Tuesday, October 21, 2014

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "





ටවුම පැත්තට යන්ඩ හිතාගෙන ඇවිදින්ඩ පටන් ගත්තා..

ඉස්සලම හම්බඋනේ පෝස්ට් ඔෆිස් එක පාමුල මැටි වලින් හදපු බිත්ති සැරසිලි විකුනන ආච්චි අම්මා.. " මේ එකකින් ලාබෙ රුපියල් පනහයි පුතේ " කලින් දවසක ඈ මට එහෙම කියලා තිබුනා. බොහෝ විට ඒ ආච්චි අරගෙන එන්නෙ ඒවා කෑලි දෙකක් තුනක් ,විකිනුනොත් උපරිම ලාබෙ රුපියල් 150ක් එහෙම නැති දවසුත් ඇති . මොකද හවස් ජාමෙ වෙනකොටත් අතේ ඉතුරු උනු මැටි පහන් ටිකත් එක්ක මම ඒ ආච්චිව දැකලා තියනවා. ඇයගෙ සුපුරුදු හිනාව මැද්දෙ මම එතන පහු කලා..

තව මීටර් 10ක් ඉස්සරහට එනකොට රේල් ගේට්ටුව ලග ගිනි ගහන අව්වෙ , හෙන ගහන වැස්සෙ ටිකට් විකුනන එක අතක් නැති අංකල්.
" කෝටි 4ක් තියනවා ගන්නවද " අංකල් අහනවා " අපෝ එපා ගෙදර ඉඩ නෑ " එහෙම කිව්වත් 20ක් දීලා ටිකට් එකක් ගත්තා ඇදුනොත් එපා කියන්ඩද.. " ජයවේවා " එතනත් පහු කරන් ආයෙම ඉස්සරහට

" මුංගෙ අම්මලාට ගිය රට . කොහෙන් හොයන සල්ලිද බං.. ලක්ශ ගනන් යට කරන්ඩ අපෙ තාත්තලා නිදන් හෑරුවද " රේල් ගෙට්ටුව පහු කරලා මීටර් 20ක් යනකොට කඩලා අයින් කරන්න නියමිත කඩයක එකෙක් කාටදෝ පිං දෙනවා.. ඒ කඩ පේලියම මේ මාසෙ කඩලා අයින් කරනවා ඒ වෙනුවෙන් අලුත් වෙලද සංකීර්ණයක් ඊට පිටිපස්සෙ හදලා. නමුත් ඒවගෙ ගාස්තු. කුලී සම්බන්ධ ප්‍රශ්නෙකට තමා අයියට තද වෙලා තිබ්බෙ..
" එදා වේල හොයාගෙන කාපු එකත් ඉවරයි.. මුං හදන්නෙ අපිව හොරු කරන්න" ඔහු බොහොම වේදනාවෙන් කියනවා..
මම එතනත් පහු කලා..

කහ ඉරක් නැති තැනකිං පාර පැන්නොත් 750ක් දඩ .. ඒ හින්දම ඔරලෝසු කනුව ලග පරන උමග අස්සෙන් පාර මාරු උනා.. උමග කොනේ නෙල්ලි ගොඩක් ගොඩ ගහෙගෙන විකුනන අක්කා. ෆෝන් එක කනේ ගහගෙන ලොකු කතාවක්.. අහල පහල ගැන කිසිම බැලිල්ලක් නැතුව..

" ගිය පාරත් මම වහ බිව්වෙ ඒ හින්දා .. ආයෙමත් සැරයක් මට ඕක කියන්ඩ එපා" 

" අම්මට සිරි " 

මට ඉබේටම කිය උනා. ගිය පාරත් කිව්වෙ මීට කලින් කී පාරක් බීල ඇද්ද.. කොහොමත් ඒ ටිකෙන් එහාට මට මොකුත් ඇහුනේ නෑ.. පඩිපෙල නැගගෙන කෙලින්ම ගියේ සිටි සෙන්ටර් එකට . ගෙවලා දාන්ඩ තිබ්බ බිල් දෙක තුනක් ගෙවලා අන්තිම බිල ගෙවන්ඩ බැංකු පෝලිමේ හිටියා..
ඉස්සරහා අයියා ෆෝන් එකෙන් කතාවක්..

" ප්‍රිමියෝ එක පට්ට බං .. ඇලියොන් එකට වඩා සුපිරි .. ඌ අන්තිම 55ක් ඉල්ලනවා. මටනම් සැටිස්. මගෙ එක දෙනවා බං පහක් හරි අඩුවෙන් දීලා අරක ගන්නවා."
බිල ගෙවලා මං එලියට ආවා.. 

මාලිගාව පැත්තට යන්ඩ ඕන.. ඒ හිතුවිල්ලෙන් මං මාලිගාව පැත්තට ඇදුනා.. කුයින්ස් හෝටලෙ ආලින්දෙ දිගේ කලබලයක් නැතුව මං ඉස්සරහට ඇදුනා..
අවුරුදු හැටක හැත්තෑවක යුවලක් මට ඉස්සරහින්...

" අපරාදේ.. " වයසක ගෑනු කෙනා කියනවා
" මම හිතුවෙ නෑ මේ පාරත් නඩුව කල් යයි කියලා.." පිරිමියත් උත්තර බදිනවා
" පව් දෙයියනේ අහිංසක ලමයි.. මටනම් සංසාරේ එපා වෙනවා.. "
මම වහාම ඕටෙක් කරලා ඉස්සරහට ඇදුනා.. 

මාලිගාවෙ පිං කැටේ ලග නතරවෙලා පර්ස් එක ඇද්දා පනහෙ කොලයක් , විස්සෙ කොලයක් . දහයේ කොලයක්. පහේ කාසියක් .
මං පහේ කාසිය කැටේට දැම්මා..

චික් විතරක් තොගෙ බෞද්ධ කම .. මං මටම කියාගත්තා.. නෑ නෑ ඕවා අර දියවඩනයා හොරකම් කරනවා.. මම හිත හදාගත්තා..

මම මාලිගාව පැත්තට හැරිලා අත් දෙක එකතු කරගත්තා..
මොනා හරි හිතන්ඩ ඕන..
වෙනදටනම් ඉතිං මගේ හිතේ තියන ප්‍ර්ශ්න.. බයිසිකලේ එන්ජිමෙන් එන සද්ද වල ප්‍ර්ශ්න. ඔක්කොම විසදෙන්ඩ කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඒත් අද ඇවිදං ආපු කිලෝ මීටරේ ඇතුලෙ අහපු දැකපු දේවල් බලපුවම. මම මං ගැන කල්පනා කලා.

ආයෙම කල්පනා කලා..

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "

Saturday, September 27, 2014

ෆෝන් කටුවෙන් කැමරාවට...

                       ඊයෙ පෙරේදා ඉතිං ගෑල්ලමයගෙන් තෑග්ගක් විදියට කැමරාවක් හම්බ උනා කියමුකෝ.. ෆෝන් කස්ටෙන් ෆොටෝ ගැහිල්ලට    ආයුබෝං කියලා කැමරාවෙන් වැඩ අල්ලන්ඩ පටන් ගත්තා.. හැබැයි ඉතිං හැමදාම කියන්නා වාගේ ඇහැක් විදියට බොහොම සිල්ලර විදියට...

කලින් ෆෝන් කටුවෙන් ගහපුවා බලාගන්ඩ නම් මෙතෙන්ඩ



Canon IXUS 145








Tuesday, September 23, 2014

බලලා ඉවරවෙල අපිත් දීලා දාමු

බලලා ඉවරවෙල අපිත් දීලා දාමු






ඇස් දන් දීමට කැමතිද? 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය---
===============================

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"*ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ.*"

- *දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත
ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.*

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 07.

- *ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක
011- 2 698 040
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051


*උපදෙස්*

- කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා
ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
- ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු
අයගේ මරණ වලදී පමණි.
- වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක.
සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
- මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
- සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට
පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම
කර ගැනීමට පහසුවක්වේ.
- ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ
පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
- ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ
පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
- පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන්
දීම සිදුකල හැක.
- සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත
හැක.
- මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ
ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන
සංගමය සංගමය කටයුතු කරයි.




මමත් ඔන්න ඇස් දෙකයි සරිර කූඩුවයි සබ්බ සකල මනාවම දීලා දැම්මා .. 




Wednesday, July 16, 2014

දෙවොන්දරා සං.....




හිරු රුදු වී නිමා කෙරෙන
තව දවසක හැන්දෑවක
නුවර වැවට උඩින් වැටෙන
හිරු රැලි මනරම්
මල් පාවඩ නැති පාරේ
අතැගිලි බැද ඇවිද යන්න
මාත් එක්ක නුඹ එනවද
දෙවොන්දරා සං..

වෛවාරණ අරුමෝසම්
මේ සුන්දර ලී කැටයම්
මේ ඔක්කොම නුබේ නමට
තෑගි කරන්නම්
නුඹ ආ මග අමතක කර 
හෙට දවසට ඇවිද යන්න
නුඹෙ ආදරේ මට දෙනවද
දෙවොන්දරා සං..

හින අහුරු පොදි බැදගෙන
නැලවෙන මල් වසන්තයක
ඇවිදින එක හීනයක්ම
වෙලා හිතට දැං
සැප බස් රිය කවුලු  දොරින්
නුඹෙ හිනාව බොඳවෙනකොට
ආයෙත් නුවරට එනවද
දෙවොන්දරා සං..



2014 | 07 | 16




පසු සටහන -   නුවරදි   සංචාරකයන්ට විසිතුරු දේවල් විකුනන තරුන ගෑනු ලමයෙක් හා සංචාරකයෙන් බොහොම සමීපව කතා බහ කරමින් ඉන්නවා දැකලා හිතට ආව සිතුවිල්ලක්

Thursday, May 22, 2014

කිසිදා මහලු නොවන හඩින් හන්තාන සිහිනය දකින්නට




බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ


වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ



වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

...........


හඬ - පන්ඩිත් අමරදේවයන් සමග උමාරියා සිංහවංශ
පද රචනය - ජානක සිරිවර්ධන
තනුව - අරුණ ගුනවර්ධන


දන්සැල් සහ හිඟන කතාවක්

       


 


                                ඒ වෙනකොට වෙලාව හවස හයට විතර.. දවස කිව්වොත් වෙසක් දවසට කලින් දවස . ටික දවසකට පස්සෙ රෝන්දෙ ගහන්නම හිතාගෙන කොළබ ගියා. කොහෙමෙන් කොහොම හරි කොලඹ වටේ තිබ්බ වැඩ වගයක් ඉවරකරගෙන වෙන්ට පවුලත් පිටිපස්සෙ තියාගෙන බයිසිකලේ බොරැල්ලෙ BOC එක ඇතුලට දැම්මෙ සල්ලි ටිකක් ගන්න හිතාගෙන. ATM එකේ පෝලිම වන්දනා කරලා මම ආයෙම  බයිසිකලේ පැත්තට ඇවිදගෙන එනකොට තරමක වයස්ගත පුද්ගලයෙක් ඒ පැත්තට ඇවිදගෙන එනවා මම දැක්ක. ඒ වෙලාවෙ එක පාරටම මට හිතුනා මේ නම් දෙශීය ආදායම් බදු එකෙන් තමා කියලා. සාමාන්යෙන් අතක් පයක් කැඩුනු , හොදටම වයස කෙනෙක්ට ලෙඩෙක්ට ඇරෙන්න ජොබ් එකට හිගා කනවා කියලා හිතන අයට මම සල්ලි දෙන්නෙ නෑ. කොහොමත් ඒ ආව කෙනා ඔය කිව්ව එක මුලික සුදුසුකමක්වත් සපුරලා තිබ්බෙත් නෑ. කොහෙමෙන් හරි අමුත්තා කටහඩ අවදි කලා

" අනේ මහත්තයෝ කීයක් හරි "

එ ප්‍රකාශෙ ඉවරවෙන්නත් කලින්ම මම හැරෙන තෑපෑලෙන් මෙහෙම කිව්වා

" නෑ.. නෑ.. දැන් නම් බෑ.. "

ඊට පස්සෙ ඒ පුද්ගලයා කියපු දේ ටිකක් අමුතු ඉල්ලීමක් උනා..

" අනේ මහත්තය අද හිරෙන් නිදහස් උනේ හෙට ගමට යනවා සල්ලි එපා කඩේකට ගිහින් කන්න පාන් බාගයයි පරිප්පුයි අරන් දෙන්න . මහත්තයා ඉස්සරහම කන්නම් "

මොන මිනුම් දඩු තිබ්බත් බඩගින්නට ඒවා පරාද නිසා මම පර්ස් එක දිහා බැලුවා..

ඇත්තටම ඒ වෙලාවෙ මාරු සල්ලි නොතිබුන නිසා පර්ස් එකේ තිබ්බ 100 කොලයක් මම මනුස්සයට දීලා බයිසිකලේට ගොඩ උනා. ඒ අතරේ ඒ මනුස්සයා ඉක්මන් ගමනින් රිජ්වේ එක පැත්තට ඇදෙනවා මම දැක්කා.

" හොරෙක්ද දන් නෑ "

වෙන්ට පවුල පිටිපස්සෙ ඉදන් කෙදිරුවා..

" කමක් නෑ අපි දුන්නෙ කන්ඩ කියලනෙ "

මමත් හිත හදාගෙන බයිසිකලේ ඇද්දුවා..  බයිසික්ලේ බැංකුවෙන් එලියට දාලා රිජ්වෙ එක පැත්තට ඇදෙනකොට අර මනුස්සයා ඉස්සරහින් යනවා .

වෙසක් පෝයට දවසක් කලින් තියලත් මට කුප්ප අදහසක් ආවා.

" බලමුද අර පොර යන්නෙ කොහෙටද කියලා "

මම එහෙම අහද්දි මගේ කුප්ප ක්‍රියා වලට හැමදාම අනුබල දෙන වෙන්ට පවුල එක හඩින්ම ඒක අනුමත කලා.

බයිසිකලෙ බොහොම හෙමින්  ඉස්සරහට ඇදුනා ඒ එක්කම ඔහු රිජෙවෙ එකට කලින් ඇතුලට තියන පාර පැත්තට හැරුනා.. මමත් රිජ්වෙ එකෙ තාප්පෙ ලග බය්ක් එක නතර කරගත්තා. 

ඊට පස්සෙ විනාඩියෙදි ... ඒ පුද්ගලයා එතන තිබුනු හෝටලයක් ඇතුලට ගිහිල්ලා ඉදගන්නවා අපි දෙන්නම බලාගෙන

" අනේ පවු.. ඇත්තටම බඩගින්නෙ ඉන්ඩ ඇති "

වෙන්ඩ පවුල පිටිපස්සෙ ඉදලා  එහෙම කෙදිරුවා..

" පව් නේද ඕකෙන් කන්ඩ ඇති වෙයිද මන්දා.. "

මමත් ඒකට උත්තර බැන්දා...

" නෑ කයි කයි තව කීයක් හරි ඇති නේ.. අනික හෙට දන්සැල් නේ ඔය මනුස්සයා හොදට කාල ගෙදර යයි. "

වෙන්ට පවුල එහෙම කිව්වම මමත් එක අනුමත කලා .. ඔව් හෙට දන්සැල් නිසා බඩ පිරෙන්න කයි.

අපි එහෙම හිතලා පිටත් උනා.. මොකද  ඊලග දවසෙ අපෙ පෑලෑනැත් උනේ දන්සැල් වදින එක.

ඉතිං පහුවෙනිදා පාන්දරම යාලු මිත්‍රයෝ දෙනෙකුත් එක්ක අපිත් පාරට බැස්සා වෙසක් බලන්න වගෙම දන්සැල් වදින්න. සාර්තක දැන්සැල් කීපෙකට පස්සෙ අපි ගොඩ වැදුනා බත් දන්සැලකට. ඔන්න අපි පෝලිමේ  බත් එක අරගන්න.   දන්සැලේ බත් බෙදන්න හිටියෙ ගැහැනු කීප දෙනෙක්  පෝලිමෙ උන්න කුඩා දරුවෙක්  තමුන්ගෙ බත් එක අතට දුන්නම ඒ ගෑනු කෙනෙක්ගෙන් පොඩි ඉල්ලීමක් කලා .. 

" අනේ මට තව පපඩමක් දෙනවද "

එතකොටම දන්සැලේ බත් බෙදපු අක්කා  එකට අපූරු උත්තරයක් දුන්නා

" බෑ බෑ.. එකයි දෙන්නෙ "

අක්කා ඒ ප්‍රකාශෙ නිකුත් කලේ . පොඩි එකා ලෝක බැංකුවෙන් මිලියන 100ක විතර නයක් ඉල්ලුව ගානට


 බත් බෙදපු අක්කට ඒ ප්‍රකාශෙ අවුලක් නොවුනත් එතන හිටපු බත් කන කිහිප දෙනෙක්ටම ඒක අවුලක් උනා..

අන්න එහෙමයි අපේ දන්සැල්..
 
ආයෙම එන ගමන් මට මතක් උනේ කලින් දවසේ අමුත්තා.. වෙන්ට පවුල ලග හිටිය නිසා මම දෙපාරක් නොහිතාම හිතට ආව දේ අහල දැම්මා


" නංගී අර මනුස්සය  අද බඩ පිරෙන්න කන්න ඇති නේද "






Sunday, April 13, 2014

ඔබත් බූරුවෙක් ද ?

    


  දැන් විනාඩි කීපෙකට කලින් පාර පැත්තෙන් මහා විලාප සද්දයක් ආව.. ඒ වෙලාවෙ මම මගෙ යලුවෙක් එක්ක ගෙදර වත්තෙ වාහනේ හරවන ගමන් හිටියේ වලියකට ගෝරියකට එහා ගියපු සද්දයක් හින්දා අපි දෙන්නත් ඒ පැත්තට දිව්වා.. 

ගෙවල් කිට්ටුවම ගෙදරක ජොඩුවක් තමුන්ගේ දුව බලන්න ත්‍රීවිල් එකෙන් ගිහින් ව්ල් එක පෙරලිලා ඒ අම්මා එතනමයිලු.. ආරංචි විදියට ත්‍රීවීල් එක පදවපු කෙනා සෑහෙන්න හොදට අවුරුදු සමරලා තමා වීල් එකට ගොඩ වෙලා තියෙන්නෙ. මගෙ යාලුවාගෙ කඩෙන් බඩුත් අරගෙන තමා ඒ අම්මා ටික වෙලාවකට කලින් එතනින් ගිහින් තිබ්බෙ.

කොහොම නමුත් දුකට , සැපට , මගුලට , අවමගුලට නැතුවම බැරි ලාංකීය ජනයාගේ උත්සව වල මූලිකම අවශ්‍යතාවයක් නිසා. පවුලකට අම්මා කෙනෙක් නැති වෙලා.. හෙට අවුරුදු සමරන්න සතුටින් ඉන්න මොන තරම් බලාපොරොත්තු තිබ්බද කියලා දන්නෙ ඒ මනුස්සයා විතරක් වෙන්න පුලුවන්.. මොකද ඒ මනුස්සයගේ ඒ බලාපොරොත්තු අර පදමට බිලා වාහනේ අතට ගත්තු පොල් බූරුවට තිබුනනම් ඔය මී හරක් වැඩෙ කවදාවත් නොකරන්න තිබ්බා
මට ගොඩක් වෙලාවට හම්බවෙලා තියනවා මගේ යාලුවෝ හිතවත්තු සහ නොදන්නා අය බීලා වාහන එලවලා පුරසාරම් දොඩවන. මේ ලගදි එකෙක් කිව්වා

 " මම පොල්ගහවෙල ඉදලා ආවා ඩෝ හොදට ගසලා එකෙක්ට මාට්ටු නෑ කියලා."

 ඌ හිතාගෙන හිටියේ ඌ සින්බෑන්ඩ් වගේ පට්ට වීර චාරිකාවක් ගියා කියලා.


කියන්න තියෙන්නෙ මෙච්ච්රයි බොනවනම් බීලා වාහන එලවනවනම් තමුන්ගේ දරුවෝ ගෑනි බස් එකකටවත් දාල යවපල්ලා . මැරෙන්නම ඕන නම් තනියම මැරියල්ලා.

කවුරු මොන අර්ථ දුන්නත් බොන එකා කියන්නේ බූරුවෙක් ඌ එහෙම බොන්නෙ තමුන්ගේ හිස් තැන ඒ මතෙන් පුරවගන්න. ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ

Monday, February 10, 2014

ඇයි මල්ලි අවුලක්ද ?




හැමදාම එන පාරේ.. ගෙදර එන ගමන් හිටියේ..
කොහොමත් මම කලබල ටවුම මැදින් එන්න වැඩිය කැමැත්තක් නෑ. ඒ නිසා ටවුමට ඇතුලෙන් යන පාරෙන් බොහොම දුරක් ඒ වෙනකොට මම ඇවිත් තිබ්බෙ. පිටිපස්සෙන් ආව වෑන් එක එලවපු එකා හෝන් ඒක උඩ නැගගෙන පාරේ ඉඩ ඉල්ලපු නිසා මම ඌට ඉඩ දුන්නා, ඒ එක්කම පැයට කිලෝමීටර් හිතාගන්න බැරි ගානකින් ඕවටේක් කරපු ඩිලිවරි වැන් එක තව මීටර් 10ක් ඉස්සර වෙන්කොටම පාර අයිනේ උගේ පාඩුවෙ හිටපු බල්ලෙක් දඩාස් ගාල හැප්පුවා. වේගෙ කිසිම අඩුවක් නොකරපු වෑන් එක. ඊලග තප්පරේදි නොපෙනී ගියා. ( සැලකිය යුතුයි සමහර බල්ලෝ ඉන්නවා මාර්ග නීති තුට්ටුවකට මායිම නොකර පාර මැද බුදියං ඉන්න උන් මූ එකෙම එකෙක් නෙවෙයි පාරෙනුත් සෑහෙන්න ඇතින් හිටියත් වෑන් එකෙ ඕවටේක් ස්පීඩ් එකට වාහනේ කොන්ට්‍රෝල් නැති උනා)

වාහනේ වැදුන බල්ලා පාර අයිනේ වැටිලා මහා හයියෙන් විලාප තියනවා. තව වාහනේකට යට වෙයි කියලා ඌව අයින් කරන්නත් බය. මරු විකල්ලෙන් හපයිද කියන සැකේ හින්දා. මම බයිසිකලෙන් බහිනකොටම මාව පහු කරපු නවීන පන්නේ ජීප් එකක් ඉස්සරහින් නැවැත්තුවා. තප්පර ගානක් ඇතුලත ඒකෙන් බැහැලා ආවේ වයස 60ක 65ක විතර මහත්තයෙක්.

" අප්පා අහිංසකයව හප්පලා නේද ? "

ලගට එන ගමන් ඔහු ඒ විදියට ඇහුවා..

ඊලග තප්පරේදි ඔහු ආයෙම මෙහෙම කිව්වා

" බේරගන්න පුලුවන් වෙයි.. පුතා අල්ලමුද වාහනේට.. "

වෙන්න යන දේ ..හිතාගන්න අමාරු උනත් .. මම හා කියලා ලං උනා ..

"බලාගෙන හපයිද දන් නෑ,,, "

මම කිව්වෙ කෝකටත් පරිස්සමට

"බය වෙන්න එපා පුතා ඌ දන්නවා ඌට හොදක් කරන්න කියලා "

වාහනේට බල්ලා දා ගත්ත මහත්ත්යා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වාහනේ හරවලා ආපහු නුවර පැත්තට පිම්මේ ඇදුනා..

වාහනේ ගියාට පස්සෙත් මම බොහොම වෙලාවක් ඒ පැත්ත දිහා බලාගෙන වෙච්ච දේ මුල ඉදලා කල්පනා කලා..

ඒ එක්කම ලග නවත්තපු ත්‍රි වීල් අයියා කෙනෙක් මං දිහා බලලා මෙහෙම ඇහුවා

" ඇයි මල්ලි අවුලක්ද ? "

ඇත්තටම කාලෙ හැටියටනම් මේක මහා අවුලක්..


Time in Sri Lanka: