Wednesday, June 25, 2014

සදාචාරේ...





ලංකාවේ තියෙන්නෙ අමුතුම මාධ්‍ය සදාචාරයක් නේ.. මේ රටේ ගොඩක් ප්‍ර්ශ්න වැඩි වෙන්න ලොකුම හේතුව මේක.
මුස්ලිම් මිනිහෙකුයි සිංහල මිනිහෙකුයි ගහගත්ත ගමන් ඒක පත්තරේ යන්නේ අමුතු විදියකට. උදාහරනෙකට කිව්වොත් මෙහෙම
" අකුරන නගරයේදි දෙපිරිසක් අතර ගැටුමක් " දෙපිරිස කවුද කියලා උන් දන් නෑ.
එතකොට සිංහල උන් දෙන්නෙක් කෙල ගත්තොත් පත්තරේ යන්නෙ මෙහෙම.
මහනුවර නගරයේ පදිංචි දෙදෙනෙක් ආර්.පී වලිරත්න (55) . බී . එස් සාමරත්න (45) අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම තුවාල ලබා රෝහලට

ඒ ඇයි...

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද.

ඕකෙන් වෙන්නෙ මෙච්ච්රයි . ලංකාවෙ මිනිස්සු ස්වයං මතයක් ගොඩනගාගන්නවා පත්තරේක . ටීවී එකක නිවස් එකක " දෙපිරිසක් " කෙලගත්තා කිව්වොත්. අනිවා ඒක මුස්ලිම් සිංහල වලියක් කියලා..
ඒත් ඒක්කම ලංකාවෙ පත්තරවල තියන සුපිරිම සදාචරෙත් කියන්නම් . වෙන කිසිම ආගමක ජාතියක ගැටලුවක්. හෝ වැරද්දක් කිසිම දවසක මෙ කට්ටිය පත්තරේක දාන් නෑ. හැබෙයි සිවුරක් අහු උනොත් . නම ගම උපසම්පදා වෙච්ච දවස. පැවිද්ද්ට කලින් නම. ඔක්කොම හොයාගන්න අයියලට පුලුවන්.

ඒ ඇයි..

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද..

ලංකාවෙ බහුතර සිංහල හ මුස්ලිම් අයට ගැටලුවක් නෑ ඇත්ත ඇති සැටියෙන් කියනවානම් සහ වැරද්ද මොකක්ද කියලා හරියට රටට කියනවානම් එතකොට වැරදි කරන එකා බයට ඒක නතරකරයි නැත්තං වැරද්ද මොකක්ද කියලා රටම දැනගනී. මේකෙන් වෙන්නෙ වැරදි කරන එකාට මාධ්යේන් අමුතු බලයක් ලබාදෙන එක.
ලංකාවේ ජිහාඩ් තියනවා ඒක ලියන්න කියන්න කට්ටිය බයයි. හැබැයි බොදු බල සේනව ප්‍රමුක සිංහල අයගේ ජාතිවාදය ගැන කතා කරන්න නිව්ස් දාන්න කට්ටියට පුලුවන්

ඒ ඇයි..

ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද...

Thursday, May 22, 2014

කිසිදා මහලු නොවන හඩින් හන්තාන සිහිනය දකින්නට




බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ


වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ



වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

...........


හඬ - පන්ඩිත් අමරදේවයන් සමග උමාරියා සිංහවංශ
පද රචනය - ජානක සිරිවර්ධන
තනුව - අරුණ ගුනවර්ධන


දන්සැල් සහ හිඟන කතාවක්

       


 


                                ඒ වෙනකොට වෙලාව හවස හයට විතර.. දවස කිව්වොත් වෙසක් දවසට කලින් දවස . ටික දවසකට පස්සෙ රෝන්දෙ ගහන්නම හිතාගෙන කොළබ ගියා. කොහෙමෙන් කොහොම හරි කොලඹ වටේ තිබ්බ වැඩ වගයක් ඉවරකරගෙන වෙන්ට පවුලත් පිටිපස්සෙ තියාගෙන බයිසිකලේ බොරැල්ලෙ BOC එක ඇතුලට දැම්මෙ සල්ලි ටිකක් ගන්න හිතාගෙන. ATM එකේ පෝලිම වන්දනා කරලා මම ආයෙම  බයිසිකලේ පැත්තට ඇවිදගෙන එනකොට තරමක වයස්ගත පුද්ගලයෙක් ඒ පැත්තට ඇවිදගෙන එනවා මම දැක්ක. ඒ වෙලාවෙ එක පාරටම මට හිතුනා මේ නම් දෙශීය ආදායම් බදු එකෙන් තමා කියලා. සාමාන්යෙන් අතක් පයක් කැඩුනු , හොදටම වයස කෙනෙක්ට ලෙඩෙක්ට ඇරෙන්න ජොබ් එකට හිගා කනවා කියලා හිතන අයට මම සල්ලි දෙන්නෙ නෑ. කොහොමත් ඒ ආව කෙනා ඔය කිව්ව එක මුලික සුදුසුකමක්වත් සපුරලා තිබ්බෙත් නෑ. කොහෙමෙන් හරි අමුත්තා කටහඩ අවදි කලා

" අනේ මහත්තයෝ කීයක් හරි "

එ ප්‍රකාශෙ ඉවරවෙන්නත් කලින්ම මම හැරෙන තෑපෑලෙන් මෙහෙම කිව්වා

" නෑ.. නෑ.. දැන් නම් බෑ.. "

ඊට පස්සෙ ඒ පුද්ගලයා කියපු දේ ටිකක් අමුතු ඉල්ලීමක් උනා..

" අනේ මහත්තය අද හිරෙන් නිදහස් උනේ හෙට ගමට යනවා සල්ලි එපා කඩේකට ගිහින් කන්න පාන් බාගයයි පරිප්පුයි අරන් දෙන්න . මහත්තයා ඉස්සරහම කන්නම් "

මොන මිනුම් දඩු තිබ්බත් බඩගින්නට ඒවා පරාද නිසා මම පර්ස් එක දිහා බැලුවා..

ඇත්තටම ඒ වෙලාවෙ මාරු සල්ලි නොතිබුන නිසා පර්ස් එකේ තිබ්බ 100 කොලයක් මම මනුස්සයට දීලා බයිසිකලේට ගොඩ උනා. ඒ අතරේ ඒ මනුස්සයා ඉක්මන් ගමනින් රිජ්වේ එක පැත්තට ඇදෙනවා මම දැක්කා.

" හොරෙක්ද දන් නෑ "

වෙන්ට පවුල පිටිපස්සෙ ඉදන් කෙදිරුවා..

" කමක් නෑ අපි දුන්නෙ කන්ඩ කියලනෙ "

මමත් හිත හදාගෙන බයිසිකලේ ඇද්දුවා..  බයිසික්ලේ බැංකුවෙන් එලියට දාලා රිජ්වෙ එක පැත්තට ඇදෙනකොට අර මනුස්සයා ඉස්සරහින් යනවා .

වෙසක් පෝයට දවසක් කලින් තියලත් මට කුප්ප අදහසක් ආවා.

" බලමුද අර පොර යන්නෙ කොහෙටද කියලා "

මම එහෙම අහද්දි මගේ කුප්ප ක්‍රියා වලට හැමදාම අනුබල දෙන වෙන්ට පවුල එක හඩින්ම ඒක අනුමත කලා.

බයිසිකලෙ බොහොම හෙමින්  ඉස්සරහට ඇදුනා ඒ එක්කම ඔහු රිජෙවෙ එකට කලින් ඇතුලට තියන පාර පැත්තට හැරුනා.. මමත් රිජ්වෙ එකෙ තාප්පෙ ලග බය්ක් එක නතර කරගත්තා. 

ඊට පස්සෙ විනාඩියෙදි ... ඒ පුද්ගලයා එතන තිබුනු හෝටලයක් ඇතුලට ගිහිල්ලා ඉදගන්නවා අපි දෙන්නම බලාගෙන

" අනේ පවු.. ඇත්තටම බඩගින්නෙ ඉන්ඩ ඇති "

වෙන්ඩ පවුල පිටිපස්සෙ ඉදලා  එහෙම කෙදිරුවා..

" පව් නේද ඕකෙන් කන්ඩ ඇති වෙයිද මන්දා.. "

මමත් ඒකට උත්තර බැන්දා...

" නෑ කයි කයි තව කීයක් හරි ඇති නේ.. අනික හෙට දන්සැල් නේ ඔය මනුස්සයා හොදට කාල ගෙදර යයි. "

වෙන්ට පවුල එහෙම කිව්වම මමත් එක අනුමත කලා .. ඔව් හෙට දන්සැල් නිසා බඩ පිරෙන්න කයි.

අපි එහෙම හිතලා පිටත් උනා.. මොකද  ඊලග දවසෙ අපෙ පෑලෑනැත් උනේ දන්සැල් වදින එක.

ඉතිං පහුවෙනිදා පාන්දරම යාලු මිත්‍රයෝ දෙනෙකුත් එක්ක අපිත් පාරට බැස්සා වෙසක් බලන්න වගෙම දන්සැල් වදින්න. සාර්තක දැන්සැල් කීපෙකට පස්සෙ අපි ගොඩ වැදුනා බත් දන්සැලකට. ඔන්න අපි පෝලිමේ  බත් එක අරගන්න.   දන්සැලේ බත් බෙදන්න හිටියෙ ගැහැනු කීප දෙනෙක්  පෝලිමෙ උන්න කුඩා දරුවෙක්  තමුන්ගෙ බත් එක අතට දුන්නම ඒ ගෑනු කෙනෙක්ගෙන් පොඩි ඉල්ලීමක් කලා .. 

" අනේ මට තව පපඩමක් දෙනවද "

එතකොටම දන්සැලේ බත් බෙදපු අක්කා  එකට අපූරු උත්තරයක් දුන්නා

" බෑ බෑ.. එකයි දෙන්නෙ "

අක්කා ඒ ප්‍රකාශෙ නිකුත් කලේ . පොඩි එකා ලෝක බැංකුවෙන් මිලියන 100ක විතර නයක් ඉල්ලුව ගානට


 බත් බෙදපු අක්කට ඒ ප්‍රකාශෙ අවුලක් නොවුනත් එතන හිටපු බත් කන කිහිප දෙනෙක්ටම ඒක අවුලක් උනා..

අන්න එහෙමයි අපේ දන්සැල්..
 
ආයෙම එන ගමන් මට මතක් උනේ කලින් දවසේ අමුත්තා.. වෙන්ට පවුල ලග හිටිය නිසා මම දෙපාරක් නොහිතාම හිතට ආව දේ අහල දැම්මා


" නංගී අර මනුස්සය  අද බඩ පිරෙන්න කන්න ඇති නේද "






Sunday, April 13, 2014

ඔබත් බූරුවෙක් ද ?

    


  දැන් විනාඩි කීපෙකට කලින් පාර පැත්තෙන් මහා විලාප සද්දයක් ආව.. ඒ වෙලාවෙ මම මගෙ යලුවෙක් එක්ක ගෙදර වත්තෙ වාහනේ හරවන ගමන් හිටියේ වලියකට ගෝරියකට එහා ගියපු සද්දයක් හින්දා අපි දෙන්නත් ඒ පැත්තට දිව්වා.. 

ගෙවල් කිට්ටුවම ගෙදරක ජොඩුවක් තමුන්ගේ දුව බලන්න ත්‍රීවිල් එකෙන් ගිහින් ව්ල් එක පෙරලිලා ඒ අම්මා එතනමයිලු.. ආරංචි විදියට ත්‍රීවීල් එක පදවපු කෙනා සෑහෙන්න හොදට අවුරුදු සමරලා තමා වීල් එකට ගොඩ වෙලා තියෙන්නෙ. මගෙ යාලුවාගෙ කඩෙන් බඩුත් අරගෙන තමා ඒ අම්මා ටික වෙලාවකට කලින් එතනින් ගිහින් තිබ්බෙ.

කොහොම නමුත් දුකට , සැපට , මගුලට , අවමගුලට නැතුවම බැරි ලාංකීය ජනයාගේ උත්සව වල මූලිකම අවශ්‍යතාවයක් නිසා. පවුලකට අම්මා කෙනෙක් නැති වෙලා.. හෙට අවුරුදු සමරන්න සතුටින් ඉන්න මොන තරම් බලාපොරොත්තු තිබ්බද කියලා දන්නෙ ඒ මනුස්සයා විතරක් වෙන්න පුලුවන්.. මොකද ඒ මනුස්සයගේ ඒ බලාපොරොත්තු අර පදමට බිලා වාහනේ අතට ගත්තු පොල් බූරුවට තිබුනනම් ඔය මී හරක් වැඩෙ කවදාවත් නොකරන්න තිබ්බා
මට ගොඩක් වෙලාවට හම්බවෙලා තියනවා මගේ යාලුවෝ හිතවත්තු සහ නොදන්නා අය බීලා වාහන එලවලා පුරසාරම් දොඩවන. මේ ලගදි එකෙක් කිව්වා

 " මම පොල්ගහවෙල ඉදලා ආවා ඩෝ හොදට ගසලා එකෙක්ට මාට්ටු නෑ කියලා."

 ඌ හිතාගෙන හිටියේ ඌ සින්බෑන්ඩ් වගේ පට්ට වීර චාරිකාවක් ගියා කියලා.


කියන්න තියෙන්නෙ මෙච්ච්රයි බොනවනම් බීලා වාහන එලවනවනම් තමුන්ගේ දරුවෝ ගෑනි බස් එකකටවත් දාල යවපල්ලා . මැරෙන්නම ඕන නම් තනියම මැරියල්ලා.

කවුරු මොන අර්ථ දුන්නත් බොන එකා කියන්නේ බූරුවෙක් ඌ එහෙම බොන්නෙ තමුන්ගේ හිස් තැන ඒ මතෙන් පුරවගන්න. ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ

Thursday, February 13, 2014

ඌට උගේ නොවන උගේම ප්‍රජාවක් හිටියා..






පහු ගිය මාස ගානක් පුරවටම පේරාදෙනිය ගලහ හන්දිය පහු කරන් යනකොට  නිතර ඇහැ ගැටුන දෙයක් තිබ්බා..

ඒක.. ටකරං මඩුවක්  ..

කලු පාටින් සැරසිච්ච මඩුව අතරේ පැය හයේ ශිෆ්ට් වලට නංගිලා මල්ලිලා වගයක් සාමකාමී සත්‍යග්‍රහයක.  උදේට එතනින් යනකොට තිබ්බ මුනු දවල්ට නෑ.. අලුත් මූනු.. මොනා උනත් පාරවල් වහන් නටන නාඩගම් වලට වඩා අඩුම ගානේ තමන්ගේ විරෝදය අපිට වදයක් නොවෙන විදියට ඒ අය පෙන්නුවා..

ඒ ලග තිබ්බා බෝඩ් එකක් ඒකෙ තිබ්බා සත්‍යග්‍රහයට අදට දින කියලා වෙනස් වෙන පුවරුවක්. ඒකෙ දින ගාන 70කට ලං වෙනකං මම ඕක ලගින් එහෙ මෙහෙ ගියා මට මතකයි. පස්සෙ ඒකත් බලන එක අමතක වෙලා ගියා..

පහු ගිය දවසක මම හිටපු බස් එකකට නැග්ග ඒ මල්ලි කෙනෙක් මොන මොනවදෝ ගොඩාක් කියවලා අන්තිමට මේ ටික කිව්වා

" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "

මට ගලහ හන්දිය හරි සුපුරුදුයි... ජීවිතේ ගොඩක්  තදබද වෙලාවට  ඔය පාරේ මම බොහොම දුර ගිහින් හිතට නිවාඩු දීලා ඇති..

ඒ ගමන් වලදි වගේම සාමාන්‍ය ජීවිතේදි බොහෝ වෙලාවට ගලහ හන්දිය බොහොම කලබලයි.. කලු කොඩි, පෝස්ටර් , බැනර්, වලි , පොලිස් වාහන , ගලහ හන්දියට අරුම නෙවෙ... ඒ හැම වෙලාවකම උබලා ගලහ හන්දිය දෙදරවන සද්දෙන් කෑ ගහල කිව්වෙ බස් එකේ මලයා කතාව අවසන් කරපු වචන පේලියම තමා...

" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "

උබලා හැමදාම කොඩි වැල් පොස්ටර් අලවන මහ තල් ගස් ඒකට සාක්කි..


ඒත් මල්ලියේ මේ බොහොම ලග දවසක ඔය අට්ටාලෙට පේන දුරින්..

උබලගේ ප්‍රාජාවෙ එකෙක් එල්ලිලා මැරුනා..

මම බොහොම ආසාවෙන් හිටියා උබලා උගේ අයිතිය වෙනුවෙනුත් පාරට බහී කියලා..

ගලහ හන්දිය ඌ වෙනුවෙන් කලු පාටින් වැහිලා යයි කියලා..




එහෙම නොවුනම .. මම ආයෙම කල්පනා කලා..

" ඔය කියන ප්‍රජාවට ඌ අයිති නැතුව ඇති "

මම එහෙම හිතුවා..

කෝකටත් අර මල්ලිගෙ ප්‍රකාශෙට ඔය කොල්ලව ආදේශ කරලා බලමු..


" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "


කොල්ලා දුප්පත්.. තාත්තා මාලු විකුනලා කොල්ලව කැම්පස් එව්වෙ..

සමීකරනේ ගැලපෙනව නේද..


අපි ඉතිං ඉගනගත්තු උන්ද...


සමීකරනේ මොකක් හරි අවුලක් ඇති.. කැම්පස් එකෙක්ගෙන්ම තමා අහගන්ඩ ඕන. යාන්තමින් පේරා එකෙක්ම සෙට් කරන් උගේන් ඔය කතාව ඇහුවා

" ඌ කැම්පස් එකෙන් අයින් වෙලා හිටියෙ අයියේ "

මුලු ප්‍ර්ශ්නෙම අහලා ඌ දුන්න පලවෙනි උත්තරේ

" ඒ කිව්වෙ "

රැග් සීන් එකකට ඌ සාක්කී දුන්නා ..පස්සෙ එක එක කේස් ඌට වැටුනා  කොහොමත් ඒ කේස් වෙනකොටත් මූ රැග් නිසා කැම්පස් අත ඇරලා ඉදලා තියෙන්නෙ.


" එහෙනං බං නිදහස් අධ්යාපනේට ඕක ඇතුලෙන්මනේ කෙලවෙන්නෙ "

මං එහෙම ඇහුවම ඌ හිනා උනා..

" ඇයි යකෝ හිනා වෙන්නෙ.. පොඩ්ඩ ඇත්තං රෙද්ද උස්සන පාරට බහින උබලා ඕකටත් බැහැපංකෝ "

ඌ ආයෙම හිනා උනා..

" අයියට ඕවා මීටර් වෙන් නෑ අයියේ "

ඌ හිනා වෙලාම එහෙම කිව්වා..


ජීවිතේ අන්තම අඩියක ඉදලා කට්ට කාලා කැම්පස් ආව එකෙක්. රැග් කරලා ඒවට විරුද්ධ උනාම ජීවිතෙත් එපා කරවලා කැම්පස් එකෙන් එලවලා දාන එකටද බං නිදහස් අධ්යාපනයක් වෙනුවෙන් සටන් කරනවා කියලා කියන්නෙ.

" ඕවා ගැන කතා කරලා වැඩක් නෑ අයියේ.. අපි පස්සෙ සෙට් වෙමු.."



ඒ කතාව එතනින් ඉවර උනා...



ඒ කියන්නෙ ඌ උබලගේ ප්‍රජාවෙ නෙවෙ. ඌට නිදහස් අධ්යාපනය අයිති නෑ.. 



ආයෙම දවසක පාරක බස් එකකදි , ගිරිය කඩාගෙන. නිදහස් අධ්යාපනේ ශිෂ්‍ය ප්‍රජාව ගැන එහෙම මට කියලා දෙන්න මල්ලි කෙනෙක් ආවොත් මට උගෙන් අහන්න ප්‍ර්ශ්න ගොඩක් ඉතුරුයි..

පාරක් පාරක් ගානෙ බස් එකක් බස් එකක් ගානෙ අපිට උබලගේ ප්‍රජාව නිදහස් අධ්‍යාපනේ වටිනාකම කියලා දෙන්න මහන්සිවෙන වෙලාවෙන් විනාඩි ගානක් හරි අරගෙන උබලගෙ උන්ටම ඒ ටික මතක් කරල දියල්ලා


උබලා  එදා ඉදලා අද වෙනකම්   කොයි තරම් උබලා වෙනුවෙන් පෙනී හිටියා , කතා කරා , උද්ගෝෂන කලා කියලා කිව්වත් හොදට මතක තියාගනිල්ලා 

උබලා කවදාවත් උබලා වෙනුවෙන් කතා කරලත් නෑ... කරන්නෙත් නෑ..



Monday, February 10, 2014

ඇයි මල්ලි අවුලක්ද ?




හැමදාම එන පාරේ.. ගෙදර එන ගමන් හිටියේ..
කොහොමත් මම කලබල ටවුම මැදින් එන්න වැඩිය කැමැත්තක් නෑ. ඒ නිසා ටවුමට ඇතුලෙන් යන පාරෙන් බොහොම දුරක් ඒ වෙනකොට මම ඇවිත් තිබ්බෙ. පිටිපස්සෙන් ආව වෑන් එක එලවපු එකා හෝන් ඒක උඩ නැගගෙන පාරේ ඉඩ ඉල්ලපු නිසා මම ඌට ඉඩ දුන්නා, ඒ එක්කම පැයට කිලෝමීටර් හිතාගන්න බැරි ගානකින් ඕවටේක් කරපු ඩිලිවරි වැන් එක තව මීටර් 10ක් ඉස්සර වෙන්කොටම පාර අයිනේ උගේ පාඩුවෙ හිටපු බල්ලෙක් දඩාස් ගාල හැප්පුවා. වේගෙ කිසිම අඩුවක් නොකරපු වෑන් එක. ඊලග තප්පරේදි නොපෙනී ගියා. ( සැලකිය යුතුයි සමහර බල්ලෝ ඉන්නවා මාර්ග නීති තුට්ටුවකට මායිම නොකර පාර මැද බුදියං ඉන්න උන් මූ එකෙම එකෙක් නෙවෙයි පාරෙනුත් සෑහෙන්න ඇතින් හිටියත් වෑන් එකෙ ඕවටේක් ස්පීඩ් එකට වාහනේ කොන්ට්‍රෝල් නැති උනා)

වාහනේ වැදුන බල්ලා පාර අයිනේ වැටිලා මහා හයියෙන් විලාප තියනවා. තව වාහනේකට යට වෙයි කියලා ඌව අයින් කරන්නත් බය. මරු විකල්ලෙන් හපයිද කියන සැකේ හින්දා. මම බයිසිකලෙන් බහිනකොටම මාව පහු කරපු නවීන පන්නේ ජීප් එකක් ඉස්සරහින් නැවැත්තුවා. තප්පර ගානක් ඇතුලත ඒකෙන් බැහැලා ආවේ වයස 60ක 65ක විතර මහත්තයෙක්.

" අප්පා අහිංසකයව හප්පලා නේද ? "

ලගට එන ගමන් ඔහු ඒ විදියට ඇහුවා..

ඊලග තප්පරේදි ඔහු ආයෙම මෙහෙම කිව්වා

" බේරගන්න පුලුවන් වෙයි.. පුතා අල්ලමුද වාහනේට.. "

වෙන්න යන දේ ..හිතාගන්න අමාරු උනත් .. මම හා කියලා ලං උනා ..

"බලාගෙන හපයිද දන් නෑ,,, "

මම කිව්වෙ කෝකටත් පරිස්සමට

"බය වෙන්න එපා පුතා ඌ දන්නවා ඌට හොදක් කරන්න කියලා "

වාහනේට බල්ලා දා ගත්ත මහත්ත්යා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වාහනේ හරවලා ආපහු නුවර පැත්තට පිම්මේ ඇදුනා..

වාහනේ ගියාට පස්සෙත් මම බොහොම වෙලාවක් ඒ පැත්ත දිහා බලාගෙන වෙච්ච දේ මුල ඉදලා කල්පනා කලා..

ඒ එක්කම ලග නවත්තපු ත්‍රි වීල් අයියා කෙනෙක් මං දිහා බලලා මෙහෙම ඇහුවා

" ඇයි මල්ලි අවුලක්ද ? "

ඇත්තටම කාලෙ හැටියටනම් මේක මහා අවුලක්..


Friday, December 27, 2013

සුන්දර ප්‍රශ්න

 
 
උඹට මතකද ...?
මට ඉස්සරෝම උඹ හම්බවෙච්ච දවස..
මටත් හරියට නිච්චියක් නෑ.. ඒත්  අඩු පාඩුවක් නැතුව
ජීවිතේ මතකෙට වැටෙන කාලෙ ඉදලා
උඹ හැමදාම වගේ මට මුන ගැහුනා..
 
 
ඉස්සරෝම උඹ මුනගැහුනම
මම පුරුදු උනා අඩන්න..
මම හිතුවෙ උබට දුක හිතිලා මාව දාල යයි කියලා
ඒත් උබ නපුරෙක්
හිත අඩපු හැම වෙලාවකම 
උඹට ඒක ඔච්චමක් උනා
 
ඊට පස්සෙ උඹ මුනගැහෙද්දි
මම උඹව මග හරින්න හැදුවා
පැය ගනන් බෝක්කු උඩට වෙලා උබව අමතක කරන්න හැදුවා
ඒත් උඹ තප්පරේකටවත් මාව දාල ගියේ නෑ..


අන්තිමට මම උඹව මග හරින හැටි ඉගනගත්තා..
උඹ ඊට පස්සෙ මාව බලන්න එනකොට 
මං උබව ආදරෙන් පිලිගත්තා
උඹත් මගේම කෙනෙක් කියලා හිතුවා..
 
මට තේරුනා උඹ එකට ඩිංගක්වත් කැමති නැති බව.
අන්තිමේදි.. උඹ මට මෙහෙම කියලා කාලෙකට කලින් 
මාව දාල ගියා..
මට තාම මතකයි උඹ යද්දි කියලා ගිය වචන ටික
.............................
 
" උඹ ඒ පාර ජීවත් වෙන්න පටන් අරන් "




Saturday, November 23, 2013

මහල්ලාගේ පුත්තු



                                                        එක සීරුවට ගිනියම් වෙන පොලොව මත ඉක්මන් අඩි තබමින් බන්දුල  රිය ගාල දෙසට ඇදෙයි.  දැඩිව වැවුනු රවුල අතරින් ගලා යන දහඩියෙන් තෙත් වූ ඔහුගේ මුහුනෙන් දිස් වන්නේ දැඩි වෙහෙසකර බවකි. ඉක්මන් අඩි තබමින් රිය වෙත ලංවූ බන්දුල රියට ගොඩ වූ සැනින් වායූසමීකරණය පන ගන්වන්නට විය.

" හප්පා... පුදුම රස්නයක් නේ "

බන්දුල තනිවම මුමුනමින් ජංගම දුරකතනයට අත යවයි.

" හෙලෝ.. සඳා... දැන් තමා මීටීන් එක ඉවර උනේ. මම එන ගමන් තාත්තවත් බලාගෙන එන්නේ, දැන් මාස තුන හතරකින් ඒ පැත්තෙ ගියේ නෑ නේ "

" ඔව්.. ඔව්.. අද එනවා  ඔයා බබාව අරගන්න මං එහෙනම් තියනවා "

දුරකථන ඇමතුම අවසන් කල බන්දුල රිය පනගන්වාගෙන ප්‍රධාන දොරටුව දෙසට ඇදෙයි

බන්දුල  කුසල් ජයවරධන දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන විධායක නිළධාරියෙකි. මසකට වරක් අගනුවර මුලස්ථානයේ පැවැත්වෙන රැස්වීම සදහා පැමිනී බන්දුල ආපසු යන අතරමග තම පියාද හමුවීමට තීරණය කොට තිබිනි.

නගරයේ සිට පැය දෙක තුනක් හැල්මේ දිව ආ නවීන පන්නයේ මෝටර් රිය තාර බිදක් හෝ දැක නැති මගට හැරවූ සැනින් රිය පසු පසින් මහා දූවිලි වලාවක් නැගෙන්නට විය.

" මේවා කවදා හදලා ඉවර කරයිද මන්දා.. "

බන්දුල එලෙස තමන්ටම කියාගත්තෙ නොරිස්සුමකිනි.

අබලන් මග දිගේ තවත් දුරක් ගෙවා ආ මෝටර් රිය පැරණි ගේට්ටු කනු දෙක අතරින් ගෙවත්තට ඇතුල් කරද්දි.. නිවසේ ඉදිරිපිට වාඩි වී සිටි මහල්ලෙකු  සතුට පිරි මුහුනින් ඒ දෙසට ඇදී එන්නට විය.

ගස් සෙවන අද්දර රිය නැවැත්වූ බන්දුලද රියෙන් බැස නිවස දෙසට ඇදෙන්නට විය.

" පුතා .. ඇයි මේ හදිස්සියෙ.. "

තම  පුතාගේ හදිසි පැමිනීමෙන් සතුටට හා කුතුහලයට පත්  බන්දුලගේ පියා . නිවස දෙසට ඇදෙන බන්දුල දෙස බලමින් විමසයි.

" නෑ එහෙම මොකුත් නෑ.. කොම්පැනි එකේ මීටින් එකකට ආව යන ගමන් මෙහෙටත් ආවා.."

" එහෙනම් අද ඉදලා හෙට උදෙන්ම යන්න පුලුවන්.. දැන් හවස් වෙලාත් නේ ."

" අනේ බෑ තාත්තේ.. හෙට ආයෙම  අනුරාධපුරේ යන්න ඕන.. ඒ හින්දා අද ගෙදර යන්ඩ ඕන"

" හ්ම්.. එහෙමද "

මහල්ලාගේ මුහුනේ සතුට සැනකින් වියැකී යන අයුරු බන්දුලට පෙනේ..

" ආ... තාත්තට අලුත් යාලුවෙක් හම්බ වෙලා තියෙන්නෙ "

බන්දුල එසේ කීවෙ එතෙක් වෙලා තම පියාගේ තුරුලට වී සැපට නිදා සිටි බලල් තඩියා දැකීමෙනි.

මහල්ලාගේ මුවට නැවතත් සිහින් සිනාවක් නැගේ..

" ඔව් ඔව් .. මේකා තමා දැන් ඉතිං මගේ තනියට ඉන්න එකම එකා.. දැන් වරුවක් විතර නටලා නටලා සැපට නිදි "

බන්දුලගේ පියා තුරුලේ සැපට නිදා සිටින බලල් තඩියාගෙ හිස අතගාමින් පවසයි

" යං පුතේ ගෙට තේ ටිකක් වත් බීලා ඉමු "

" කෝ තාත්තෙ දැං සුමනසිරිලා ගෙවල් වල නැද්ද "

පියා පිටුපසින් ගෙතුලට ඇදෙන බන්දුල  අවට බලමින් පියාගෙන් විමසයි.

" ඔහේ නෑ .. සතියකට වතාවක් වගේ තමා උන්දැත් ගෙදර එන්නෙ. බන්ඩාරවෙල පැත්තෙ මොකක්දෝ කරනවා කියන්නෙ .. ඒ ගෙවලුත් දැන් පාලු වෙලා . මම විතරයි මේ මන්ඩියටම ඉතුරු උනේ "

" හ්ම්ම්... ඒකත් එහෙමද "

 " දැන් පොඩි එකා එහෙම ඉස්කෝලෙ යනවද පුතේ " 

මහල්ලා බන්දුලගේ දෑස දෙස බලමින් විමසයි

" ඔව් තාත්තේ දැන් හතර වසරෙනෙ පොඩි එකාටත් ඉතිං නිවාඩුවක් නෑ. සදා දැන්ම ඉදං ඔය මොනවද ක්ලාස් වගේකට දාලානේ ඒකයි ගිය නිවාඩුවටටවත් එන්න බැරි උනේ"


" පොඩි එකා දකින්නත් ආසයි පුතේ "

කඩවුනු දැසින් මහල්ලා මුමුනයි

බන්දුලට තම පියා ගැන ඇතිවන්නේ අනුකම්පාවකි වයසින් අවුරුදු 70කට වැඩි තම පියා දැනට අවුරුදු තිහ හතලිහක සිට වෙසෙන්නේ කාත් කවුරුත් නොමැති අනාතයෙකු ලෙසිනි. බන්දුල හා එක්කුස උපන් සහෝදරියක් වූ පවුලෙන් බන්දුලගේ අක්කා දැන් වෙසෙන්නෙ අනුරාධපුරයට ආසන්නවය.  පියා තමා සමීපයට ගැන්මට බන්දුලගේ උවමනාව පැවතියත්  බන්දුලගේ බිරිද එයට එතරම් කැමැත්තක් නොදක්වන්නේ බන්දුලගේ සොයුරියටද එම යුතුකම ඇති බව පවසමනි.  


" පුතේ මේ තේ එක බිව්වනම්  ..     "

තිගැස්සී පියවි ලොවට ආ බන්දුල දකින්නේ තමා දෙසට තේ කොප්පය දිගුකරගෙන සිටින පියාගෙ රුවය.

" ආ.. කෝ දෙන්න තාත්තේ ."

ඒ අතරේම කොහේදෝ සිට දුව ආ බලල් තඩියා බන්දුලගේ සපත්තු ලේසය හා නටන්නට පටන් ගනී.

" ආ.. ආ,. චුටී පුතා මොකෝ ඔය කරන්නෙ... "

මහල්ලා සිනා සෙමින් බලල් තඩියා තුරුලට ගනී. මහල්ලාගේ තුරුලට වන් බලල් තඩියා මහල්ලාගෙ දෑත් ලෙවකමින් පපුවෙ තුරුල් වෙයි

" ආ මෙයාගෙ නම  චුටි පුතාද ? "

බන්දුලද සිනාසෙමින් බලලා දෙස බලයි..


මම යන්නම් තාත්තේ  හෙට උදේම ආයෙ පිටත් වෙන්න ඕන..


++++++++++++++++++++++++++++++++++++++++



ගමන් වෙහෙස යන්නට නාන කාමරයට වැදී පැය බාගයක් පමන නා ගත් බන්දුල රාති ආහරයද ඉක්මනින් ගෙන නිදන කාමරය දෙසට ඇදෙන්නට විය

" මොකෝ අදනම් මහන්සි වගේ කෑවෙත් බාගෙට නේද "

බන්දුලගේ බිරිද නිදන කාමරයේ සිට විමසයි

" ඔව් සදා මාර මහන්සි"

බන්දුල ඇදට වැටෙමින් පවසයි

" මොකෝ තාත්තා කියන්නේ "

" දැන් අල්ලපු ගෙදරත් කවුරුත් නෑ .. සදා තාත්තා විතරයි තනියම "

" හ්ම්ම් .. එහෙමද ,, අක්කලා එහෙමවත් ලගදි ඇවිත් නැද්ද "

බන්දුලගේ බිරිද එසේ කිවෙ තරමක නොරිස්සුමකින් බව බන්දුලට වැටහේ .. සමහරක් විට ඔහුගේ ඊලග යෝජනාව ඇයට දැනෙන්නට ඇති බව බන්දුලට සිතේ.

" අක්කලාට අපිට වගේ නෙවෙ නෙ සදා..  මහින්ද අයියත් ලෙඩ ගානේ අක්කා ගියා මාසෙ එහෙම තියෙද්දිත් ඇවිත් ගිහින් තියනවා "

" එහෙනම් ගානක් කඩාගෙන යන්ඩ එන්ඩ ඇති "

" හැමදේම ඔහොම හිතන්ඩ එපා සදා .. දැන් ඔය කතාව ඇති මම එ ගැන බලාගන්නම් "

බන්දුලට තරමක් තද ස්වරයෙන් පවසා ඇදේ අනික් පස්ට හැරෙයි..

මද නිහැඩියාවකට පසු .. නැවත බන්දුලගේ බිරිද හඩ අවදි කරයි..

" මම තරහ යන්න දෙයක් කිව්වෙ නෑ නෙ බන්දු දැන් තාත්තා මෙහෙ ගෙනාව කියන්නකෝ.. ඔයා දවසම ගෙදර නෑ.. මමත් එනකොට හවස් වෙනවා පුතා උනත් දවසම ක්ලාස්. එහෙම උනොත් තාත්තව බලාගන්නත් කාව හරි ගන්න වෙනවා.. "

" හ්ම්ම්.. කොහොමත් ඔයා කතා කරන්නෙම ඔකෙ නරක පැත්තනෙ "

බන්දුල ඉවත බලාගෙනම පවසයි

" හරි හරි අපි කල්පනා කරලා බලමුකෝ මොනවා හරි කරන්න.. ඉතිං දැං තාත්තගේ තනියට එහෙ කවුරුත්ම නැද්ද .."

බන්දුලගේ බිරිය සැමියා දෙස බලමින් විමසයි

" ඉන්නවා.. "

" ආ.. කවුද "

" පූසෙක් "


" මොකෙක්..!  පුසෙක්.. "

බන්දුලගේ බිරිය සිනාවෙමින් සිය සැමියා දෙසට ඇදෙයි...

" ඒ මොකක්ද අනේ ඒ කතාව.. "

" මොකුත් කතාවක් නෙවෙ තාත්ත පූසෙක් හදනවා ඌ තාත්තා එක්කමයි .. ඌ තමා දැන් තාත්තගේ තනියට ඉන්නෙ.. "

" පූසොන්ට තේරෙනවද අනේ තනිකම ගැන "

සදා සිනාව අතරින්ම මුමුනයි

" ඒත් තාත්තට ඒක හොදට තේරෙනවා ඇති සඳා.. "

බන්දුල දෑස් පියාගනිමින් පවසයි..



++++++++++++++++++++++++++++++++++++++++++

ඉස්තෝප්පුවේ කෙලවරක හාන්සි පුටුවේ වාඩිවී සිටින මහල්ලාගේ තුරුලේ නිදාසිටින බලල් තඩියා නැගිට ඈලි මෑලි කඩා මහල්ලාගේ මුහුන දෙස බලයි..

ඈත ගේට්ටු කනු දෙස බලා සිටි මහල්ලා. නින්දෙන් නැගිට තමා දෙස බලා සිටින පුසා දෙස දෑස් යොමු කර හඩ අවදි කරයි


" ඇයි උබට තනිද පුතේ "














Time in Sri Lanka: