Saturday, May 5, 2012

අවුරුදු..







                                   ඉර හැරෙන්නට තව බොහෝ වේලාවක් නැත. වැස්සක පෙරනිමිති පෙනෙන්නට  ඇති නිසාදෝ   පය ඉක්මන් කර දිව යන්නන්ගෙන් නගරය පිරී ඇත. වීදිය කෙලවරක නැවතුනු සැප රියේ තොරතෝංචියක් නොමැතිව දොඩමලු වෙන පොඩි එකෙකි. පොඩි එකාගේ මව ඔහු අසනා සෑම ප්‍රශ්නයකට කුමක් හෝ කියා ඔහු සනසවන්නට වෙරදරයි.

" අම්මේ ඇයි අම්මේ අර මාමා බෑග් එකක් අරන් දුවන්නේ " ඇස් දෙකද කටද එකසේ ඇරගත් පොඩිත්තා අම්මාගෙන් විමසයි.

" ඒ මාමා ගෙදරට කෑම ගෙනියනවනේ පුතේ "

" ඉතින් අම්මේ ඒ මාමට බැරිද සේනට කියලා බඩු ගෙන්වගන්න "

" සේන ඉන්නෙ පුතේ අපේ ගෙදර වැඩටනේ , ඒ මාමලගේ ගෙදර වැඩට සේන කෙනෙක් නැතුව ඇති"

පොඩිත්තාගේ ප්‍රශ්න වල කෙලවරක් නැත 

" ඇයි අම්මේ ඒ මාමලට ගෙදර වැඩට සේන කෙනෙක් නැත්තේ "

" හා හා දැන් ඒ කතා ඇති දැන් තාත්ති ඔයාට චොකෝ අරන් එයි එතකන් හොද පුතා වගේ මේ ටෙඩියා එක්ක සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ කෙලවරක් නැති ප්‍රශ්න වැලෙන් හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව දුරකථනය සුරතට ගත්තේ සැමියාගේ පමාව ගැන විමසීමටය.

පහත් වූ රිය කවුලුවේ එල්ලී ගත් පොඩිත්තා ඔහේ  කියවමින් සිනාසෙමින් දෑතට සිරවූ පුලුන් ටෙඩියාට වද දීම අරඹා තිබිනි.


පොඩිත්තා හා මව ඇරෙන්නට  මේ  කතන්දරය දෙස  බලා සිටින තවත් අමුත්තෙකි..  වීදිය කෙලවර වැටෙහි එල්ලී ගත් අමුත්තා ආයාගත් මුවින් . රියෙහි පොඩිත්තා දෙස බලා සිටී

වයසින් පමනක් රියෙහි පොඩිත්තාට සමාන වූ  අමුත්තා.. කාශ්ටක නගරයේ තවත් සමාජ ඉස්තරයක් නිරූපනය වෙන  කොටසක පුරුකකි. නාටාමිවරයෙකුට  හා  එදා වේල වෙනුවෙන් මන්දිර වල බැලමෙහෙවර කරන්නියකට දාව  ලෝකයට පය ගැසූ  මේ අමුත්තා.. තමා ඉදිරිපිට වූ වැටෙහි එල්ලී බලා සිටින්නේ.. තමා තරම්ම වූ  රියෙහි ලැග ඉන්නා ගේ අතේ  පොඩිවෙන  පුලුන් සුරතලා දෙසය

පුළුන් සුරතලාට  වද දෙමින් සිටි පොඩිත්තාගේ දෙනෙත් හදිසියේ තමන් දෙස බලා සිටින පොඩිත්තා දෙසට යොමු විය

" අම්මේ ආං.... "

පොඩිත්තා සිය දෑත් දිගු කර සිය මවට තමන් දෙස බලා සිටින අමුත්තා පෙන්වයි

" කවුද අම්මේ ඒ "

" ඒ පොඩි ලමයෙක් නේ පුතේ "

" ඇයි අම්මේ එයා කමිසයක් ඇදලා නැතුව ඉන්නේ "

" එයාට අමතක වෙන්න ඇති පුතේ "

" එයාගේ අම්මා කෝ එයා තනියමනේ ඉන්නේ "

" අම්මා ලග ඇති පුතේ "

තමා දෙස බලා සිටින අමුත්තා දෙස තව වරක් බැලු පොඩිත්තා සිය දෑත උස්සා සහෝදර ආචාරයක් කලේ අමුත්තාට තමුන් දෙසට එන ලෙස ඉල්ලීමක් කරමිනි

පලමු දෙවන වර  මදක් පැකීලීමක් පෙන්වුවද ඊලඟ වාරයේදී වැටෙන් බැසගත් අමුත්තා සෙමින් සෙමින් නවතා තිබෙන රිය දෙසට කිට්ටු විය.

" අපි සෙල්ලම් කරමු "

අමුත්තා රිය වෙත ලංවූ සැනින් පොඩිත්තාගෙන් ඇරයුමකි

" දැන් බෑ පුතේ දැන් තාත්තා එයි.. අපි දැන් සීයලාගේ ගෙදර යන්න ඕන නේ සෙල්ලම් කරන්න ගියොත් වෙලා මදි වෙයි ඔන්න "

" ඔයා ඇයි කමිසයක් ඇදලා නැත්තේ " 

" කමිසේ හේදුවා තාම වේලිලා නෑ "

" ඉතින් වෙන එකක් අදින්නකෝ "

" මට වෙනින් කමිස නෑ එකයි තියෙන්නෙ "

පොඩිත්තා අයාගත් දෑසින් මව දෙස බලයි

" ඇයි අම්මේ එයාට වෙන කමිස නැත්තේ "

පොඩිත්තාගේ ප්‍රශ්න හමුවේ හෙම්බත් වී සිටි පොඩිත්තාගේ මව වහා පොඩිත්තාගේ කතාව වෙනතකට හරවයි


" අපි අවුරුද්දට සීයලා බලන්න ගමේ ගියාම ඔයාට පුලුවන් ඕන තරම් සෙල්ලම් කරන්න "

පොඩිත්තාගේ මුහුන හදිසියේ  අමුතු ආලෝකයකින් පිරේ

වහා අලුත් මිතුරා දෙසට හැරුනු පොඩිත්තා හඬ අවදි කරයි

" ඔයා යන් නැද්ද සීයලගේ ගෙදර  අපිනම් යනවා තාත්තට ගොඩක් නිවාඩු හම්බ උනා නේ අපි එහෙ ගිහින් ගගෙත් නානවා "

උඩ බිම බලමින් රියෙහි අසිරි විදිමින් සිටි අමුත්තා   අදුරු මුහුනෙන් යුතුව පොඩිත්තාට පිලිතුරු බදී

"අපේ ගම ඉතින් මෙහෙනේ. අපිට සීයා කෙනෙක් නෑ . අනික තාත්තට අවුරුද්දට නිවාඩු නිසා සල්ලිත් නෑ අවුරුදුත් නෑ."

පොඩිත්තා වහා මව දෙස බලයි 

" ඇයි අම්මෙ එයාගෙ තාත්තට නිවාඩු නිසා සල්ලි නැත්තේ අපේ තාත්තට නිවාඩු උනාට සල්ලි තියනවනේ මෙයා බොරු කියනව නේද අම්මේ "

"ඔයා බොරු කියන්නෙ "

" බොරු නෙවෙ අවුරුද්දට කඩ වැහුවම ලොරි එන් නෑ නෙ ඉතින් තාත්තට වැඩ නෑ ඉතිං සල්ලි නැ නේ එතකොට  "

 පොඩිත්තාට මේවා මහා ප්‍රෙහේලිකාවකි , පිලිතුරක් බලාපොරොත්තුවෙන් පොඩිත්තා විටෙක ම්වත් විටෙක් අමුත්තා දෙසත් බලයි


" පුතේ ඔය වීදුරුව වහන්න දූවිල්ල එනවා "

වැසී යන වීදුරුව අතරින් බොද වෙන පොඩිත්තාගේ රුව දෙස යාන්තමින් බැලු අමුත්තා තමන්ට පුරුදු මාවත ඔස්සෙ වීදි කෙලවරට පිය නගන්නට විය

රිය තුලට වූ පොඩිත්තා දෑතේ වූ  පුලුන් සුරතලා ගුලි කරමින් තම සිතේ වූ අන්තිම ප්‍රශ්නයත්  මවගෙන් විමසි‍ය

" අම්මේ එයා බොරු නේද කිව්වෙ එයාලටත් අවුරුදු නේද"

පිරී ඉතුරුන වීදි තුල සැමියාගේ රුව සොයමින් සිටි පොඩිත්තාගේ මවගෙන් දෙවරක් නොසිතාම පොඩිත්තාගේ ප්‍රශ්නයට පිලිතුරක් ලැබුනි

" ඔව්  පුතේ එයාලටත් අවුරුදු "


_________________________________________________


Thursday, March 1, 2012

යන්තරේ



ගත බදු දී.. මුදල් හොයන
යන්තරයක් කොටු කරගෙන

රාලහාමි මහ හයියෙන්
මොර දෙනවා පුප්පාගෙන.......
පර බැල්ලියේ වනචාරියේ
අඩු කඩනවා උඹගේ අද

හිනා වෙවී හඬනා උඹේ හිත පේනවා යස අගේට
කාකි ඇදුම් උනු වෙන් නෑ කදුලු බිංදු උනු උනාට
මොණර කොලෙන් තේ උගුරෙන් දඩේ වහන උන්ගේ හිතට
උඹේ කදුලු බර වැඩි නෑ ඒ මහ හිත් යට කරන්න

අතේ මිටේ කාසි පනම්
අතට පයට දැසි දස්සන්
හිටියා නම් අනේ ඉතින්
ඔය යන්තරේ ලොක් කරගෙන
පෝය හතම පන්සලේම
උඹ ඉදීවි යස අගේට
..........


_______________________________________________


Wednesday, February 29, 2012

සියුමැලි නොවුනු කලුගල්


සිතට නොදැනෙන ඇසට නොපෙනෙන
අපේ ජීවිත ගැන කතා
වාරු ඇති තුරු දෑත රැක ගයි
ජීවිතේ පණ නල සදා

ජීවිතේ නපුරුයි රුදුයි
එනමුත් තැවෙන්නේ නෑ සදා
අවුකනත් කලුගලකි
කැටයම් කර නොබින්දා නම් එදා

හිරුගේ උනුසුම පුරුදු හිස මත
දුක රැදෙන්නේ නෑ සදා
නුඹේ මැදුරෙත් මගේ කදුලිනි
බිත්ති බැදුනේ පෙර එදා


_____________________________________________________



Thursday, February 16, 2012

පාට බැලුන්




මලානික හිරුගේ අන්තිම කිරනත් මුහුදේ කෙලවරකින් ගිලා බහින හැටි සෝමසිරි බලා සිටියේ  ජීවිතයේ තමුන්ට වඩාත් හුරුපුරුදු ඉසව්වක සිටය. තිස් පහකට එහා ගෙවුන මේ ජීවිතයෙන් බොහෝ පංගුවක් මේ මහා වෙරළ කෙලවරක ගෙවන්නට සෝමසිරි තීරනය කලේ  ජීවිතයේ බොහෝ තැන්වලට ගැලවෙන්නට මෙන්ම  හිරවෙන්නටද  වූ කල තමාට පිහිට උනු එකම ඉසව්ව මේ වෙරළ වූ නිසාවෙනි.... 


රළ නැගෙන බිදෙන හඬ  අතරේ පොළව දෙදරවාගෙන රේල්ලුවක් හැල්මේ දුවයි.   මලානික  අහස දඩබ්බරයැයි විටෙක සෝමසිරිට සිතේ .. නැවත යාමට සිතක් නැතත් අහස විසින් නවාතැන්පලට පාර පෙන්වා ඇත.


දෑතට බරදී හිඳ සිටි ගල් කුලින් නැගිටගත් සෝමසිරි.  සෙමින් වෙරළ තීරයෙන් එපිටට අඩි තබන්නට විය..

" මහත්තයා........ ලේන්සුව ........... "

ආගන්තුක කටහඬකින් තිගැස්සුනු සෝමසිරි වහා හැරී හඩ ඇසුනු දෙසට විමසිලිමත් විය

අපිලිවෙල කොන්ඩයකින් , නොගැලපෙන කලිසමකින් , ගැලපෙන සිනාවකින් යුතු  කොලූ ගැටයෙක් සෝමසිරිගේ ලේන්සුව එක් අතකින් දිගු කොට ගෙන සිටී. කොලුවාගේ අනික් අතේ ඉහලට ඉපිලෙන බැලුන් පොකුරකි..

" අහ්... ලෙන්සුව අමතක උනා .. ගොඩක් ස්තූති.. "

අපිලිවෙල කොලු  ගැටයාට  සිනාවකින්ද සංග්‍රහ කල සෝමසිරි ලේන්සුව සාක්කුවට  රුවා උඩු සාක්කුවේ වූ රුපියල් විස්සෙ කොලයක් කොලු ගැටයා දෙසට දිගු කලේ කොලුවා ගැන අනුකම්පාවක් ඒ වන විටත් සෝමසිරිගේ හිතේ පහල වී තිබුන නිසාවෙනි ... 

" මහත්තයට වැඩේ පාඩුයි .."

කොලුවා නැවත සිනාවෙයි..

" ඒ මොකද "

"ලේන්සුවක් රුපියල් විස්සක් වෙන්නේ නෑ නේ " 

කොලුවා නැවත සිනාවෙයි . සෝමසිරිගේ මුවගටද සිනාවක් නැගේ....

" හරි එහෙනම් රුපියල් විස්සට බැලුමක් දෙන්න " 

" එක බැලුමක් පහයි මහත්තයට බැලුම් 4ක් දෙන්නද නැත්තං බැලුමක් එක්ක ඉතුරු සල්ලි දෙන්නද "

සෝමසිරිට කොලුවා ගැන ඇතිවූයේ දුකකි .  සමාජයේ බොහෝ තැන්වල ගැටෙන සෝමසිරි  සමාජයේ හයි කාරයන්  , එදා වේල ගැටගහගන්නන් මෙන්ම  බෝක්කු පාලුවන් , පික් පොකට් කාරයන්ද  එක සේ දැක  ඇත . ඒ ජීවිත කිසිවකට සමාන නොවූ මේ කොලු ගැටයා ගැන සෝමසිරිගේ හිතේ ඇති වූයේ  අනුකම්පාවකි.. 

නැවතත් මුවගට සිනාවක් නගා ගත් සෝමසිරි කොලු ගැටයා දෙසට සමීප විය

" පුතා කොහෙද ඉන්නෙ  "

" සිට්ටු වත්තේ"

" ස්කෝලෙ යනවද "

කොලුවා නැවත සිනාසෙයි

" යන්ඩනම් තිබ්බා මහත්තයා හැබැයි එහෙමනම් කන්ඩ වෙන්නෙ නෑ "

" හ්ම්ම්ම්.....  අම්මා තාත්තා මොකද කරන්නේ "

" තාත්තා නෑ ...  අම්මා  හිඟා කනවා "

" මොකක් හිඟා කනවා "

" ඔව්.. කුලී වැඩත් කරනවා ගොඩක් දවසට වැඩ හම්බවෙන්නේ නෑ . එදාට අම්මා ගිගමනේ යනවා "

සෝමසිරිගේ දෙනෙත් අතරේ කොලුවාත් මහ මුහුදත්  අදුරත් මැදිවී ඇත.  ජීවිතයේ අනේක දුක්  විදින සමාජයක පංගුකරයෙකු  සෝමසිරි හා කතාබහකය.  සමාජය විසින් තලන පෙලන ලදුවද කොලු ගැටයා සිනාමුසු මුහුනින් ලැබුනු ජීවිතය පිලිගෙන ඇත්තාක් මෙන් ඔහුගේ හැසීරීම  දෙස බලා සිටින සෝමසිරිට හැගේ.

" පුතා මොකද කරන්නේ .. මේ බැලුම් විකුනන එක විතරද "

" නෑ කොටුව් කඩේක උදේට වැඩ කරනවා. හවසට මෙතනන්ට එනවා "

" මෙතන බිස්නස් සරුද "

නැවතත් සුපුරුදු සිනාව පාමින්.. එක් අතක්  කලිසම් සාක්කුවට යවන කොලු ගැටයා  ගුලි කරගත් නෝට්ටු කොල කිහිපයක් සෝමසිරිට පෙන්වයි.

" මේ තියෙන්නෙ මහත්තයො පුපුරන සල්ලි "

" පුපුරන සල්ලි කිව්වෙ " සෝමසිරි විමතියෙන් ප්‍රශ්න කරයි

" පුපුරන සල්ලි කිව්වෙ මහ්ත්තයෝ පොඩි බබාල වැඩි දවසට ටිකක් සරුයි බැලුමක් අරන් විනාඩි 5න් ඒක පුපුරවගන්නවා , ඉතින් ඒ ලමයි අඩන නිසා අම්මාලා තාත්තලා ආයෙම බැලුමක් අරන් දෙනවා"

සිනාවෙන කොලු ගැටයා දෙස බලාගෙන සෝමසිරිද සිනාසෙයි

"පුපුරන සල්ලි" සෝමසිරිද එවදන මුවින් පිටකලේ කොලු ගැටයා එහි අර්ථය ලබා දුන් අයුරු නැවතත් සිහි කරමිනි.

" කොහොම වුනත් ඔයාලට සරුයි නේ.. මෙතෙන්ට ලමයි කී දෙන්ක් එනවද "

" මොන සරුද මහත්තයා අපි ජීවත් වෙන්නේ මහත්තයලා විසි කරන සල්ලි වලින් "

"විසි කරන සල්ලි වලින් කිව්වෙ "

" මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්... දැන් මහත්තයා මගෙන් බැලුවමක් ගත්තෙ වැඩකට නෙවෙ නේ. ඒ වගේම මෙතෙන්ට එන ගොඩක් අයත් බැලුම් ගන්නෙ නිකං කරන්න දෙයක් නැතුවට. හැබෙයි මහත්තයෝ අපි වේලක් කන්නේ මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්"

කොලුවා දිගටම කියවයි කොලුවා ඉදිරියේ ලදරුවකු වූ සෝමසිරි කොලුවා දෙස ආයසයෙන් බලා සිටී

"දැන් බලන්න මහත්තයෝ අපේ අම්මා දුක කිය කිය රුපියලක් ඉල්ලුවාම නොදෙන මිනිස්සු  මං ලගට ඇවිත් බැලුම් අරන් පුපුරවනවා. 
අතන තියන කෝපි හට් එකට ගිහින් කෝපි එකක් බීලා වෙටර්ට රුපියල් පනහ හැට ටිප් දෙනවා.  ඉතිං අපිට කොහේ සරු වෙන්නද මහත්තයෝ."

අදුරට කොලුවාගේ මුහුන හරි හැටි නොපෙනේ . අදුරේ වුවත් කොලුවාගේ අතින් ඉහලට ඉපිලෙන  බැලුම් පාටින් දිදුලයි. 

දූවිලි අවුස්සමින් පැමිනි බස් රියක් රිය ගාලේ නතර කරනු පෙනේ කොලුවාගේ දෙනෙත් ඒ දෙසට යොමූ වේ.

මහත්තයා අන්න සෙට් එකක් ආවා මං ඒහෙට යනවා මහත්තයට බැලුම් 4ක් දෙන්නද ..

"එපා.. පුතා සල්ලි තියාගන්න "

"එන්නම් මහත්තයා .." සුපුරුදු සිනාවෙන්ම සෝමසිරිට සංග්‍රහ කල කොලු ගැටයා හැල්මේ බස්‍ රිය දෙසට දිවයනු පෙනේ.


මහ මුහුදේ ඈ..ත කෙලවරක කුඩා එලියක් දැල්වෙනු නිවෙනු පෙනේ. ඇතැම් විටක එය ඔරුවක් විය හැක.  සුපුරුදු මගට පා හරවාගත් සෝමසිරි නවාතැන්පල කරා පා යොමු කරවන්නට විය.

මද දුරක් ඇවිද ගිය සෝම සිරි කොලු ගැටයා සිටින ඉසව්ව දෙසට නෙත් යොමන්නට විය 

කුඩා දරුවකු වඩාගත් තැනැත්තෙක් කොලු ගැටයාගෙන් බැලුමක් මිලදී ගනිමිනි සිටිනු පෙනේ..

සෝමසිරිගේ මුවඟට සිනාවක් නැගේ

" පුපුරන සල්ලි "


______________________________________________________



Sunday, January 29, 2012

අපාය

සිරිදාස මලේ හදිස්සියෙ...




     සිකුරාදා දවසක පාන්දර බලද්දි නින්දෙන්ම සිරිදාස පරලොව ගිහිල්ලා තිබුනා.... සිරිදාසත් ඒ බව දැනගත්තෙ තමුන්ගෙ මිනිය බදාගෙන ගෙදර උන්දලා අඬනවා දැක්ක වෙලේ. සිරිදාස ඒ වෙනකොට වහලේ යටලීයටකට වෙලා තමුන්ගෙ සරීරෙ දිහා බලාගෙන නයා නැතිවුන  අහිගුණ්ඨිකයා වගේ මොනා කරන්නද කියලා හිත හිත හිටියෙ.

ජීවිතේ කවමදාවත් තිබ්බට පාවිච්චි නොකරපු සිරිදාසගේ මොලේ ඒ මේ අත හරව හරව කල්පනා කලත් වුනේ මොකක්ද කියලා සිරිදාසට තේරුම් ගන්ඩ බැරි උනා. තේරුන එකම දේ තමන් මැරිලා කියන එක සිරිදසට තේරුනත් ඒක ඇත්තක්ය කියලා හිතන්න සිරිදාස කැමති උනේ නෑ.  මොනා උනත් සිරිදාස ලාවට වගේ අත කොනිත්තල බැලුවා මේක හීනයක්ද කියලා.


"ඌයි "


සිරිදාසට රිදුනත් හීනෙන් ඇහැරුනේ නෑ.

" මැරිලම තමයි "

සිරිදස තමුන්ටම කියාගත්තේ හිරකරගෙන හිටපු මහා දුකක් පිටකරගෙන . ඒත් එක්කම කන ගාවින් තවත් කටහඬක් මතු උනා

" මොකෝ හීනයක්ද කියලා බලනවද "

සිරිදාස ගැස්සිලා ඒ සද්දෙ ආව දිහා බැලුවා  ටිකක් අමුතු විදියට ඇදගත්ත මනුස්සයෙක් තමුන් දිහා බලාගෙන හිනාවෙනවා . තරු , පටි , පිත්තල පාට බොත්තං  . පොඩි තොප්පියකුත් දාගෙන පොඩ්ඩක් විතර පොලිස් කාරයෙක් වගේ .




" දැන් ඉතිං කල්පනා කරලා වැඩක් නෑ ... මැරිලම තමයි .. හත් දවස , තුන්මාසෙ , වැඩිම උනොත් අවුරුද්ද ඉන් පස්සෙ තමුසෙ ගැන තමුසෙටවත් මතකයක් නෑ . "

අමුත්තා දිගටම කතාව .. සිරිදාස කට ඇරගෙන ඔහේ ඒවා අහගෙන ඉන්නවා.

" ඔහේ කවුද " අන්තිමේදි සිරිදාස අමුත්තගෙන් ඇහුවා.

" මම ..  මම තමයි තමුන් මලාට පස්සෙ යන තැනට එක්ක යන්නේ "

" මොකක් " සිරිදාසට උගුර කට වේලුන ගතියක් දැනුනා.

" ඒ කියන්නෙ දිව්‍ය ලෝකෙද  "

" හහ් හහ් හා හඃ " අමුත්තා මහ හඩින් හිනා උනා

" ඒකනම් කියන්න බෑ ගොයියෝ ඒකට සිස්ටම් එක  බලන්න වෙනවා "

" සිස්ටම් එක  ඒ මොකක්ද ඒ "  සිරිදාස ආයෙම සැරයක් කට ඇරගත්තා.

" සිස්ටම් එක කියන්නෙ ඔහෙලගෙ විස්තර තියන තැන. කලින් නම් තිබ්බෙ පොතක්  ඒක කරදරයි කියලා  ලොක්කා ඔක්කොම කොම්පියුටරයිස් කලා . දැන් එකවර 100ක් ආවත් පට් පට් ගාලා විස්තර ටික බලලා ටිකට් එක දෙනවා ."

" මොකක් ඒ කියන්නෙ දිව්‍ය ලොකේ දැන් කොම්පියුටර් කරලද "

" මන් දැන් කලිනුත් කිව්වනේ මනුස්සයෝ ඒ දිව්‍ය ලෝකෙ නෙවෙ එතනින් තමයි තමුන් යන්නෙ දිව්‍ය ලොකේ ද අපායටද කියලා විස්තර දෙන්නෙ. හරියටම කියනවනම් එතන තමයි  ' ලෝක හුවමාරු මධ්‍යස්ථානය' තේරුනාද "

සිරිදාසට තමුන්ව නිකං කරකවලා අත ඇරපු බබරයක් කියලා හිතෙන තරමට මොලේ විකාර වෙලා . අන්තිමේදි ඇඩුම් හඩකින් සිරිදාස ආයෙම තමුන්ගේ කට හඩ අවදි කලා

" මේ බුදු අයියේ ඇත්තටම මං මැරිලද බං "

අමුත්තා බොහොම අනුකම්පාවෙන් සිරිදාස දිහා බැලුවා

" ඔව් ලොක්කෝ  හරියටම කියනවනම් පාන්දර 3.20 හදිසි පපුවෙ අමාරුවකින් තමුන් මැරුනා. මට එස්. එම් .එස් ඇලර්ට් එක ආව ගමන් මන් මේ ආවෙ  . දැන් ඉතින් මෙතන හිටියා ඇති  පරක්කු උනා දැන් යමු "

" කොහොමද යන්නේ "

" මගෙ අතිං අල්ලගන්නවකො "

සිරිදාස  අමුත්තගේ අතිං අල්ලගත්තා. අමුත්තා තමුන්ගේ අතේ තිබුන ඔරලෝසුවක් වගේ එකක් මොන මොනවද කලා

"දැන් හරි  "

අමුත්තා එහෙම කිව්ව ගමන් සිරිදාසට නිකං ඇස් දෙක පියවෙනවා වගෙත් තමුන්ව පාවෙලා යනවා වගෙත් දැනුනා . ඇස් ඇරලා බලනකොට සිරිදාස උන්නේ මහ විසාල ගොඩනැගිල්ලක් ලග . සිරිදාසට එකපාර මතක් උනේ ඇමරිකාවෙ ධවල මන්දිරේ


තමුන් එක්ක ආව අමුත්තා මන්දිරේ දිහාට යනවා දැක්ක සිරිදාස අමුත්තා ලගට දුවලා ගියා. 

" මේ ඇමරිකාවද අයියේ "

" පිස්සුද හලො කට වහං එනවා මං පිටිපස්සෙන් "

සිරිදාසත් කට වහගෙන අමුත්තා පස්සෙන් වැටුනා .. මන්දිරේ දොර ලග ආරක්ශාවට ඉන්න කෙනා ලග අමුත්තා නතර උනා . 

" අදත් වැඩ වගේ "

දොරටුපාල අමුත්තා එක්ක කතාවක් සිරිදාසත් හතර අතට ඇස් කරකව කරකව වෙන දේවල් දිහා බලන් ඉන්නවා.

" ඔව් අදත් වැඩ මෙයාගෙ ටිකට් එක දෙන්ඩ යනවා ගිහින් එන්නම්කෝ "

දොරටුපාලගෙන් සමු ගත්ත අමුත්තා මන්දිරේ ඇතුලට ඇවිදගෙන ගියා සිරිදාසත් වලිගේ වගෙ පස්සෙන් වැටුනා. ඒ මන්දිරේ බොහොම කා‍ර්ය බහුලයි . ඉන්න හැම කෙනාම බොහොම උනන්දුවෙන් වැඩ. කොරිඩෝවක් පහු කරගෙන ඇවිදගෙන ආව සිරිදාසල කවුන්ටරයක් වගේ තැනක නතර උනා. බොහොම හැඩට ඇදගත්ත ගෑනු දරුවෙක් එතන වැඩ. තුන් හතර දෙනෙක් පෝලිමේ



" කවුද බං අයියේ ඒ "

සිරිදාස කට කනේ තියාගෙන අමුත්තා දිහාට හැරුනා

" නොදකින් විතරක් මලාට පස්සෙවත් ටිකක් සංවර වෙයංකෝ . තියන ලකුනු ටිකත් කපා ගන්නේ නැතුව ඔතනින් ෆෝර්ම් එකක් අරන් පුරවලා දෙනවා  එතකොට තමුන්ගෙ විස්තර බලලා තමුන් යන තැන දැනුම් දෙයි "

අමුත්තාගේ කතාවට ඔලුව වනපු සිරිදාස කවුන්ටරේ පැත්තට හැරුනා.. පෝලිමේ තුන් හතර දෙනෙක් හිටියත් සිරිදාස කෙලින්ම නතර උනේ . කවුන්ටරේ මුල . කවුන්ටරේ හිටපු ගෑණු ලමයා හිනාවෙලා සිරිදාස දිහා බැලුවා.

" මහත්තයා ලංකාවෙන් නේද "

" ඔව් කොහොමද දැනගත්තේ " 

" පෝලිමේ තුන් දෙනෙක් ඉද්දිත් පෝලිම පැනලා ආව නිසා "

ගෑණු ලමයා හිනාවෙලා කිව්වා ලැජ්ජාව සාක්කුවට දාගත්ත සිරිදාස පෝලිමේ කොනට ආවා. කොහොමෙන් හරි ෆෝර්ම් එක අරගත්ත සිරිදාස  තමුන් එක්ක ආව අමුත්තා කොහෙද කියලා හොයන්න ගත්තා. අමුත්තා ඒ වෙනකොටත් පුටුවක ඉදගෙන සිරිදාස දිහා බලාගෙන ඉන්නවා. සිරිදාස කෙලින්ම නැවතුනේ අමුත්තා ලඟ.

" පටන් ගන්නකොටම ගම කා ගත්තා නේද. දැන් ඉතිං කමක් නෑ ඕක ඉක්මනට පුරවනවකෝ "

සිරිදාස තමුන් අතේ තියන කොලේ අරන් පුරවන්ඩ පටන් ගත්තා

විස්තර ටික පුරවගෙන ගිය සිරිදාස අමුත්තා දිහාවට හැරුනා

"දැන් මේකෙ කරපු පින් ලියන්නේ මොන තැනද . මේකෙ ආගම මොකක්ද කියලා විතරනේ තියෙන්නෙ "

" පිං "  හහ් හහ් හා.....  අමුත්තා ආයෙමත් හිනාවෙන්න පටන් ගත්තා
" මොන පින් ද "

" ඇයි දාන දුන්න ඒවා , පන්සල් වලට ගියපුවා, පෝයට සිල් ගත්ත ඒවා ,"

"ආ ඒවා පින් ද ... , හහ් හහ් හා... එතකොට කියනවා බලන්න තමුන් ඔය ජීවත් වෙලා හිටපු කාලෙ තවත් මිනිහෙක්ට ජීවත් වෙන්ඩ උදව් වෙන විදියෙ දේකට කරපු උදව්වක් . එහෙමත් නැත්තං අඩු ගානෙ තවත් මිනිහෙක්ට ජීවිතේ එපා නොකර ඉන්ඩ කරපු වැඩ දෙක තුනක්  "

සිරිදාස ආයෙමත් බිම බලා ගත්තා

" කට වහන් ඕකෙ තියන ටික පුරවනවා "

" එතකොට මෙතෙන්ට හැම රටකින්ම හැම ආගමකින්ම මිනිස්සු එනවද "

" ඔව් හැම රටකින්ම හැම ආගමකින්ම එනවා .. ආගමයි රටයි අපි බලන්නේ ඔය ෆෝර්ම් එක පුරවන්ඩ විතරයි. ඒකත් සිස්ටම් එක දැම්මට පස්සෙ. "

" එතකොට අපි කරන පිං බලන්නෙ නැද්ද "

" මේකනේ ගොයියෝ ඔය මනුස්ස ලෝකෙ අය ගොඩක් පින් කියලා හිතාගෙන කරන දේවල් පින් කියන ගොඩට වැටෙන් නෑ කොටින්ම කියනවනම් ඔයාල පින් කියලා හිතන ඒවා  පින් පව් මනින ලිස්ට් වල පහලටම වෙන්න එකක් දෙකක් තිබ්බට  අනික් ඒවා පැත්ත පලාතකවත් නෑ"

" යකෝ මේක මාර වැඩක් නේ "

" මෙතෙන්ට ආව හැම කෙනාම ඔය ෆෝර්ම් එක අතට අරන් කියනේ ඕක තමයි"

"හරි හරි  ඕක පුරවලා දෙනවකෝ. ඉක්මන් කරලා "

සිරිදාස ආයෙමත් ෆෝර්ම් එක පුරවන්න පටන් ගත්තා. අමුත්තා ඒ අතරේ නැගිටලා කොහෙටදෝ යන්න ගියා . ෆෝර්ම් එක පුරවපු සිරිදාස කවුන්ටරේට ඒක බාරදීලා ආයෙම තමුන් හිටපු තැනට ආවා.

විනාඩි කිහිපයකට පස්සෙ අමුත්තා කොලේකුත් අරගෙන  සිරිදාස හිටපු තැනට ආවා. 

" හා ඔන්න යන්න ඕන තැන ඇවිත් තියනවා "

"කොහෙටද දිව්‍ය ලෝකෙ නේද "

" ම්හු කොරන්න දෙයක් නෑ ලොක්කෝ සිස්ටම් එකේ හැටියට අපාය තමයි සිලෙක්ට් වෙලා තියෙන්නෙ "

" මොකා .. ඒක වෙන්නෙ කොහොමද  මං කොච්චරක් දාන දීලා ඇද්ද . හැම පෝයටම සිල් ගත්තා , වෙසක් පෝයට , පන්සලේ ආධාර පත්තර කීයක් නම් සම්මාදම් උනාද . ලොකු හාමුදුරුවෝ මට හැමදාම කිව්වෙ මං උපදින්නේ දිව්‍ය ලෝකෙ කියලා. "

" මං දැන් එකපාරක් කිව්වනේ ඔහේලා හිතන ක්‍රමේට නෙවෙ මෙහෙ වැඩ කරන්නෙ කියලා.. දැන් ඉතිං කරන්න දෙයක් නෑ යමු.. "

" අනේ අයියේ මේක කොම්පියුටර් ජිල්මාට් එකක් වෙන්න බැරිද "

" මේ..... මගෙන් මොකුත් නාහ එනවා මගෙ පස්සෙන් "

බිම බලාගත්ත සිරිදාස ආයෙම අමුත්තාගේ පස්සෙන් වැටුනා..
ටික දුරක් ඇවිදගෙන ආව අමුත්තා ලොකු දොරක් ලග නැවතුනා එතන පහලට ඊතලයක් ගහලා තිබුනා 

"මේ මොකක්ද මේ " 

" මේක තමයි අපායට යන ලිෆ්ට් එක "



 අමුත්තා පහලට තිබුන බොත්තමක් තද කලාම ලිෆ්ට් එකේ දොර ඇරුනා 

"යමු " අමුත්තා ඉස්සර උනා සිරිදාසත් පස්සෙන් වැටුනා  ඇතුලට ගිය අමුත්තා පහලටම වෙන්න තිබුන බොත්තම තද කලා ලිෆ්ට් එක හෙමින් පහලට යන්න ගත්තා.

" අනේ අයියේ උන් මට වද දෙයිද අයියේ .."

" කවුද "

"යම රජ්ජුරුවෝ " 

" දැන් යම රජ්ජුරුවෝ කියලා කෙනෙක් නෑ බන් දැන් ඉන්නෙ සභාපති කෙනෙක් "

" මොකා" 

" ඔව් .. රජ පාලනය උඹලගේ රටට වගේම මෙහෙටත් හරි ගියේ නෑ අන්තිමට   සභාපති කෙනෙක් පත් කලා නිල කාලය අවුරුදු 5යි  දැන් ඉන්න මනුස්සයනම් හොදයි."

"එතකොට යම පල්ලෝ උන් වසයිද "

" යම පල්ලෝ ... යමපල්ලෝ මෙහෙ නෑ ඉන්නෙ  ' යම ඔෆිසර්ලා ' යම පල්ලා කියන එක වෘතීයට නිගා වෙනවා කියලා උන් නම වෙනස් කරගත්තා. "

කතාව අතරතුර ලිෆ්ට් එක ගමනාන්තයට  ඇවිත්


"හා දැන් අර පැත්තට යමු " අමුත්තා ආයෙමත් ඉස්සර උනා .

ඇවිදගෙන ඉස්සරහට ගිය අමුත්තා දොරක් ලග නැවතුනා.. 

" හා දැන් ඉතින් ඇතුලට ගිහින් යම සභාපති හම්බවෙලා තමුන්ට නියම කරන දේ අහගෙන එනවා "

"අනේ අයියේ අයියට මම කියන ඕනම දෙයක් දෙන්නම් මාව බේරලා දෙනවකෝ මගෙ ලග තියන හැම දෙයක්ම දෙන්නම් "

" මං කිව්වෙ දැන් වත් තේරෙනවද මෙහෙට එන්ඩ උනේ ඇයි කියලා හැම පෝයටම පන්සලේ හිටියට වැඩක් නෑ "

සිරිදාස පුරුදු විදියටම බිම බලා ගත්තා

" අනේ අයියේ අයියත් යමුකෝ .."

" ඒ අහවල් මගුලකටද .. මෙහෙ ඒවා තහනම්  ඉක්මනට යනවා "

සිරිදාස බයෙන් බයෙන් දොර ලගට ගියා .. මොකා උනත් යකෙක් නේ සභාපති කියලා නම වෙනස් උනාට , සිරිදාස තමුන්ටම කියාගත්තා . සිරිදාස දොරට තට්ටුවක් දැම්මා

" එන්න ඇතුලට "

ඇතුලෙන් කටහඬක් ආවා.. සිරිදාස බයෙන් බයෙන් දොර ඇරගෙන ඇතුලට ගියා. ඇතුලේ පිලිවෙලට ඇදගත්ත මහත්තයෙක් ටයි කෝට් දාල. සිරිදාස උඩ බිම බැලුවා . 



" යම රජ්ජුරුවෝ ඔබ තුමාද "

" නෑ .. මං යම සභාපති " මහත්තයා හිනා වෙලා කිව්වා 

" ඉදගන්න " සිරිදාස බයෙන් බයෙන් පුටුවේ ඉද ගත්තා

" දෙන්න බලන්න ටිකට් එක "

සිරිදාසගේ ටිකට් එක ගත්ත යම සභාපති ටිකක් වෙලා ඒක දිහා බලන් හිටියා 

"හ්ම්ම් .. හරි සිරිදාස මහත්තයා කරපු කියපු දේවල් නිසා එන්න උනේ මෙහෙට දැන් ඉතින් අපි ඒ කරපු වැරදි හරි ගස්ස ගන්න ඕන "

" අනේ බුදු මහත්තයෝ මට වද දෙන්න එපා . ඔයාලට වැරදිලා මං පව් කරලා නෑ "

" හා.. හා.. සිරිදාස මහත්තයා බයවෙන්න එපා කවුද කිව්වෙ වද දෙනවා කියලා "

" ආයෙ මොනවා කියන්නද . මේ අපාය නේ "

" ඉතිං... "

" ඉතිං කියන්නෙ . දැන් මාව කටු ඉබුලෙ නග්ගයි . ලෝදිය පොවයි , මාව දෙකට ඉරයි , කෑලි කපයි "

" බුදු අම්මෝ... " සභාපති තුමා ඇස් දෙක උඩ තියාගත්තා

" කවුද එහෙම කරන්නෙ "

" ඔබතුමාලනේ.. නැතුව අපායේ කිරි පොවනවද "

" ඉතිං සිරිදාස මහ්ත්තයෝ මං ඔහෙලට එහෙම කලොත් ඔක්කොටම කලිං අපායට එන්නෙ මමනේ "

සිරිදාස ආයෙමත් සැරයක් ස්භාපති තුමා දිහා බැලුවා

" යකෝ ඒකත් ඇතතනේ " සිරිදාසට එහෙම කියවුනා

"දැන් එතකොට මහත්තයෝ මෙහෙ ඔය එක වදයක් වත් දෙන්නෙ නැද්ද "
" නෑ .. අපි ඔය කිසි දෙයක් කරන් නෑ "

" එහෙනම් අපායෙ මොනවද කරන්නෙ "

" මෙහෙමයි සිරිදාස මහත්තයෝ. ඔයාල කරපු වැරදි හදාගන්න හැටි . ආයෙ වැරදි නොකර ජීවත් වෙන හැටි මෙහෙදි උගන්වනවා කොටිනම කියනවනම් මේක නිකං පුනුරුත්තාපන කදවුරක් වගේ "

" නෑ.... " සිරිදාස ආයෙමත් කට ඇරගත්තා

" ඒ කියන්නෙ වදයක් දෙන්නෙම නෑ "

" නෑ...  උදේ හවස දේශන තියනවා , පරීක්ශන තියනවා ඒවා කරල සාර්ථකව නිමා කරන කට්ටියව ආයෙම මනුස්ස ලෝකෙට යවනවා ඊට පස්සෙ පුලුවන් . හරි මනුස්සයෙක් ව්ගේ ජීවත් වෙලා දිව්‍ය ලෝකෙ යන්න "

"දැන් සිරිදාස මහත්තයා යන්න ඔබතුමාට කරනන තියන දේවල් තව ටිකකින් දැනුම් දෙයි "

සිරිදාස සභාපති තුමාට වැදගෙනම කාමරෙන් එලියට ආවා
කාමරේ දොර ලග අමුත්තා හිනාවේගන ඉන්නවා

" මොකෝ දැන් හරිද .. දැන් වත් ඔය ටික හරියට කරලා දිව්‍ය ලෝකෙ යන්න ට්‍රයි කරනවා " අමුත්තා සිරිදාස දිහා බලගෙන හිනා වුනා

" අයියේ අපි හැම දෙයක්ම වැරදියටනේ බන් හිතාගෙන ඉදලා තියෙන්නෙ "

සිරිදාස දිහා බලා ආයෙමත් සැරයක් හිනා වුන අමුත්තා සිරිදාසට මෙහෙම කිව්වා

" මෙතෙන්ට එන හැම එකාම..... ඔය දොරෙන් එලියට ඇවිත් කියන්නෙ...... ඕකම තමයි "


______________________________________________________


Tuesday, January 10, 2012

රතු කමිසය




වෙල් යාය පුරාවට වැටෙන එලිය මලානිකය..  ඈතින් ඇහෙන කුරුල්ලෙකුගේ කෑ ගෑමක් හැරෙන්නට වෙනත් හඬකින් කිලිටි නොවෙන  වෙල් යායේ ඈත කෙලවරක  යාන්තමින් රුවක් දිස් වේ.


කඩ මංඩියට ගිය අප්පුහාමි  නියර උඩ කල්පනාවට වැටීගෙන ඇත. ඔහුගේ කල්පනාව ගොයම ගැනය කොතරම් කලත් සතුන්ගෙන ගොයමට වෙන වින වැඩි යැයි අප්පුහාමිට සිතේ.  තෙල් පෝර ගහන්නට උනත් හිත එකලාසයක් නැත. මුදලාලිට පියවන්නට ඇති මුදල සිහි වන විට අලුතෙන් තෙල් ගැසීමද කබලෙන් ලිපට වැටීමක් යැයි අප්පුහාමිට සිතේ.


හීන් ඇඳිරිය වැටීගෙන එයි. කල්පනාවෙන් මිදුන අප්පුහාමි ගෙපැල දෙසට ඇදෙයි




කඩුල්ල අද්දරට ආ අප්පුහාමිට වැලේ වනා ඇති රතු කමිසය පෙනෙයි. ඔහුගේ මුවඟට සිනාවක් නැගේ
"කොල්ලා ගෙදර ඇවිත් "


ගමේ ඉස්කෝලයෙන් විශ්ව විද්‍යාලයට ගිය එකම  පුද්ගලයා රත්නසිරිය. ඒ ගැන ඒ දවස්වල ගමේ මිනිස්සු බොහෝ  ගෞරවයෙන් කතා කල බව අප්පුහාමිට මතකය. ඉගනීමට මහත් දස්කමක් දැක්වූ රත්නසිරි කවදා හෝ රටේ මහ තැනකින් නතර වන බව ගමේ උන් මෙන්ම අප්පුහාමිද  හිස් මුදුනෙන් විශ්වාස කලේය.


 ඒත් හැමදේම වෙනස් වෙන්නට මහා කාලයක් ගියේ නැත. රත්නසිරි අදින පලදින හැටි මෙන්ම කතාවද සෑහෙන්නට වෙනස් විය.  කොන්ඩය පිලිවෙලකට කපා ප්‍රසන්නව සිටි රත්නසිරි මාස ගනනකින් රැවුල හා කොන්ඩය කැපුවේ නැත. කතා බහ කරන ඒවාගේද වැඩි හරියක් අප්පුහාමිට තියා ගමේ උන් වැඩි හරියකට තේරුනේ නැත.
අප්පුහාමි බොහෝම කලබල උනේ රත්නසිරි දකින දකින් කොලුකුරුට්ටන්ට "සහෝදරයා " කියන්නට පටන් ගත්තාට පසුවය ගමේ හැම ගෑනිගේම ලමයින් රත්නසිරිගේ සහෝදරයන් වූයේ කෙසේදැයි අප්පුහාමිට මහත්  ප්‍රහේලිකාවක්  විය. අප්පුහාමි  හාමිනේටද ඒ දවස් වල මුහුණ පෙන්නා කතා කලේ  ඉඳ හිටය. රතුපාට කමිසය රත්නසිරිගේ ජාතික ඇදුම වූයේ ඒ කාලයේය


කඩුල්ල පන්නා ගෙට ඇතුල්වූ අප්පුහාමි  වැල් ඇඳමත දිගාවිය


" හාමිනේ කහට කෝප්පයක් ගෙනාවනම්  මහ දුරක් ගියා වගේ උගුර කටත් වේලිලා "  අප්පුහාමි  පිලිතුරක් නොලබාම ඔහේ කතා කරයි


"මේ  පාරත්  හොයමට සත්තු වහලා මොකක් කරන්නද මන්දා "


 එවර  සිරියාවතිගේ හඬ කුස්සිකෑල්ලෙන් මතු විනි


" ඒ මොකෝ තෙල් ගැහුවෙ ගිය මාසෙ නේද "


''හ්ම්ම්.. ඒත් වැස්ස නිසාද  කොහෙද අනික දැන් තියන තෙල් බේතුත්  සැර බාලද මන්දා "


" අර ඒබරනුත් මන් දැක්කා උදේ මුදලාලියගේ කඩේ පැත්තේ යනවා පහල ලියද්දෙත් එහෙනම් සත්තු වහලා ඇති "


දෙන්නා දෙමහල්ලන්ගේ කතාව අතරේ.. රත්නසිරි  කාමර කෑල්ලේ දොරින් එබිකම් කරයි.


ඕවා බහුජාතික කොම්පැනි වල කුමන්ත්‍රන තාත්තේ..  ආනයනය කරපු  කෘෂි රසායනික වල ආසනික් ඕවා ගහලා අපේ පරම්පරාව විනාශ කරන්න උන් හදන්නේ  කෘෂිකර්ම ඇමතිවරයා ගේ ඉදලා කඩ කාරයට යනකම් බහුජාතික සමාගම්වල මුදලට යට වෙලා . තාත්තලා දැන් වත් මේවට විරුද්ධව නැගිටින්න ඕන..  


අප්පුහාමිට මේවා තේරෙන්නේ නැත ඔහුට තේරෙන එකම දේ ගොයමට සත්තු වසා ඇති බවත්  හෙට අනිද්දාටම  යමක් නොකරන්නේ නම් ඊලග කන්නයම බඩගින්නෙ ඉන්නට වෙන බවත්ය


" අනේ මන්දා පුතේ මට ඕවා තෙරෙන් නෑ මොනා හරි දැන්ම නොකලොත් ඊලග කන්නෙත් බඩගින්නේ . අනික උබේ වියදමටත් සල්ලි එපැයි."


තාත්තලට කවදාවත් තේරෙන් නෑ .. අපී සටන් කරන්නේ ඒ වෙනුවෙන් අද  අපි පැයක් 3ක් පාරවල් වැහුවා.. අද අපේ අධ්‍යාපන ඇමතියට උණ හැදෙන්න ඇති. උන්ට  තේරෙන්නේ ඒ බාසාවෙන් විතරයි.


" සීවරං දෙයි හාමුදුරුවනේ " අප්පුහාමිට  පුදුමයෙන් මුමුනයි.


" ඒ කිව්වෙ මයෙ පුතේ "


" අපි එකපාරක් කිව්වා අපි කියපුවා ඇහුවේ නෑ අද අපි උන්ට තෙරෙන බාසාවෙන් කිව්වා අද මුලු කොළඹම පැය 3ක් පාරවල් වැහිලා  වාහන හිරවෙලා දැන් උන්ට අපි කියන දේ තේරෙයි  "


"ඉතිං පුතේ අද එහෙනම් ඇමතිතුමා වාහනේට වෙලා හිරවෙලා ඉන්න ඇති නේද. මිනිහට හොදටම තරහ යන්ඩ ඇති  "


"ඇමතිලා කොහෙද තාත්තේ ඔය බ්ලොක් අස්සෙ යන්නෙ අනික් උන් පාරවල් වල ඉන්නවයැ "


" එහෙනම්  පුතේ දැන් කිව්වෙ  ඇමතිට හොදටම තේරෙන්ඩ ඇති කියලා "


" ඔව් උන්ට තේරෙන්න ඇති අපේ බලේ "


අප්පුහාමිට මේවා අන්ඩර දෙමලය ඇමති පාරේ නොහිටියානම් ඇමතිට දැනෙන අමරුව කුමක් දැයි  ඔහුට කිසිම අයුරකින් තේරෙන්නේ නැත . එසෙ නම් දුක් විදින්නට ඇත්තේ තමා වැනිම අහිංසකයන්ය මාසෙ පඩියට කඹුරා ගෙදර යන කන්තෝරු කාරයන්ය. පාසල් වලින් ගෙදර යන පොඩි උන්ය.


" ඉතිං පුතේ එහෙනම් දුක් විදලා තියෙන්නේ අහිංසක මිනිස්සුනේ.. "


අප්පුහාමි තමුන්ට වැටහුනු එකම කාරනය වචන වලට පෙරලුවෙ රත්නසිරි දෙස නොබලාය.


තාත්තලාට ඕවා තේරෙන්  නෑ කවදාවත් තේරුම් ගන්නේත් නෑ.  අපි සටන් කරන්නේ  මොකක් වෙනුවෙන්ද කියලා තේරුම් ගන්නකොට පමා වැඩි. 


"උන්ට ඕවගේ අමාරුවක් දැනෙන් නෑ පුතේ  මේ වෙන හැම දෙයක්ම නොදැක්කා , නොදැනුනා වගේ ඉන්න උන්ට ඔවා තේරෙයිද "


රත්නසිරිට දැන් යකා වැහී ඇත. අප්පුහාමිලා නොතේරෙන රත්නසිරිලාට තේරෙන එකම දේ තේරුම් බේරුම් කරගැනීමෙ මහා සටනක් ඔහු  තනිවෙලාය


" එහෙම කියලා හැමදාම අහක බලන් ඉන්නද අපි අපේ සටන අත අරින් නෑ . තාත්තලාගේ ඔය ගතානුගතික කමයි අපිව කන්නේ . අපි හැමදාම අහක බලන් හිටියොත් උන් අපිව පාගලා දානවා උන්ට තේරෙනකම් අපි මේ සටන ගෙනියනවා


රත්නසිරි ඔහේ කියවමින් වැල දෙසට යයි  රතුපාට කමිසය ඇඟලාගන්නා ඔහු පල්ලම් බහි


කඩුල්ල අද්දර නැවතුනු ඔහු යමක් මතක් වූවකු සේ ගෙපැල දෙස බලයි


" තාත්තේ මේක හැමෝටම තේරුම් ගන්න වෙනවා එහෙම නොවුනොත් ඒක අපිටම කරගන්න ද්‍රෝහිකම්ක් මේවා තේරුම් නොගන්න එකා ද්‍රෝහියෙක්...!!   "


රත්නසිරි පල්ලම් බහී අහන් ඉන්නට අහල පහල කිසිවෙකු නැතත්  නියර  දිගේ ඔහු තනිව කියවමින් ඇවිද යනු පෙනේ
සිරියාවතී කහට කෝප්පයත් ගෙන  කුස්සිකෑල්ලෙන් මතු වේ


" මොනවද පුතන්ඩියා කියන්නේ "


" දෝහියෝ කියන්නේ "


" කවුද අප්පේ....  " සිරියාවතී පුදුමයෙන් විමසයි


"  අපි .....!!   "









Thursday, January 5, 2012

අපිත් බුදුන් වඳිනවා



තමා හිසට තමන්ගෙ අත නැති දවසුත් තියනවා
ලබා උපන් හැටි කියමින් දේව පැතුම් පතනවා
මනුස්සකම රන් කහවනු ලගදි දෙකට නැවෙනවා
පින් කරන්න දැන් දෙයියොත්  මාසෙ පඩිය බලනවා

මහ පාරේ වීදි පුරා කඩවල පින් තියනවා
අත බර අය සදලුතලෙන් බැසවිත් පින් ගන්නවා
තව්තිසාවෙ බැංකුවෙ අය ඒ පින් කඳ මනිනවා
අතේ සතේ නැති එකාට දෙයියෝ අහක බලනවා

අපේ හිතෙත් උසම තැනක පසේ බුදුන් ඉන්නවා
මල් පුදන්න තැනක් නැතත් හිතේ පැතුම් තියනවා
කුසේ ගින්න මරා ගන්න දවස අපෙත් ගෙවෙනවා
අතේ සතේ නැතත් පුතේ අපිත් බුදුන් වඳිනවා

Time in Sri Lanka: