන්නෙ මගෙ ජීවිතේ වීරයෙක්. හුගක් උන්ට බැට් මෑන් ,සුපර් මෑන් , ෂාරුක් ඛාන් වීරයෙක් වෙන වයස වෙද්දී මගෙ වීරයා උනේ අමරදේව මාස්ටර්, පන්ති කාමරේ ගුරුවරයෙක් නැති වෙලාවට  එහෙමත් නැත්තං සංගීත කාමරේ ගෙවුන ගොඩක් වෙලාවල් වලට තාල ඇල්ලුනේ අමරදේව මාස්ටර්ගේ සින්දු වලට.  ඒ කාලෙ ඉදලම මගේ හිතේ තිබ්බා ලොකු හීනයක්.. ඒ තමා අමරදේව මාස්ටර් ඇස්දෙකෙන් දැකලා එතුමගේ ප්‍රසංගයක් බලන එක. එත් එක අවුරුදු 15කටත් වඩා මගේ හිතේ හීනයක්ම වෙලා තිබ්බා. වෙලාවකට හිතුනා ඒක හීනයක්ම වෙයි කියලා.. ඒ අතරෙදි තමා අපේ  සුදු අක්කා  මගේ තිබ්බ මේ උන ගැන විස්තරේ සුදු අක්කගෙයි මගෙයි යාලුවෙක් වෙච්ච සත් ගුනවත් තිස්ස අයියට කියන්නේ. මොකද අක්කත් කිහිප සැරයක්ම උත්සාහ කලා මට එතුමගේ ප්‍රසංගයක් බලන්න අවස්ථාවක් අරන් දෙන්න. ඒ වගේම නෙලුම් පොකුනේ අමරදේව මාස්ටර් කරපු ප්‍රසංගේ අන්තිම මොහොතේ රනිලුයි ෆොන්සේකා මහත්තයයි නිසා  මට මිස් වෙලා ගියා.

ඉතිං ඔය පනිවිඩේ දැනගත්තු අපේ සත් ගුනවත් තිස්ස අයියා බෝම මහන්සි වෙනවා , මට ඔය අවස්ථාව අරන් දෙන්න. නිකං හරි බුකියෙ දැක්කත් තිස්ස අයියා මෙහෙම කියනවා " මල්ලි මට අමතක වෙලා නෑ හොදේ " යාලුවෝ කියන වචනේ තේරුම හරි පුදුමයි කියලා ඒ ගොඩක් වෙලාවට මට හිතුනා. ඉතිං  වැඩ රාජකාරී දාහක් අස්සෙ දව්ස් කීපෙකට ලංකාවට ඇවිත් හිටපු තිස්ස අයියා පහු ගිය දවසක මට කෝල් එකක් දෙනවා..

"මල්ලී අමරදේව මාස්ටර්ගේ ෂෝ එකක් තියනවා හෙට උබට එන්න පුලුවන්ද ? "

ඊලග මොහොතේ මට දැනුනේ නිකං මගේ කන් දෙක දෙපැත්තෙන්  A/C කලා වගේ හැගීමක්. 

අන්න එහෙමයි යාලුවෝ හින්දා හීන හැබෑ වෙන්නේ.. හැබෙයි මේ කතාවෙදි මට මස් කෑල්ලක් නෙවෙ රාත්තලම හම්බ උනා.. පහල ෆොටෝ කෑලි ටික ඒකට සාක්කි..







  මගේ.. ජීවිත කාලෙදි යාලුවෝ කියලා කටපුරා කියන්න පුලුවන් පිරිසක් මම හම්බකරගත්තා   මේ සටහන ලියන්න හිතුවේ මේ හැමදෙයක්ම වෙනුවෙන් කරපු ස්තූතියට තිස්ස අයියා කියපු මේ කතාව දැක්කට පස්සෙ..

 " උඹල කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "


ඒක ඒ විදියටම  මටත් කියන්න වෙනවා මේ සටහන ලිව්වෙත් ඒ වෙනුවෙන්..........



" ඔයාලා කලාතුරකින් හම්බු වෙන 'මිනිස්සු" - මම හම්බු කරපු වටිනම වස්තුව - ඉතින් කෘතවේදී වියයුතුයි "



Saturday, October 5, 2013

සංගීත කාමරේ.... සහ මගේ ගුරුවරිය






                                                   ඉස්කෝලෙ කාලෙ කියන්නෙ  අදටත්  ලොකූ මතක ගොඩක්... ඒ මතක වලින් වැඩි හරියක් එකතු වෙච්ච තැනක් තමා අපේ සංගීත කාමරේ කියන්නෙ.. දවසට එක එක විශයන් වලට බෙදලා පීරියඩ් කීපයක් තිබ්බත් අපි කීපදෙනෙක්ගේ සදාකාලික පන්ති කාමරේ බවට පත්වෙලා තිබ්බේ අපේ පුංචි සංගීත කාමරේ.. එහෙම වෙලාවට අපේ මැඩම්ගෙන් බැනුමක් දෙකක් අහගෙන සංගීත කාමරෙන් එලියට ආවත්. ආයෙම විනාඩි ගානකින් අපි නතර උනේ සංගිත කාමරේ..  අමරදේව මාස්ටර්.. සුනිල් මහත්තයා ඒ දවස්වල අපි පට්ට ගැහුවා. 

ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් එහෙමත් නැත්තං සමස්ත ලංකා තරග පවත්වන කාලෙ අපි බොහොම සතුටින් හිටපු කාලයක්. මොකද එතකොට අපිට නීත්‍යානුකූලවම සංගීත කාමරේ ඉන්න අයිතිය හම්බවෙනවා. ඇත්තටම අදටත් එ මතක හරි සුන්දරයි..  මම ඉස්කෝලෙන් සමුගත්ත අවුරුද්දෙ අපි එකතුවෙලා සංගීත දිනයක් පටන්ගත්තා.. ඒ අපේ පාසලේ මුල්ම වතාවට සංගීත අංශයෙන් කරපු දෙයක් විදියට. එකෙ නම " ස්වර රංජනා" නම තිබ්බේ අපේම එකෙක් .. ඉතින් පහුගිය 3 වෙනිදා වෙනකොට   අපි සංගීත දිනය වෙනුවෙන්  සර්පිනාවයි තබ්ලාවයි , වයලීනෙයි වගේ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් තිබ්බ පොඩි ඔගෙස්ට්‍රාවකින් පටන් ගත්තු ස්වර රංජනාව 9 අවුරුද්ද පහු කලා ..නිකං නෙවෙ ලංකාවෙ තියන හොදම ඔගෙස්ට්‍රාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් කොල්ලො ටිකක් සහ වොයිස් කරන්න පුලුවන් කොල්ලො ටිකක් එක්ක.. 

අවංකවම එදා අපේ ඇස්වලට කදුලු ආවා..

මේ කතන්දරෙ මෙ විදියට ලියන්න හිතුවෙ මම ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 8ක් වෙලත් සංගීත කාමරේ එක්ක බැදුනු ජිවිතේ තාමත් ඒ ව්දියටම තියෙන එක ගැන හිතේ තියන සතුට නිසා.. ඉස්කෝල ජිවිතේදී අපිට ගොඩක් ගුරුවරු හම්බවෙනවා. මටත් ඒ වගේ හම්බ උනා. එත් අදටත් කකුල් දෙක අල්ලලා පාරක උනත් දනගහලා වදින්න පුලුවන් ගුරුවරු දෙන්නයි එදත් අදත් මට ඉන්නෙ .. එකෙන් පලවෙනියා මගේ සංගීත ගුරුවරිය , අනෙක් කෙනා මගේ නැටුම් ගුරුවරයා.. 

අපේ සංගීත මැඩම් ගැන කියනවනම් .. මැඩම්ගෙන් ගුටි නොකාපු , බැනුම් අහපු නැති එකෙක් නෑ.. හැබෙයි කිසිම දවසක හිතේ අපි ගැන තරහක් තිබිලත් නෑ . මගේ කොල්ලො ටික මගෙ දරුවෝ ටික කියලා තමා අපෙ මැඩම් හැමදාම අපිට කතා කලෙ.  ඇත්තටම සංගීත කමරේදී අපේ මැඩම් අපිට අම්මා කෙනෙක් .. එක කතාවට විතරක් කියන දෙයක් නෙවෙ. සාමන්යෙන් ගුරුවරු නොකරන බොහෝ දේවල් අපේ මැඩම් අපි වෙනුවෙන් කලා..   මෙ එහෙම කතා ටිකක්

අපෙ ඉස්කෝලෙ මොකක් හරි උත්සවයක් තිබ්බම මැඩම්ට ප්‍රධාන ගැටලුවක් උන එකෙක් තමා මම. මොකද මම බෑන්ඩ් ගැහුවා , නැටුම් කලා , ඉතිං උත්සවේකදි සංගීත අංශයෙන් තියන ප්‍රසංග අංකෙ මම අර ඔක්කොම වැඩ ටික ඉවර කරල එනකම් මැඩම් පහු කරලා තියාගන්නවා..  මැඩම්ට ඔන තරම් පුලුවන් කම තිබ්බා මගේ තැනට හිටගෙන ඉන්න විතරක් පුලුවන් එකෙක් දාලා ඒ බර ඔලුවට නොගෙන ඉන්න. එත් කිසිම දවසක මැඩම් එහෙම කලේ නෑ. ඕනම එකෙක්ට යන්තමින් හරි දෙයක් පුලුවන් කියලා මැඩම් දන්නවනම් ඌව කොහොම හරි ගොඩ යවන්න අපේ මැඩම් දැනගෙන හිටියා.. ඒ වගේම තමුන්ගේ වැඩෙ විතරක් කරගෙන අනික් දේවල් බල්ලට ගියත් කමක් නෑ කියන ඕන තරම් ගුරුවරු ඉද්දි. තමන්ගෙ වැඩේ පහු කරගෙන හරි ලමයාට ඒ හැම්දේකටම සහභාගි වෙන්ඩ වෙලාව හදලා දුන්නා.. ඒ මැඩම්ගේ හැටි..

අපේ මැඩම් ගැන කියන්න තව කතා නම් කීයක් තියනවද.. අපෙත් එක්ක හිටපු එකෙක්ට විභාගයක් ලියන්න සල්ලි නැති වෙච්ච වෙලාවක . මූ මුනත් ඇද කරගෙන සංගීත කමරේට වෙලා මැලවිලා හිටියා. ප්‍ර්ශ්නේ දැනගත්තු අපේ මැඩම් කෙලින්ම නතර උනේ ඉස්කෝලෙ ඉස්සරහ තියන බැංකුවෙ. අතේ තිබ්බ වලල්ල උකස් කරලා අපෙ එකාට  විභාගෙ ලියන්න සල්ලි දුන්නෙ අපේ මැඩම්.. ඒ වගෙ පන්ති යන්න සල්ලි දුන්නු උන් ඉසේ කෙස් ගානට ඇති..  ආයෙත් දවසක අපේ පොඩි එකෙක් ෆෝන් එකකට පිස්සු වැටිලා ඒක ගන්න සල්ලි නෑ කියලා දුකෙන් ඉන්නකොට කරේ තිබ්බ මාලෙ උකස් කරලා උබේ ආසාවනේ කියලා සල්ලි දුන්නේ අපේ මැඩම්.. ඒ නිසා  සංගීත කාමරේදි අපෙ අම්මා කියලා කියන  වචනෙට විතරක් සීමා නොවුනු ආදරයක් අපේ මැඩම්ගෙන අපිට ලැබුනා.


ඉස්කෝලෙ  අපි කරපු ගොඩක් උත්සව , ප්‍රසංග වලදි මැඩම්ගේ කනකර බැංකු වල නතර උනා. අපි වෙනුවෙන් ඒ තරම් දේවල් කැපකරපු ගුරුවරයෙක් මට මේ වෙනකම් කවදාවත් මුනගෙහිලා නෑ,  එදා සංගීත කාමරේ මැඩම්ගෙන ඉගනගත්තු හැම එකාම අදටත් මැඩම්ට , අපෙ සංගීත කාමරෙට පන වගේ ආදරේ කරන්නේ ඒ හින්දා..
Time in Sri Lanka: