Friday, July 26, 2013

මින් පසු පිටසක්වල එලී ලංකාවේදි දැකිය නොහැක





Ex-Alain නංගි ගේ සිංදුව ඇහුවෙ නම් ගොඩක් දවසකට කලින්. මොන පයන්නක්ද කියලා හිතුනත් පොඩි එකීගෙ ආසාවනේ කියලා හිත හදාගත්තා. අපිත් ඉස්කෝලෙ ගිය කාලෙ විතරක් නෙවෙ අදටත් තියන ලොකුම උන තමයි ඔය සින්දු පිස්සුව එහෙව් එකේ මේ පොඩි කෙලීටත් ඕක නැතෑ කියලා එදා හිතුනා.. දෙතුන් දෙනෙක්ටම මම කිව්වා ඕකෙන් වැඩිය ආතල් ගන්ට එපාය. ඔයිට වඩා අජපල් වැඩ මේ ශ්‍රි ලංකාවෙ වෙනවා කියලා..

සහතිකෙන්ම අද වෙනකම් මම හිතන් උන්නෙ මේ කෙල්ල බොහොම හිතේ අමාරුවෙන් ඇති කියලා....

අම්මට හුඩු අදනේ සුදු නංගිගේ රේඩියෝ ඉන්ටවිව් එක ඇහුවේ..

අවංකවම කියනවනම් සිංදුවෙ ඇහිච්ච ඉංගිරිස් වචන තරම්වත් මට නගා සිංහලෙන් කොටාපු අන්ඩර දෙමල ටික තෙරුනේ නෑ. නංගි කතා කරන්නෙ ජිල් බොලයක් හක්කෙ තද කොරන්ද මන්දා.. අතරින් පතර මෙන්න මේ ටික විතරක් තෙරුනා..

නංගි නවල් එකක් ලියනවලු...

නංගි ලංකාවෙ කලාවෙ නව නැම්මක්ද නමන්න හදනවලු.. එ කිව්වෙ වෙනසක්

නංගි ලෝයර් කෙනෙක් වෙන්ඩ යනවලු

එතකොට ලංකාවෙ උන්ට වෙනසක් ආවම එක දරාගන්න බාරගන්න බැරිලු.

නංගිට පොලිටික්ස් පැත්තෙන් ගිහින් ලොකේ වෙනස් කරන්ඩ ඕනලු..

හරී .. ඕවගෙන් නගා ලෝයර් කෙනෙක් වෙනවා.. පොලිටීශියන් කෙනෙක් වෙනවා එක වගේ අනාගත අරමුනු ගැන සන්තෝස වෙනවා.

ඒත් .... නගා කිව්වා අනිත් ඒවා ගැන පැයක් විතර කල්පනා කොලත් නිකං හෝන්දු මාන්දු වෙලා වගේ. නගා කිව්වෙ ගීතය ලිව්වෙ නගා ලියන නවල් එකෙන් අරන්  මේකට දාල ඒකෙන් අරන් තව කොහෙටද දාල මොන මොනවදෝ කරලා කියලනේ. අනේ ඔය වගේම අපේ අම්මා සුප් හදනවා නගා..

අනේ මන්දා නගා මට ඒ කාලෙ ඉදලම තේරෙන්නෙ නැති එක දෙයක් තියනවා. අපේ කලාවෙ පොරවල්ය කියලා කියන ඇත්තොයි උන්ගෙ පාර දිගේ යන උනුයි හැමදාම අපේ කලාවෙ නැම්ම නවන්න හැදුවෙ අහල පහල රටවලින් කොපි කරගත්තු හරි ගෙඩි පිටින් උස්සගෙන ආපු හරි දේවල් වලින්. සරස්වතී දේවිට වැදලා සිංදු අහන්න පුරුදු වෙච්ච රටක උන්ට ගංජා ගහලා සිංදු කියන උන්ගෙන් කොපි කරපුවා ගෙනත් නැම්ම නවන්ඩ හදනවා. නගා ඔයා ඔය නැම්ම නවන්ඩ වියදම් කරපු වියදම  ඔයාගෙ මහන්සිය වගේ නෙවෙ. කවදා හරි ඔය නැම්ම කෙලින් කරන්ඩ ගිය දවසට  කැටපිලර් අලි ඇත්තු දාලවත් ඕක කෙලින් කරගන්ඩ වෙන් නෑ.. නගා

ලංකාවෙ උපන්න එකෙක් උනාම ඇයි නගා නවාගන්ඩ ඕන තරම් නැවිලි අපෙ රටේ සංගිතයේ තියෙද්දි  වෙන රටවල ඒවා ගෙනත් අපේ රටේ කාලාවෙ නැමි නවන්ඩ යන්නේ..

නිකමට කල්පනා කරලා බලහන් නගා මයිකල් ජැක්සන් , එල්ටන් ජෝන් , බොබ් මාලෙලත් ඔය නැවිල්ල නැව්වා. හැබැයි උන්ගේ රටේ උන්ගේ සංස්කෘතියෙ. අහන දකින දෙවල් එක්ක. ඒ රටෙ මිනිස්සු එක බාරගත්තෙ උන්ට ඒක අහලා දැකලා හුරු හින්දා එහෙම නැතුව

මයිකල් ජැක්සන්

" හොයි රයිරේ.. හොයිරාමා කොල මැඩපාන්........ " කියල හරි

බොබ් මාලේ

" ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට "

කියලා හරි උන්ගේ රටේ ඔය නැවිල්ල නවන්ඩ ගියානම් උන්ටත් වෙන්නේ අද ඔයාට වෙච්ච විදියට පට්ට කුජිත වෙන්ඩ නේද. ඔක්කොටම කලින් දෙයක් කරන්ඩ යනකොට පයගහලා ඉන්නේ මොන තැනද කියලා බලල. මෙතෙන්ට ගැලපෙන්නෙ මොකක්ද කියලා හිතලා බලල දෙයක් කරපන් නගා.
මෙව්වට උබ විතරක් වැරදි නෑ උබ හැසිරෙන කතා බහ කරන හැටියෙන් මටනම් තෙරෙන්න පැය ගහලා ඉන්නෙ මෙ රටේ උනත් උබ ජිවත් වෙන්නෙ වෙන රටක වෙන ලෝකෙක කියලා. පැය 24 ඉන්ටනෙට් එකෙ හිටියත් නගා මේ ලංකාවෙ ඉන්න බහුතරයක් උබ ඔය පය ගහලා ඉන්න ලෝකෙට බොහොම පහල පඩිපෙල් වල ඉන්න උන් ඉන්න රටක්. උඩම පඩියෙ ඉදන් උබ අපිට මැනික් පෙන්නුවත් යට ඉන්න උන්ට ඕක පෙන්නෙ බල්බ් වගේ.

තවත් දෙයක් කියනවනම් නගාගෙ කකුලෙන් ඇදලා පහලට දාන කතාවක් කිව්වනේ.. ඒකනම් ඉතිං මට තාමත් හරියට තෙරුමක් නෑ.. හැබෙයි නගා මමත් ඉස්කෝලෙ යන කාලෙ ඉස්කෝලෙ සංගීත කන්ඩයමේ හිටියා.. අපේ ඉස්කෝලෙ තිබ්බ එක එක අට පට්ටලම් වලට දවස් ගනන් නටලා කෑ ගහලා අපිත් සින්දු කියන්ඩ ලෑස්ති උනා. මොන මොන වැඩ්ඩෝ උනත් නගා ඒ දවසට අපේ උගුර බැරෙන්ඩි වෙලා හරි ලාවට හෙම්බිරිස්සාවක් හැදිලා හරි තිබ්බනම්. අපෙ මැඩම් අපිව හරි අගේට ඉස්ටේජ් එකෙන් බස්සලා පැත්තකින් තිබ්බා.. එහෙම නැතුව අරුන් අස්සටම දාල අපිටත් සින්දු කියවලා ඒක අලුත් නැම්මක් එහෙම නැත්තං ලෝ පිච් මැද අමුතු පිච් එකක් යනකොට හරි ගතියයි කියලා හරි අපිවත් අර ගොඩට දැම්මනම් අපිටත් කලාවෙ නැම්මෙ ඇද ඇරගන්න තිබ්බා නගා. ඒ අතරෙම අපි ඔය පන්ති කාමරේ සර් කෙනෙක් නැති දවසට ආතල් එකේ සින්දුවක් එහෙම කියනකොට උපන්තෙකට තාලෙට හුවක් වත් කියන්න බැරි උනුත් අපිත් එක්ක සින්දු කිව්වා නගා හැබැයි ටික වෙලාවකින් ඌ කට වහගෙන මෙසෙට තට්ටු දාන්න පටන් ගන්නවා ඒකවත් කරගන්න බැරිනම් ඌ සින්දුව අහන් ඉන්න පටන් ගත්තා.. තමුන් ගැන තමුන් තෙරුම් ගන්නවා කියන්නෙ ඒකයි නගා,, සමහර විට ඌ දිගටම සින්දු කිව්වනම් අපි සිංදු කියන එක නවත්තන්න හරි ඌට ඉස්පිරිතාලෙ යන්ට හරි දෙකෙන් එකක් වෙන්ට තිබ්බා. ඒත් උන් නම් යස අගෙට තැනට ගැලපෙන්ට ඉගනගත්තා.

දැන් බලහන් නගා සින්දුව මෙලඩි කරපු එකා දන් නෑ කරපු ස්ටැයිල් එක, ඒක ඌටත් තාම ශුවර් නෑ.  මෙක අහපු උන්ට තාම ශුවර් නෑ උන් මොනවා හරි ඇහුවද කියන එක. ඒ ඔක්කොමත් හරි කියමුකෝ එ ඔක්කොම බලන් ඉද්දි උබ කියවන ඒවා අහපුවම අපිට මොකුත්ම මතක නෑ.. 

නගා ඕනම දේකට කැමති වෙන හා අකමෙති වෙන දෙකොටසක් ඉන්නවා එක පොදු දෙයක් එත් බහුතර මතය එක පැත්තකට ඇදෙනවනම් එතන මොකක් නමුත් ගත යුතු දෙයක් තියනවා. එහෙම වෙද්දිද් ඔයා පොර ටෝක් දීගෙන යන එකෙන් වෙන්නේ මොකක්ද කියලා ඔයාට තේරෙන්න තාම වයසක් ඔයාට නෑ.. මට තියෙන ප්‍රශ්නෙ ඔයාගෙ අම්මලා තාත්තල හා වගකිව යුතු වයසක ඉන්න උනුත් මොකක්ද මේ කරන්නෙ කියන එක.  සමාජේ ජිවත් වෙනකොට එතනින් එහාට යන්න මිනිස්සු එක එක පාරවල් කපා ගන්නවා ඒත් නගා ඔයා ඒ පාර කපාගන්න අතට අරන් තියෙන්නෙ උදැල්ලක්  නෙවෙ උදලු මිටක්. 


උබේ හිතේ තියන හයිය හරි ව්දියට පාවිච්චි කරහන් නගා එදාට උබ ගොඩ
කොහොම කොහොම හරි නගා ඉදලා හිටලා හරි පාත් වෙලා ගියපු පිටසක්වල යානා ටික මීට පස්සෙනම් ජිවිතේට ආයෙ මේ සිරි ලංකාවෙ දකිනවා බොරු.






නගාගේ ඉන්ටවිව් එක






නගාගේ සිංදුව


 

 

Monday, July 15, 2013

නිදහස් අධ්‍යාපනය සංජීවලා සහ අපි


" නිදහස් අධ්‍යාපනය රැකගවු "
 


මේ දවස් වල කනක් ඇහෙන්නට නැති තරමට නිදහස් අධ්‍යාපනය ගැන එක එක කචල් ඇත. සෑබෑ ලෙසම නිදහස් අධ්‍යාපනය රැකගත යුතු වස්තුවකි . අවුරුදු 5කට වරක් බුද්ධිය මෙහෙයවා ඔලු බක්කන්  මහ පුටුවලට යවන බුද්ධිමත් ජනතාවක් සිටින රටකට නිදහස් අධ්‍යාපනය වනාහි රැකගත යුතු මහාම වස්තුවක්ම වන්නේය.

නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නෙ නම් ගහට පොත්ත සේ බැදුන නම් කිහිපයක් ඇත, ඒ අතර සංජීවලා. උදුල්ලා ප්‍රධානය එක් එක් අය  සංජීවලා , උදුල්ලා නිදහස් අධ්‍යාපනය ගැන බොහෝ දේ ලියා ඇති නිසා කහනවාට වාගේ මොනා හරි ලියන්නට මමද හිතාගත්තෙමි.

නිදහස් අධ්‍යාපනය රැකගෑනීමේ කැක්කුම. කාට තිබුනත් ඒකේ විලිරුදාව විදින්නට වෙන්නෙ ගමේ කඩේ සිරිපාලට . කන්තෝරුවෝ පියදාසට හා බයිසිකලේ යන මටය. එහෙම කියන්නට හේතුවක් ඇත. පහුගිය දාක අම්බානකට හදිස්සි රාජකාරියකට කන්තෝරුවේ පියන්ද පටවාගෙන පිම්මෙ ගිය මගේ රොද දේකේ BMW එකට මල්වත්ත  පහු කරන්නට හම්බ උනේ නැත . කට්ටියක් පාර දිගේ නිදහස් අධ්‍යාපනය රකිමින් සිටි නිසා. ඒ බිත්තරේ රැක පැටියා බිහි වන තුරු පියදාසටත් මටත් පැය 4ක් මල්වත්ත හන්දියේ බිත්තර රකින්නට විය.

ඒ උදවියගෙන් නොතේරුම් කමට අහන්නට ප්‍ර්ශ්න දෙක තුනක් ඇත

1 ) මහා පාරවල් වසා උබලාගෙම අම්මලා තාත්තලා සහෝදරයෝ බස් වල පාරවල් වල පැය ගනන් තප්පවා. වද දෙන්නේ නිදහස් අධ්‍යාපනයට විකුනන්නට හදන්නේ උන් නිසාද ?

2) නිදහස් අධ්‍යාපනය රකින්නට කියා පෙලපාලි ගොස් නිදහස් අධ්‍යාපනයෙන් ලැබුනු බිල්ඩින් ටික . ඒවායේ ජනෙල් විදුරු ටික ,කුඩු පට්ටම් කරන්නෙ ඒකත් නිදහස් අධ්‍යාපනයේ රැකීමේ කොටසක් නිසාද


මේ නාඩගම මම විද ඇත්තේ වරක් දෙවරක් නොවේ. උබලාට ඇත්තටම නිදහස් අධ්‍යාපනය රකින්නට කැක්කුමක් තියනවානම් කොරන්නට බොහෝ දේවල් ඇත. උබලා පැය ගනන් පාරවල් වසා කලු කොඩි ,රතු බැනර්, මිනී පෙට්ටි පෙන්වනේ උබලාගෙම උන්ට මිසක  උබලාගේ ප්‍ර්ශ්න වලට උත්තර බදින්නට ඕනෑ උන්ට නොවන වග උබලාට තාම තේරී නැත.

අධ්‍යාපන ඇමතිවත්. රටේ ජනාධිපතිවත් , අමාත්‍යංශ ලේකම් වත් උබලා ඔය පැය ගනන් වහගෙන නටන පාරවල් වල නවතින බස් එකේ ගෙදර යන්නේ නැත. ඔය පාරක් වැහුවා කියාවත් ගිරිය කැඩෙනකම් කෑ ගැහුවා කියාවත් බැටන් පාරක් හැරෙන්නට නිදහසේ වෙන දෙයක් උබලාට ලැබෙන්නේද නැත. 

එහෙව් කතා කොච්චර කීවත් උබලාට නොතේරුනාට සංජීවලාගේ , උදුල්ලාගේ කැක්කුම අහක ඉන්නා මට තේරුනේ සෑහෙන කාලෙකට කලින්ය.

සංජිවලාගේ දේශපාලනය අනුව සමාජය පංති කරද්දි සිද්ධාලේප මුදලාලිලාද, නවලෝක මුදලාලිලාද වැටෙන්නෙ ධනපති පංතියටය.   උන්  ධනපති උම්මත්තකයන් වන අතර එදාවේල කන්නට නැති උන් පීඩිත පංතියේ අසරණයන් වන්නේය. වැරදිලාවත් අර පිඩිත පංතියේ අසරණයා මුට්ට කරගස එන අතර ගන්නා ලොතරැයිකට කෝටියක් ඇදුනහොත් ඌ ඒ වෙලාවේම ධනපති පංතියේ උම්මත්තකයෙක් වන්නේය.  සංජීවලාගේ මේ දේශපාලන පක්ශයට එක එක නම් එක එක හැදින්වීම් ඇත . ඒත් අහක ඉදන් බලන් ඉන්න අපිට පේන්නේ ඒ පක්ශය මහා ඉරිසියාකාර පක්ශයක් ලෙසත් ඒ දේශපාලනය මහා ඉරිසියාකර දේශපාලනයක් බවත්ය.

ඒ තර්කයට වැටෙන්නට මට සිද්ධවෙන්නෙ සංජීවලාගේ දේශපාලනය ගැන අමුතු කතන්දර කිහිපයක් අහන්නට දකින්නට වීම නිසාය. මේ එයින් එක කතාන්දරයකි

 මගේ මිතුරකුගේ සහෝදරයෙක් ඔය නිදහස් අධ්‍යපන රකින සටනේ ඉහලම චරිතයක්ව සිටියේය. මිනිහා ගෙදරට වෙලා පාඩම් කරනවාට වඩ කලේ පොස්ටර් අදින එකය. කහ පාටින් සුදු කොලේ මැද ඔහේ නයෙක් වගේ ඉරක් ඇදෙයි   ඊට පස්සේ එලියේ වේලෙන්නට හැර ලියනවෙන්නෙ  මෙන්න මෙහෙම වැකියකි. " නිදහස් අධ්‍යාපනයට අත නොතබනූ " ඊට පස්සෙ ඊලග කොලේ " පෞද්ගලික විශ්ව විද්‍යාල පනත හකුලා ගනිව් "  ඒ ගෙදර හැමදම තුන් හතර දෙනෙක් එකතු වෙලා ඔය පොස්ටර් ඇදිල්ල නැති උනේ නැත. ඒ වගේම අපිට මේ කර්යයේ උතුම් බව පැහෙදිලි කරන්න ඒ අයියලා නිතර උනන්දු උනේය. මාසෙකට දෙකකට සැරයක් බැන්ඩේජ් එකක් පිටින් මිනිහා දකිනවා සේම අවුරුද්දකට විතර සැරයක් උන්ගේ තාත්තා ඌට ඇපදෙන්න පොලිසියට ගියේය. ඒ පවුලේ කොල්ලෝම තුනකි තාත්තා දුම්රිය දෙපාර්තුමේන්තුවෙ පොඩි රස්සාවක් කර පවුල ගොඩ දැමූවෙකි.පොස්ටර් සටං පාඨ මැදිං ඒ කතාව සද්ද බද්ද මැද එහෙමම ගෙවිලා යන්නේය .

දැන් කතාවේ තාලය වෙනස් කරන්නට වන්නේය . තොරණක උනත් තාලය තියන්නෙ කතාවේ සැරේ විදියටය. තාලය වෙනස් වෙන කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙමය.

දැන් අවුරුද්දකට විතර ඉස්සර ඔය කියපු සහෝදරයගෙන් මට කෝල් එකක් ආවා. 

" හලෝ මල්ලි මම අහවලා "

" ආ.. අයියා කියන්න. කොහොමද මොකෝ කරන්නෙ "

" ගිය සතියේ ලංකාවට ආවෙ මල්ලි... පොඩි උදව්වක් ඉල්ලගන්න කතා කලේ ... "

" කියන්න අයියා මොකක්ද වෙන්ඩ ඕන "

" මල්ලි අපේ පොඩි මල්ලි රංගිකයව  SLIT එකට දාගන්ඩ ඕන.. .."

" ඇයි අයියා ඌ දෙවෙනි සැරේ A/L කරනව කිව්වා නේද.. "

" වැඩක් නෑ මල්ලී ඊලග පාර ගොඩ ගියත් එලියට එනකොට කවදා වෙයිද මම බැලුවෙ SLIT එක කරවලා එහෙට ගන්න . උබ IT ගැන දන්නවනේ ඒකයි මේ කතා කලේ "


අන්න එහෙමයි ඒ කතාව ඉවර උනේ..  අද උගේ මල්ලි SLIT එකේ.   එදා උන්  අකුලවන්ඩ හදපු පෞද්ගලික විශ්ව විද්‍යාල පනත  ගැන මට මහා සංවේගයක් ඇති උනා

සංජීවලා කරන්න ඕන කියලා මට හිතෙන්නෙ මේ දේ .අඩුම තරමේ තියන දේවල් ටිකවත් රැකගෙන ආර්ක්ශා කරගෙන ඉගන ගන්න ඕන කියල ඔතෙන්ට දාහක් බලාපොරොත්තු බැදගෙන එන උන්ට ඉගන ගන්න දෙන එක.  ලංකාවෙ කැම්පස් වලට යන උන්ගෙන් බහුතරයක් 2500 මහපොලෙනුයි ගෙදරින් එවන 2500 රෝල ගහන උන්. උන්ට ඉර අල්ලනවත් ලෝකෙ පෙරලන්නවත් උවමනාවක් නෑ උන්ට ඕන තාත්තා නය වෙලා එවන 2500 නය බේරන්න ඉක්මනට මෙතනින් පැනගන්න. සංජීවලාගේ නිදහස් අධ්‍යාපනේ රැකිල්ලෙන් වෙන්නෙ අවුරුදු 4ක් නය වෙවී ඉගන ගන්න එකා අවුරුදු 5ක් 6ක් නය කාරයෙක් කරවලා තියන එක.

උබට නොතේරුනාට සංජීව සක්කුව බර උන් උබලා එක්ක පාරට බැහෙලා ජෝගි නටන් නෑ . ඔතන නැත්තං උන් කෙලින්ම කටුනායකින් උඩට . මොකුත්ම කරගන්න බැරි ගමේ කුබුරු කොටලා, හේන් කපලා , ගල් කොරියේ ගල් තලලා කැම්පස් යවන එකා තමා  නන්නත්තාර වෙන්නෙ. ඔතන මාසෙකට හමාරකට කැම්පස් වහපුවාම ඌටත් වෙන්නෙ ගෙදර ගිහින් ගල් කඩන්න වලව්වෙ බේබිලා නම් යාල කුමන සෆාරි යයි.

නිදහස් අධ්‍යාපනේ රැකපල්ලා එපා කියන් නෑ. හැබෙයි පුලුන් බෝල පුම්බලා කොලේ වහන් නැතුව. අපිත් දන්නවා කොයි වෙලේ හරි ඔය මහ පුටු වල ඉන්න උන් නිදහස් අධ්‍යාපනේට ගේම දෙයි කියලා. හැමදේම විකුනගෙන කාපු උන්ට ඕක ලොකු නෑ බං හරියට බත් කාල කෙහෙල් ගෙඩියක් කනව වගේ උන් ඕකත් කාල දායි. 

උබලා උබලගේ ජීවිතවලට පාරවල් කපා ගන්න රුපියල් 45ට වතුරත් එක්ක බත් කාල , ටැන්කි පුරව පුරව නාගෙන , මහපොල 2500 රෝල ගහන අහිංසකයවන්ව මුක්කු වලට ගන්න එපා. උබලගේ මේ බොරු නාට්ටියෙන් වෙන්නෙ මහ උන් කරන්න හදන දේ උබලම කරලා දෙන එක. ඉඩමක් හරි උකස් කරලා  උගන්නගන්න පුලුවන් කම තියන එකෙක් තොපි හින්දා දැන් ලමයි කැම්පස් එවන් නෑ. එක්කෝ රටකට යවනවා. නැත්ත ප්‍රයිවට් එකකට දානවා.  කට්ට කාගෙන හරි ගිහින් ඉගනගන්න හදන එකෙක් උබලගෙ කෙහෙල්මල් වලට ආවෙ නැත්තං උං මරාගෙන කන්න හදනවා. උබලා නිසා කැම්පස් අත ඇරලා ආව උන් ලිස්ට් පිටින් මම දන්නවා . ඒ අතින් බලපුවාම එදා ඉදලා හිටපු කිසිම රජයක් තොපි තරම් නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්තු උන්ට වල කපලා නෑ.

පාන් රාත්තල් රුපියලකින් වැඩි උනාම , තොපේ එකෙක් මොනවා හරි කුප්ප වැඩක් කරලා කූඩු කලාම පන්ති කාමරේ ඉගන ගන්න එකාවත් ඇදගෙන පාරට බහිනවා නිදහස් අධ්‍යාපනෙ රකින්න. රැකෙයි බලගෙන හිටපන්. පුලුවන් නම් ඉගන ගන්න දවස් 5 ඉගනගෙන අනික් දවස් වල කරන රෙද්දක් කරපන්. අධ්‍යාපන ඇමතියගේ. රටේ ජනාදිපතිගේ ගෙදරට යන පාර වහගෙන පැයක් බැරිනම් දවසක් ඉදගෙන හිටපං . පුලුවං නම් සංජිව උබ  ඔය ඉල්ලීම ටික ඉල්ලලා ගිනි තියාගෙන මැරියං .. හැබෙයි උබ මැරියං කාගෙ හරි අහිංසක අම්මෙක් තාත්තෙක්ගේ පුතෙක් ෆෝම් කරලා මල්ලි ගිනි තියාගනිං කියලා කෑන් එක අතට නොදී.  

උබල ඔය එකක්වත් කරන් නෑ මොකද එහෙම උනොත් උබලා කපාගෙන යන පාර කපලා දෙන්න කවුරුත් නෑ. උබලට නිදහස් අද්‍යාපනේ ගැන්වත්. එකෙන් ඉගන ගන්න උන් ගැන්වත් කැක්කුමක් නෑ බං උබලට තියන කැක්කුම දන්නේ උබලා තුන් හතර දෙනා විතරයි. ඒ කැක්කුමට විදවන්නේ අහිංසක පොඩි උන්.

  
කැමරාකාරයෙක් කැමරාව අල්ලපු ගමන් ඇඩෙන මූනක් හදාගෙන උබ කියවන විස්තර අහපුවාම අපිටත් ඇඩෙනවා සංජීව . ඒ වෙලාවට හිතෙනව  මාසෙකට සැරයක් කෑම එකක් අරන් නංගි බලන්න යන අපි තරම් වත් උබ කැම්පස් එකකට ගිහින් නැද්ද කියලා. අඩුම තරමෙ උබ කියවන ඒව උබටවත් තේරෙනවද කියලා. උබ කියන බහුබූත නෙවෙ. ගිහින් බලපන් කැම්පස් වලට හොස්ටල් වලට උන්ට ලයිට් නෑ , වතුර් නෑ. දහ දෙනෙක් නාල ඊලග උන් නාන්න ටැන්කි පිරෙනකම් ඉන්න ඕන . හොස්ටල් වල වහලවල් ඔලුවට කඩන් වැටෙන්න.  කැන්ටිමේ කෑම පිගන බල්ලෙකුට හැලුවොත් ඌ සිහි නැතිවෙලා වැටෙනවා. අඩුම තරමේ ඊලග පාර පාරට බහිනකොට අදින පොස්ටර් ටිකට ඔය ටික ලියාගෙන පලයන්. තේරෙන බාසාවෙන්.

එහෙම නැතුව පිස්සු බල්ලෝ රැලක් වගේ අහිංසකයෝ උසි ගන්නලා. උන්ව පාරට දාල උන්ව කාලකන්නියො නොකර උන්ට මිනිස්සු වෙන්න දීපන්. උබලා ඔය කරන්නෙ ඉරිසියාවෙන් කුහක කමෙන් උන්ගෙ ඔලු පුරවන එක.









මේ ලිපිය කියවන ඔබ එක් කාරනාවක් සිහියේ තබාගෙන මෙම ලිපිය කියවන මෙන් ඉල්ලා සිටින්නෙමි. එනම් මෙම ලිපිය ලියන මා අවුරුදු 18දී ජන්ද බලය ලැබ මේ වන විට ගතවී ඇති වසර නවය තුල එක් වතාවක් හැරෙන්නට කිසිදු විටක කිසිදු පක්ශයක් වෙනුවෙන් ජන්දය භාවිතා නොකල අයෙක්මි.   එක් වරක් ජන්දය භාවිතා කරන ලද්දෙ යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව පැවති ජන්ද විමසුමේදී වත්මන් ජනපති මහින්ද රාජපක්ශ මහතා වෙනුවෙන් වන අතර . දැන් නම් ඒකද අපරාදේ කියා සිතෙන වෙලාවල් ඇත.

Thursday, March 21, 2013

කාලය මැව් වෙනසක අරුමේ

                           



 

 


                                      කැඩපතක හෝ රූපයක මගේ රුව දකිද්දී ජිව්තයේ ගතවී ගිය කාලය පිලිබදව යම් ඉඟියකට එන්නට තරම් මා දැන් වයසට ගොස් ඇති බව මගෙ හිත මට කොදුරයි. ඒ ගත වී ගිය කාලයෙන් මම  මහත් සේ ඇලුම් කරන්නේ මගේ කුඩා කාලයටය. බරක් පතලක් නැති උදේ රෑ ගැන වගක් නැති එහෙව් කාලයක් මගේ ලෝකයටත් හිමිව තිබුනි. අපේ පුංචි කාලයට වඩා දැන් පුංචි උන් ජේත්තු කාරය. ඒ අපේ හිතවතෙක් ලගකදී කී කතාවකි. එය සැබෑවකි අපි එදා නොදුටු දේ නොපැතූ දේ අද පොඩි උන්ගේ ලෝක වල සරල අවශ්‍යතාවයන් වී හමාරය. තිබිරිගෙයින් එලියට වන් විනාඩියේදිම බිලින්දාගේ ජීවිතය සැලසුම් කර අවසන් යුගයකට අපි දැන් පැමින ඇත්තෙමු. උප්පැන්න සහතිකයේ දැනට සටහන් නොවන්නේ පුංචි එකාගේ අනාගත රැකියාව පමනි. ලෝකය ඒ තරම්ම දියුනුය.  පුංචි උන් ජේත්තුකාරයන් කරන්නට වෙරදරන  උන්ගේ  මහන්සියෙන්.. ජේත්තුකාරකමේ ලෝගුවෙන් වැහෙන උන්ගේ හිත් ගැන ලෝකයට ගැටලුවක් නැත. සමාජයට අවශ්‍ය වන්නේ ලෝකය දුවන වේගයට දුවන උන්ගේ විසිල් වලට බල්ටි ගසන ජේත්තුකාරයන් මිසක. අනෙකාගේ දුක සැප දකින සතාගේ සීපාවාගේ බඩගින්න දැනෙන හිත හරහා ඇසට කදුලු නැගෙන මිනිසෙකු බිහි කිරිම නොවේ. උන්ගේ තර්කයට අනුව ජීවත් වීම නම් අවශ්‍යතාවය සම්පූර්ණ කිරිම , සමාජයේ වැදගතෙක් ධනවතෙක් වීමත් ඇරෙන්නට ජිවිතය නම් කුලකයේ සැපිරිය යුතු වෙනත් කිසිවක් නැත.

                                    මේ කතාව ලියා දමා හිත හදාගැනීමේ උවමනාව මා හට ඇති කරන්නෙ මීට දින කිහිපයකට පෙර  රාජාකාරී කටයුත්තකට ගිය විටකදි දකින්නට ලැබුනු දෙයකුත් මගේ හිතවතකු මා මීට පෙර මා සමග කී දෙයකුත් ජාඩියට මුඩිය මෙන් ගැලපී හිතේ ඇදුන නිසාවෙනි. කතාවේ හිතවතා සරල මිනිසෙකි ජීවිතයේ බොහෝ ඇසු පිරූ තැන් ඇත්තෙකි එනමදු කිසි විටක කිසිවෙකු හෝ තර්ක විතර්ක නොකරන්නෙකි. දිනක් පොඩි උන් සම්බන්ධ කතාවකදී ඔහු මට පැවසුවේ මෙබන්දකි 

           " මේ වෙන දේවල් වලට පොඩි උන්ට කරන්න දෙයක් නෑ උන් දකින දේ කරනවා ඇහෙන දේ කියනවා ඒක උන් ඉගනගන්න හැටි උන් විතරක් නෙවෙ මේ මුලු ලෝකෙම හැම සතෙක්ම කරන්නෙත් ඒ ටික , අපි දැන ගන්න ඕන උන්ට දකින්න අහන්න සලස්වන්නේ මොනවද කියන එක " 

                       එදා ඒ කතාව අවසන් වූයේ ඔහුගේ ඒ කතාවත් සමගය. කතාවේ ඊලග කොටස පටන් ගන්නේ ඒ කතාවෙන් ටික දවසකට පසු මා රාජකාරී කටයුත්තක් සදහා සේවාදායකකු හමුවීමට ඔහුගේ නිවසට ගිය වේලාවකය. මා එම නිවෙසට යන විට ඈත තියාම දුටුවේ. ආලින්දය පුරා පුටු කොට්ට ගොඩක් ගසාගෙන පුටුවක් උඩට නැග බිමට පනින  අවුරුදු 3ක් පමන වූ පනින කුඩා කොලු ගැටයෙකි. නිවස ආසන්නයට වෙත්ම ඔහු උඩ සිට පනින්නේ පුලුන් පිරවූ ටෙඩියෙකු මතට බව හොදින්ම මා දුටුවෙමි. මේ අනිවාර්යෙන්ම පොඩි ජෝන්සිනා කෙනෙක් බව මම ඒ ඉරියව් වලින් දුටුවෙමි. අවුරුදු 3ක් වත් නොවූ කොලු ගැටයා ටෙඩියා කුඩුපට්ටම කර දැමීමෙ මහා මෙහෙයුමකය විටින් විට රූපවාහිනි රෙස්ලින් තරගවලින් අහුලාගත්තා යැයි සිතිය හැකි කෑලිද මුමුනමින් පොඩිත්තා සෑහෙන සටනකය. , මල් වැනි පොඩි උන් යැයි කියා පොත් වල ලියා තිබූ යුගය අවසන්ය . සමනලයන් කුරුල්ලන් අතර ගෙවුනු කුඩා උන් සුපර් මෑන් ,බැට් මෑන් වීරයන් වූ යුගය අවසන් ය දැන් ඒ සිත් වල වීරයන්  මිනිසුන් උස්සා පොලවේ ගසන ජෝන් සීනලාය මට මගේ හිතවතා කී දෙය සිහියට නැගුනි. " පොඩි උන් කරන්නෙ උන් දකින දේවල් බන් " කතාව 100% ඇත්තය, බලා සිටීමෙන් පලක් නොවන නිසා මම හඩ අවදි කලෙමි.

" බබා ගෙදර කවුද ඉන්නේ "

වහා හැරී මා දෙස බැලු පොඩි ජෝන් සීනා " අම්මේ " යැයි හඩතලාගෙන  ගෙතුලට දිව ගියේය.


මද වේලාවකින් පොඩිත්තාගේ මව පැමිනි අතර මා රාජාකාරි කටයුත්ත වෙනුවෙන් අවශ්‍ය වූ ලිපිගොනු වල කටයුතු මා විසින් ඉටු කරගන්නා ලදී. 

ඒ අතරේදී ද පොඩිත්තා නැවත සුපුරුදු රාජාකාරියට අත ගසනු දැක ගත හැකි විය.

" බබා සෑහෙන්න රෙස්ලින් බලනවා වගේ " මම සිනහවකින් යුතුව මවගෙන විමසුවෙමි

" ඔව් අනේ දවසම වැඩේ ඕක තමා . ඉස්සර CD ඉල්ලලා පොරේ බැරිම තැන peo tv අරන් දුන්නා ඕක බලපු වෙලේ ඉදන් අපිත් එක්කත් ඔහොම තමා "

මව දරුවාගේ වර්ණාව සිනාවෙම්න් පවසයි.

මගේ මතකය මීට අවුරුදු ගානකට කලින් සිදු වූ සිදූවීමකට දිව ගියේය. එවකට මම 4 හෝ 5 වසරේ සිටි අවදියයි . දිනක් අපේ තාත්තා හා අපේම පවුලේ නෑදැයකු අතර ගැටුමක් ඇති විය ඒ නිවස පිහිටියේද අප නිවසට ආසන්නවය. මමද ආතල් කරට ගෙන පියා පසු පස දිව ගොස් තාත්තාට හුරේ තැබුවෙමි. වහා හැරුනු තාත්තා කන පුරවා මා හට කනේ පහරක් එල්ල කලේ මා කිසිවිටක බලා පොරොත්තු නොවූ ලෙසිනි. 


"ලොකු මිනිස්සු කතා කරන තැන් වල පොඩි උන්ට වැඩ නෑ පල ගෙදර "

එදායින් පසු කාලාන්තරයක් යන තුරු මගේ ලෝකයේ හතුරා උනේ අපේ තාත්තාය. යම් දෙයක් අහුලාගෙන විසදාගත හැකි කලකදී මම තාත්තා එදා මට කන පුරවා දුන් පහර ගැන සතුටු උනෙමි.

ඒ සිතුවිල්ලෙන් මම ඇහැරෙන වේලාව වන විටත්  පොඩි සීනා ගේ අම්මා දරුවාගේ හුරතල් ගැන තොරතෝංචියක් නොමැතිව කියවමින් සිටියාය. 

"මෙයා රෙස්ලින් විතරක් නෙවේ TV ඇඩ් ඒ විදියටම කරනවා අපිට හිනා වෙලා පන යනවා "

" ආ පුතා අර ඔයාගේ සින්දුව කියන්න මේ අංකල්ට ඇහෙන්න "


මවගෙන්  පුතා වෙත කාරුනික ඉල්ලීමකි

පුටුව උඩ උන් පොඩිත්තා වහා ඉද්ද ගැසුවාක් මෙන් පුටුව උඩම සිටගෙන ගීයට සුදානම් විය. අතක් හිස මත තබා අනෙක් අත ඉනට තබා ගත් පොඩිත්තා මහා හඩින් තමාගේ ප්‍රියතම ගීතය ගයන්නට විය.

" කැස්සට කොස් ඇට උනට කුරුම්බා..
 වැස්සට නොතෙමී කුඩය ගනිල්ලා... 

 රස්නෙට වෙනි වැල් බිව්වම .,
 ඇගට හොදා.............. "

ඒ වදන් කිහිපය අවසානයේ මා නිරුත්තර වෙද්දී.. දරුවාගේ අම්මා මහා හඩින් සිනාසෙමින් ප්‍රිතිය පල කරනු දක්නට ලැබුනි. එහෙම සින්දුවක් මා ඇසුවේද ඒ වෙලාවේය.


අපි ඉස්කෝලෙ යන දවස් වල අපේ ගෙදරට මහා තඩි හද්ද පරන  කලු පාට රේඩියෝවක් තිබුනි. උදේ පාන්දර වදෙන් පොරෙන් අපිව නැගිට්ටවා ගන්නා අතරතුරේ අපේ සීයා රේඩියෝවේ වයරය ප්ලග් එකට සම්බන්ධ කරයි.  හැමදාමත් ඇසෙනා පිරිත් ,ප්‍රවුත්ති වලින් පසුව අපිට ඇසුනේ කැස්සට කොස් ඇට බදින හැටි ගැනවත් , රොස් පාන් පුච්චලා කන හැටි ගැනවත් නොවේය. අමරදේවයන් ලයාන්විතව ගයනා  " මුනි සිරිපා වදිමින්නේ " නොඑසේ නම් අයිවෝ ගේ දැකුම්කලු හඩින් ලංකා ලංකා හෝ දකුන නැගෙන හිර වැනි දවස පුබුදන ගීතය, මූන කට හෝදාගෙන අපි පාරට බැස්සේ රට ගැන උපන් නැතිනම් දෙමව් පියන් ගැන උපන් පහන් හැගීමක් සිත තුල රදවාගෙනය. මුදලට ජීවිතය විකිනූ සමාජයක් තුල FM කඩ කාරයන් අද දවස පටන් ගන්නේ උදේ පාන්දර කැස්සට කොස් ඇට බැදගෙනය . අපි ඒ කොස් ඇට කෑ රිලවුන්ගේ පරම්පරාවක් බිහි කිරීමෙ මහගු කර්තව්‍යට එක සිතින් දායක වී සිටින්නෙමු.  ඕනෑම ගීතයක් කීමෙ හෝ ඇසීමෙ නිදහස මිනිසෙකු සතු අයිතිවාසිකමකි.  ජාතියක් ලෙස අපි කාලකන්නියන් යැයි අනාගතේ දවසක හන්වඩු ගසා ගන්නවාට වඩා මේ දකින ඇත්ත ගැන අපි කතා නොකරනවා නම් එහි වගකීම ඉතාම නුදුරු දිනක ඔබටද මටද සම සමව බෙදී යනු ඇත. අද රේඩියෝවකින් , TV චැනලයකින් ජාතික අභිමානය ගැන ගීතයක් ඇසෙන්නෙ දවසට දෙවරක් පමනි ඒ වැඩසටහන් ආරම්බයේදි හා අවසානයේ විකාශය වන ජාතික ගීය පමනි.  පෙබරවාරි හතරවන දාට නිවසේ සිංහ කොඩියක් එසවීම පමනක් ජාතිකාභිමානය යැයි සිතන පරම්පාරවක බිහිවිම ඔබටද මටද බලපාන්නෙ කෙසේද කියා ඇස් කන් ඇතුව වසන්නෙකුට අමුතුවෙන් කියා දිය යුතුවද නැත. 


                         පරම්පාරවක් බිහි වීමෙදී දියුනුවක් ඇති විය යුතුය. අපි ආඩම්බරයෙන් හැම විට හැම තැන පවසන්නේ අපි සිංහ පරපුරේ කියාය.  නමුත් මතු බිහිවෙන ඒ පරම්පරාව වල් බුරු පරම්පරාවක් වන්නෙ නම්. ඒ පරම්පාරාවෙන් පසු බිහිවන අනාගතය ගැන අපිට කිසි දිනක සිහින දැකිය නොහැකි වනු ඇත.  එනිසා ලෝකය දිව යන වේගයෙන්  නොගියද  රටක මුල මැද අග හදුනන පරම්පරාවක් බිහි කිරිම සදහා මව පියා මෙන්ම මාධ්‍ය හා සමාජයද එක සේ බැදී පැවතිය යුතු බව සිහිකල්පනාවෙන් යුතුව මතක තබා ගත යුතු සිතුවිල්ලකි. එසේ නොමැතිනම් මෙයින් මතු බිහි වෙන පරම්පරාව කොස් ඇට රිලා පරම්පරාවක්  මිසක සිංහ පරම්පරාවක් නොවනු ඇත.









_____________________________________________________________________


                                  
                              


Monday, December 31, 2012

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා



ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය, සතුට පිරි නව වසරක් වේවා!!! 

Thursday, December 20, 2012

ප්‍රේම හීන



පාන්දරින් වීදි පුරා හැඩ වැඩ උනු සමනලියන් 
සුනීතලා දැක ආයෙත් අහක බලන්නේ
වීදි පුරා මල් වැටුනත් අහුලන්නට ඇයි තහනම්
සුනීතලා ගෙන යන කද බරද දැනෙන්නේ


මල්පෙතිවල පාට අරන් හැඩ වැඩ උන සමනළියන්
රන් කහවනු නැති හිත් ලඟ නෑ නවතින්නෙ
හීන වලින් ඇහැරුනදා  මහ පාරේ තැන් තැන් වල
ප්‍රේම හීන අගු පිල් වල ඔහේ තෙමෙන්නේ


නොදැන නොවේ හීන දුරයි නෙලන්න බැරි දුරින් උසයි
හැමදාමත් ඒ හීනෙම ආයෙ  දකින්නේ
තව්තිසාවෙ කෙලවර ඉඳ සුරංගනාවියන් නොදැක
සුනීතලා නැහැ ආයෙත් නිවන් දකින්නේ


_________________________________________________

Saturday, December 1, 2012

මිනීමරුවා..



                                               සුපුරුදු කලබල මැද්දේම රිය පෙලේ සීරුවට ඇදෙන ඉන්ද්‍රනාථ  විටින් විට කමිස අත උස්සා ඔරලෝසුව දෙසත් යාබද අසුනේ සිටින සිගිත්තා දෙසත් බලයි.

" කෙහෙම්මල "

වාහන තදබදය කෙරෙහි වූ කෝපයෙන්  ඉන්ද්‍රනාථ සෙමින් මුමුනයි.

" කෙහෙම්.....මල " යාබද අසුනේ සිගිත්තා තාලයකට එවදනම මුමුනයි.

ඉන්ද්‍රනාථගේ මුහුනට සිනාවක් නැගේ..

" මගෙ පැටියා බය නැතුව ඉන්නකෝ මං වෙලාවට ඉස්කෝලෙට එක්ක යන්නම්. "

තදබදය අතරේ හෙමින් ඉදිරියට ඇදුනු රථය අසල වූ විදුහල් මාවතට හැරවුමෙන් පසුව රථ ගාල කරා වේගයෙන් ඇදී යනු දක්නට ලැබිනි. රියෙන් බැසගත් ඉන්ද්‍රනාථ  සිගිත්තාගේ අතින් අල්ලාගෙන  පාසල් ගෙට්ටුව කරා ඇදෙන්නට විය.

" එහෙනම් පුතේ පරිස්සමෙන්... හවස පුතාව ගන්න අම්මා එයි.. එහෙනම් ඉක්මනට දුවලා යන්න"

පියාගෙන් මිදුන සිගිත්තා පියාට අතවනමින් පාසල තුලට දිව යද්දී  ඉන්ද්‍රනාථ නැවතත් රථය දෙසට ඇදෙන්නට විය.

නමුත් ඔහුට තබන්නට හැකිවූයේ පියවර කිහිපයක් පමනි. රථගාල අද්දර යම් කලබලයක සේයාවකි දරුවකු බදාගත් කාන්තාවක් හා ඇය වටකරගත් කිහිපදෙනෙක් යම් අරගලයක යෙදී සිටී . ඒ අතරේ  පාසලේ ප්‍රධාන ආරක්ෂකයාද වෙයි.   ඉන්ද්‍රනාථ ඉක්මන් අඩි තබමින් එදෙසට  ඇදෙයි.


" මේ දරුවා මගේ "

පිරිස අතරේ උන් කාන්තාවක් දරුවා බදාගනිමින්  පවසයි  

" මේකනම් පුදුම වදයක් හැමදාම මෙ සෙල්ලම කරන්න බෑ මේක හරි වදයක් උනා නේ "

පිරිස අතරේ උන් තවත් කාන්තාවක් මුමුනයි

" හරි හරි නෝනා මේත් අම්මා කෙනෙක්නේ දරුවට කරදරයක් වෙන් නෑ නේ "

පාසලෙ ප්‍රධාන ආරක්ශකයා නෝක්කාඩු මුහුනින් සිටින ගැහිනිය දෙසට හැරී පිලිතුරු බදියි

" මේ අම්මේ දැන් ලමයට ඉස්කෝලෙට යන්න පරක්කු වෙනවනේ අපි ලමයව ඉස්කෝලෙට යවමු "

දරුවා බදාගෙන සිටින ගැහෙනිය අමතා ආරක්ශකයා ඉල්ලීමක් කරයි..   පිරිස දෙසත් දරුවා දෙසත් බලනා ගැහෙනිය දරුවාගේ මුහුන අතගාමින් යමක් පවසයි

" මගේ පුතේ පරිස්සමින් ගිහින් එන්න මං හවසට එන්නම් "

" හා හා දැන් යමු පුතාට පරක්කු වෙනවා"

 ලද ඇසිල්ලෙන් දරුවා වඩාගන්නා ආරක්ශකයා  පාසල් ගෙට්ටුව දෙසට පියනගයි.  පොදී ගැසී උන් පිරිසද    යම් යම් දේ පවසමින් විසිර යයි

මේ සියල්ල දෙස බලා සිටි ඉන්ද්‍රනාථ  ආපසු හැරී  පාසල් ගේට්ටුව දෙසට පියනගයි.

ඒ අතරේ දරුවා පාසල තුලට ඇරලූ ආරක්ෂක නිළධාරියා  නැවතත් සුපුරුදු රාජකාරියට සැරසෙයි . ඉන්ද්‍රනාථ  ඔහු වෙතට සෙමින් ලංවෙයි.

" ඒ අර ස්කූල් වැන් එක හැප්පිලා නැති උන දරුවාගේ අම්මද....? "
" ඔව් මහත්තයෝ ඒ දරුවගේ අම්මා තමයි පව්. සංසාරේ.. හැටි තමයි " 

" දැන් දවස් දෙක තුනක් ඔහොම උනාලු නේද.. ලමයින්ට කරදරයක් වෙයිද දන් නෑ "

ඉන්ද්‍රනාථ නැවත නිළධාරියාගෙන් ප්‍ර්ශ්න නගයි...  නිළධාරියාගේ මුහුනේ සිහින් සිනාවක් ඇදේ

" අනේ නෑ මහත්තයෝ දරු දුකටනේ ..  අඩු ගානේ එහෙමවත් ඒ මනුස්සයා සතුටු වෙනවනේ මෙතන ගොඩක් අය ඕක දන්න නිසා  වැඩිය ප්‍ර්ශ්නයක් වෙන් නෑ"

" ඒ උනාට කියන්න බෑ නේ කරදරයක් කලොත් එහෙම මොනවා කරන්නද "

ඉන්ද්‍රනාථ තමාගේ මතයෙන් බැහැරව යන්නට අකමැත්තෙන් මෙන් පවසයි..

" මමනම් හිතන් නෑ මහත්තයෝ ඉස්කෝලෙ ලොකු මහත්ත්යා  ඉන්න වෙලාවෙත් ඔය සිද්දිය උනා . ඒ මනුස්සයා තමුන්ගේ දරුවා වගේ පෙනුම තියන අය ලගට ඇවිත් ඒ දරුවා වඩාගෙන ඉස්කෝලෙට ඇරලවනවා. පව් මහත්තයෝ අම්මා කෙනෙක් නේ හිටපු එකම ලමයා කියනවනේ.."

" ඉතිං ඒ මනුස්සයට බේත් හෙත් කරන් නැතිලුද "

" කරනවා කියලා තමයි ආරංචි මහත්තයෝ එහෙමට කියලා ලොකු අමාරුවක් නෑ ඔය උදේට ස්කෝලෙ ලගට එන එක තමයි ප්‍ර්ශ්නෙකට තියෙන්නෙ "

ඉන්ද්‍රනාථගේ හිතට ඒ කිසිවකින් සැනසිල්ලක් නැත ඔහුගේ සිත කියන්නේම ඇයගෙන් කොයි වෙලාවක හෝ යම් අනතුරක් විය හැකි බවය.

" ඔය මනුස්සයට ටිකක තදින් කිව්වනම් හරිනේ එහෙම කරන්න එපා කියලා එතකොට මෙතෙන්ට ආයෙත් එන එකක් නෑ අනික ටිකක්  තේරෙන්න කිව්වනම් හරි ..."

නිළධාරියාගෙ මුහුන සෙමින් අදුරු වේ.

" දරුවා නැතිවෙලා මාසයක් නොගිය අම්මා කෙනෙක්ට කොහොම කියන්නද මහත්තයෝ තමුන්ගේ දරුවා මලා මෙතන දරුවන්ට කරදර කරන්න එපා කියලා .. අපි බලමුකෝ මොනවා හරි කරන්න "

" නෑ ඉතිං ඕනම දෙයක් තෙරුම් කරන විදි තියනවනේ...... මං මේ කිව්වෙ කරදරයක් වෙන්න කලිං "

ඉන්ද්‍රනාථ අහක බලාගෙනම පවසයි

" අපි බලමුකෝ මහත්තයා..  මම ඇතුලට ගිහින් එන්නම්..  "

ඉන්ද්‍රනාථගෙන් සමුගත් නිළධාරියා පාසලට තුලට ඇදෙයි

රථගාල දෙසට ආ ඉන්ද්‍රනාථ නැවතත් පාසල් ගේට්ටුව දෙස බලා රිය තුලට නැග රිය පනගන්වාගයි

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++


ට්‍රිං...ට්‍රිං ..... 
   
යම් වැඩක නිරතව උන් ඉන්ද්‍රනාථ මේසය මත වූ දුරකථනය දෙස නොමනාපයෙන් මෙන් බලා එදෙසට දෑත දිගු කරයි

" හෙලෝ ගුඩ් ආෆ්ටනූන් "  ඉන්ද්‍රනාථ සිය ගාම්භිර ස්වරයෙන් අමතයි

" මොනවා.....! දරුවට කරදරයක් නෑ නේ "  ඇස් නලලේ රදවාගත් ඉන්ද්‍රනාථ ගේ හඩට කලබල වූ අවට වූවන්ගේ නෙත්ද  ඔහු දෙසට හැරෙයි

" මං අද උදෙත් අර ඉස්කෝලෙ මුරට ඉන්න බූරුවට ඕක කිව්වා මිනිහා මට බණ කියන්න ආවනේ.. ඔයා ඉන්න මම දැන්ම එනවා "

කලබලයෙන් දුරකතනය තැබූ ඉන්ද්‍රනාථ වහා අසුනෙන් නැගි සිටියි

" මොකද මිස්ටර් ඉන්ද්‍රනාථ මොකක් හරි ප්‍ර්ශ්නයක් ද ?"

යාබද මේසයේ පෙරේරා ඉන්ද්‍රනාථ දෙසට එමින් විමසයි

" නෑ පෙරේරා අපේ බබාගේ ඉස්කොලෙ ලග පිස්සු ගෑනියෙක් ඉන්නවා ඒ ගෑනිගේ දරුවා මැරිලා.. ඒ මනුස්සයා එතෙන්ට එන ලමයි ඒ ගෑනිගෙ ලමයා කියලා  අරගන්නවා..."

"නෑ.. " 

" එකනේ පෙරේරා අපේ බබාවත් ඒ ගෑනි අද වයිෆ්ගෙන් උදුරගෙන බබාගේ අතකුත් සීරිලා ලු..."

" මයි ගෝඩ්  .. ඉතින් ස්කොලෙ ගාඩ්ලා නැද්ද "

" එක හරකෙක් ඉන්නවා මන් උදේ ඕක කිව්වමත් ඌ මට බණ කියන්න ආවා ඉන්නවකෝ මන් දැන් ගිහින් කියලා දීලා එන්න "

" කලබල කරගන්ඩ ඕන නෑ මිස්ටර් ඉන්ද්‍රනාථ ඉක්මනට එහෙනම් යන්න "

" පෙරේරා පොඩ්ඩක් මෙතන බලාගන්න මන් ඉක්මනට එන්නම් "

වහා කාර්යාලයෙන් පිටවූ  ඉන්ද්‍රනාථ රිය පනගන්වාගෙන වේගයෙන් පාසල දෙසට ඇදෙයි. පාසල අසලට ලංවෙත්ම  පාසල් ගෙට්ටුව අද්දර ඉන්දීවරීත් සිගිත්තාත් ඔවුන්ට යමක් පවසමින් ඒ අසල ඉන්නා මුරකරුවාත් ඉන්ද්‍රනාථගේ බැල්මට හසුවේ. වහා රිය නවතා රියෙන් බැසගත් ඉන්ද්‍රනාථ  එදෙසට වේගයෙන් ඇදෙයි


" මං කිව්වා නේද උදෙත් මෙහෙම වෙයි කියලා "

 මුරකරු අමතමින් ඉන්ද්‍රනාථ  කෝපයෙන් විමසයි

" නෑ මහත්තයෝ නෝනා කලබල උනා නේ ඒකයි උනේ "

" අනේ මේ තමුසේ මෙතන විකාර නටන් නැතුව ඉන්නවද. මෙතන ලමයින්ට මොකක් හරි උනොත් තමුසෙද වග කියන්නේ "

කෝපයෙන් පුපුරන ඉන්ද්‍රනාථ  ගේ වදන් හමුවේ මුරකරු නිහඩව බිමට දෑස යොමයි

" සමාවෙන්ඩ මහත්තයා "

" සමාවෙන්ඩ නෙවෙ මන් හෙටම ප්‍රින්සිපල්ට මේක කම්ප්ලේන් කරනවා .. "

" හරි .. හරි  අපි දැන් යමු දැන් ඇති ... දරුවට කරදරයක් නෑ නේ.."

කෝපයෙන් පුපුරන සිය සැමියාගේ අතින් අදිමින් ඉන්දීවරී රථය දෙසට ඇදෙයි..

" මං මේක ලේසියෙන් අත අරින් නෑ ආපුදෙන්කෝ හෙට ප්‍රින්සිපල්." කෝපයෙන් දොඩවමින් ඉන්ද්‍රනාථද රථය ඇති දෙසට ඇදෙයි

ගෙට්ටු පලුවක් අල්ලාගෙන බිම බලා හුන් මුරකරුද  සුසුමක් හෙලා පාසල තුලට පියවර නගයි.

දරුවා හා බිරිය රිය තුලට නංවාගත් ඉන්ද්‍රනාථ කෝපයෙන් පුපුරමින් රිය පනගන්වාගෙන පාසලෙන් මාර්ගය දෙසට ඇදෙයි.

" මං ඔය බූරුවට උදෙත් කිව්වා ..."

තවමත් කෝපය පහ නොවූ ඉන්ද්‍රනාථ  ගුගුරයි

" නෑ ඉන්දරේ  .. මමත් ටිකක් කලබල උනා ඒ මනුස්සයා කරදරයක් කලෙ නෑ "

" ඔයාටත් පිස්සුද මොන මගුල උනත් දැන් ඒ ගෑනිට පිස්සූ . මං හෙටම මේ මගුල ප්‍රින්සිපල්ට කියනවා කියලා අර බූරුවත් ගෙදර අරිනවා"

" අනේ ඉන්දරේ ඕවා නිසා කරදර පටලවගන්න එපා දැන් ඕක ඇති "

මේ කිසිවකට ඉන්ද්‍රනාථ සවන් නොදෙයි ඔහුගේ හිත කෝපයෙන් පිරී ඇත.

බ්‍රරා..............ස්...........!!!

වේගයෙන් ආ රථය එක්වරම මහ හඩින් තිරිංග ගසා නැවතුනි

" ඇයි ඉන්දරේ.."

කිසිවක් සිතාගත නොහැකි වූ ඉන්ද්‍රනාථගේ බිරිය  විමතියෙන් සිය සැමියාගේ මුහුන දෙස බලයි..

පාසල් මාර්ගය අද්දර වූ කිසිවෙකු දෙස ඉන්ද්‍රනාථ කෝපයෙන් බලා සිටිනු පෙනේ.

" අනේ ඉන්දරේ අර පිස්සු ගෑනි නේද අපි යමු අනේ.. පිස්සො එක්ක මොනවා කරන්නද "

" ඔයා කටවහගෙන ඉන්නවද අද මේක ඉවරයක් කරන්න ඕන "

ඉන්ද්‍රනාථ කෝපයෙන්ම රියෙහි දොර ඇරගෙන  කාන්තාව සිටින දෙසට ඇදෙයි.  ඉන්ද්‍රනාථගේ බිරියද කලබලයෙන් සිය සැමියා පිටුපසින් ඇදෙයි.

වෙල් යාය දෙස බලාගත් කාන්තාව මොනවදෝ මුමුනමින් සිටී

" මේ ඇහුනද  මීට පස්සෙ ඉස්කෝලෙ ලගට යන්න බෑ තේරුනාද "

ඉන්ද්‍රනාථගේ හඩට ගැස්සුනු කාන්තාව ඉන්ද්‍රනාථ දෙස බලයි

" මගේ පුතා ඉස්කෝලෙ "

" තමුන්ගේ දරුවා දැන් මැරිලා ඒක තේරුම්ගන්නවා. ඔහේ හින්දා අපේ දරුවන්ටත් කරදරයක් වෙනවා"

"තමුසෙ  බොරු කියන්නේ මගේ දරුවා ඉස්කෝලෙ"

ගැහැනිය ඉන්ද්‍රනාථ දෙස බලමින් කෑ ගසයි

"තමුසෙ  බොරු කියන්නේ මගේ දරුවා ඉස්කෝලෙ.. මගෙ දරුවා මැරුනේ නෑ"

" මං ආයෙත් කියන් නෑ මීට පස්සෙ ඉස්කෝලෙ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා..   "

" මගෙ දරුවා ඉස්කෝලෙ "
 හැඩුම් හඩින් ගැහැනිය මුමුනයි


" තමුන්ගේ දරුවා මැරුනා ඒ ලමයා වලදාලත් ඉවරයි .. ස්කෝලෙ ඔහේගෙ දරුවා දැන් නෑ  ආයෙ ඒ පැත්ත පලාතේ යන්න බෑ තෙරුනාද.. "

" අනේ මේ ඉන්දරේ ඔයාටත් පිස්සුද අනේ අපි දැන් යං "

ඉන්ද්‍රනාථගේ බිරිය සැමියාගේ අතිං ඇදෙගෙන රථය දෙසට ඇදේ

" තමුන්ගේ දරුවා බලාගන්න ඕන නම් යනවා කනත්තට .. අපේ දරුවන්ට කරදර නොකර "

කෝපයෙන් වියරුවූ ඉන්ද්‍රනාථද  ගුගුරමින් රථය කරා ඇදෙයි..

වේගයෙන් ඇදී යන රිය දෙස ගැහැනිය හිස් බැල්මෙන් බලා හිදී. 

" මගේ දරුවා මැරිලා.. "  ගැහැනිය මුමුනයි....   

මිමිනුම ක්‍රම ක්‍රමයෙන් විලාපයක් වෙයි

"මගේ දරුවා මැරිලා.................."


"  මුරකුටියේ සිට මේ සියල්ල දෙස බලා උන් ආරක්ශක නිලදරියා විලාප නගමින් හඩන ගැහෙනිය දෙසට ඇවිද යනු පෙනේ"

  
  +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

වෙනදාටත් වඩා උදෑසනින් පාසල කරා ගිය ඉන්ද්‍රනාථ මුර කුටිය පසු කරමින් විදුහල්පති කාර්‍යලය කරා ඇදෙන්නට විය.. ඒ වන විටත් විදුහල්පති පැමිනි නොසිටි හෙයින් . අසල වූ පුටුවකට බර වූ ඉන්ද්‍රනාථ පත්තරයක පිටු පෙරලන්නට විය


" ආ මිස්ටර් ඉන්ද්‍රනාථ මොකො උදේම මෙ පැත්තේ "

විදුහල්පතිගේ හඩට කලබල ව නැගිට ගත් ඉන්ද්‍රනාථ  සිහින් සිනාවක් නගයි

" ආ සර්  මම දැක්කේ නෑ මං සර්ව හම්බවෙන්නමයි ආවේ "

" ආ.. එ මොකෝ මිස්ටර් ඉන්ද්‍රනාථ මොකක් හරි ප්‍රශ්නයක් ද "

" ඔව් සර් සරුත් දන්නවනේ අර ලමය නැති වෙච්ච ගෑනූ කෙනා නිසා තියන ප්‍ර්ශ්නේ . ඊයෙ මගෙ ලමයටත් කරදර කරලා බබාගේ අතත් සීරිලා.  මං ඉස්සරහ සිකියුරිටි ගාඩ්ට කිව්වම මිනිහ සත පහකට එක ගනන් ගත්තෙ නෑ "


"හ්ම්ම්ම්...."

විදුහල්පති නිහඩව හිස සලයි

" මිස්ටර් ඉන්ද්‍රනාථගේ ප්‍ර්ශ්නේ ඒකනම් මීට පස්සෙ ඒ ගැන බය වෙන්න දෙයක් නෑ . ඒ ප්‍ර්ශ්නේ විසදිලා ඉවරයි දැන් "

ඉන්ද්‍රනාථ පුදුමයෙන් විදුහල්පතිගේ මුහුන දෙස බලයි

" ඔව් මිස්ටර් ඉන්ද්‍රනාථ ඒ ගෑනු කෙනා ඊයෙ හවස මැරිලා. මැරිලා නෙවෙ ගගට පැනල සියදිවි නසාගෙන "

" මොනවා........... "

තමා වටා වූ සියලු දේ කැරකෙන බවක් ඉන්ද්‍රනාථට දැනෙයි..  විදුහල් පති තව මොන මොනවදෝ කීවද ඒ කිසිවක් තමාට නොඇසෙන්නාක් මෙන් ඔහුට හැගෙයි..

" මං ගිහින් එන්නම් සර් "

විදුහල්පති කාර්‍යලයෙන් එලියට බට ඉන්ද්‍රනාථ සිතුව්ලි හිස් වූවකු සේ ගෙට්ටුව කරා පියනගයි. ගේට්ටු කනුව ආසන්න‍යෙදී .. යමෙකුගේ හඩකින් ඉන්ද්‍රනාථ පියවි ලොවට පැමිනෙයි

" මහත්තයා ..."

හඩ ආ දෙසට මුහුන හැරවූ ඔහුට තමා දෙස බලා සිටින ආරක්ශක නිළදාරියා දිස්වෙයි..

" දැන් ප්‍ර්ශනේ විසදුනාද මහත්තයෝ "

ඉන්ද්‍රනාථ කිසිවක් නොදොඩා බිම බලාගයි.

" ඕනම මිනිහෙක් ජීවත් වෙන්නේ බලාපොරොත්තුවක් උඩ මහත්තයා...  ඒ ගෑනිට තිබ්බ එකම බලාපොරොත්තුව ඒ ගෑනිගේ දරුවා මෙතන ඉන්නවා කියන එක.. ඒක නැති උනාට පස්සෙ ඒ ගෑනිට ජීවිතෙන් වැඩක් නෑ  "

කිසිවක් නොදොඩා ඉන්ද්‍රනාථ බිම බලාගත් වනම ගේට්ටුව දෙසට පියවර තබන්නට වෙයි..

තමා පසු කර යන ඉන්ද්‍රනාථ දෙස බලා සිටි ආරක්ශකයා සිතේ තදකරගෙන තිබූ අවසන් වචන කිහිපයත්  ඉන්ද්‍රනාථ දෙසට දමා ගසයි

" මිනීමරුවා..."

Tuesday, November 20, 2012

ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන් .. අකාල ඉඩෝරයට බට මල් වැස්ස


ආදරයද මේ..... | පන්ඩිත් අමරදේවයන්




ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා..


හිත් දැහැනේ වේලි තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු
ආදරයද මේ.....
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.....

නිල් කටරොළු නිල නැහැවුනු
මල් බර මුදු සුව රජයන
තොල් පෙති කල් පලදාලන
ආදරයද මේ.....
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ.....





කිසිදාක මහලු නොවන ඒ අව්‍යාජ ස්වරයෙන්.. හදවතටම දැනෙන්නට  මගේ වීරයා නැවත ගයයි..

Wednesday, November 14, 2012

වැව රවුම



වළා බැම්මට... ඉවුරෙ ගසකට
කියනු හැකිනම් පෙර දවස් ගැන
මැරුනු ඉපදුනු පෙම් කතන්දර
උන් කියාවිද දැන් මතක් කර
බංකු පොඩියට වද දිදි උන්
ඒ දවස් වල කිව් කතන්දර
ඇවිද යද්දි දැන් මතක් කර දෙන්න හැකිදෝ
කනට ලංකර



___________________________________________________


Time in Sri Lanka: