Tuesday, January 10, 2012

රතු කමිසය




වෙල් යාය පුරාවට වැටෙන එලිය මලානිකය..  ඈතින් ඇහෙන කුරුල්ලෙකුගේ කෑ ගෑමක් හැරෙන්නට වෙනත් හඬකින් කිලිටි නොවෙන  වෙල් යායේ ඈත කෙලවරක  යාන්තමින් රුවක් දිස් වේ.


කඩ මංඩියට ගිය අප්පුහාමි  නියර උඩ කල්පනාවට වැටීගෙන ඇත. ඔහුගේ කල්පනාව ගොයම ගැනය කොතරම් කලත් සතුන්ගෙන ගොයමට වෙන වින වැඩි යැයි අප්පුහාමිට සිතේ.  තෙල් පෝර ගහන්නට උනත් හිත එකලාසයක් නැත. මුදලාලිට පියවන්නට ඇති මුදල සිහි වන විට අලුතෙන් තෙල් ගැසීමද කබලෙන් ලිපට වැටීමක් යැයි අප්පුහාමිට සිතේ.


හීන් ඇඳිරිය වැටීගෙන එයි. කල්පනාවෙන් මිදුන අප්පුහාමි ගෙපැල දෙසට ඇදෙයි




කඩුල්ල අද්දරට ආ අප්පුහාමිට වැලේ වනා ඇති රතු කමිසය පෙනෙයි. ඔහුගේ මුවඟට සිනාවක් නැගේ
"කොල්ලා ගෙදර ඇවිත් "


ගමේ ඉස්කෝලයෙන් විශ්ව විද්‍යාලයට ගිය එකම  පුද්ගලයා රත්නසිරිය. ඒ ගැන ඒ දවස්වල ගමේ මිනිස්සු බොහෝ  ගෞරවයෙන් කතා කල බව අප්පුහාමිට මතකය. ඉගනීමට මහත් දස්කමක් දැක්වූ රත්නසිරි කවදා හෝ රටේ මහ තැනකින් නතර වන බව ගමේ උන් මෙන්ම අප්පුහාමිද  හිස් මුදුනෙන් විශ්වාස කලේය.


 ඒත් හැමදේම වෙනස් වෙන්නට මහා කාලයක් ගියේ නැත. රත්නසිරි අදින පලදින හැටි මෙන්ම කතාවද සෑහෙන්නට වෙනස් විය.  කොන්ඩය පිලිවෙලකට කපා ප්‍රසන්නව සිටි රත්නසිරි මාස ගනනකින් රැවුල හා කොන්ඩය කැපුවේ නැත. කතා බහ කරන ඒවාගේද වැඩි හරියක් අප්පුහාමිට තියා ගමේ උන් වැඩි හරියකට තේරුනේ නැත.
අප්පුහාමි බොහෝම කලබල උනේ රත්නසිරි දකින දකින් කොලුකුරුට්ටන්ට "සහෝදරයා " කියන්නට පටන් ගත්තාට පසුවය ගමේ හැම ගෑනිගේම ලමයින් රත්නසිරිගේ සහෝදරයන් වූයේ කෙසේදැයි අප්පුහාමිට මහත්  ප්‍රහේලිකාවක්  විය. අප්පුහාමි  හාමිනේටද ඒ දවස් වල මුහුණ පෙන්නා කතා කලේ  ඉඳ හිටය. රතුපාට කමිසය රත්නසිරිගේ ජාතික ඇදුම වූයේ ඒ කාලයේය


කඩුල්ල පන්නා ගෙට ඇතුල්වූ අප්පුහාමි  වැල් ඇඳමත දිගාවිය


" හාමිනේ කහට කෝප්පයක් ගෙනාවනම්  මහ දුරක් ගියා වගේ උගුර කටත් වේලිලා "  අප්පුහාමි  පිලිතුරක් නොලබාම ඔහේ කතා කරයි


"මේ  පාරත්  හොයමට සත්තු වහලා මොකක් කරන්නද මන්දා "


 එවර  සිරියාවතිගේ හඬ කුස්සිකෑල්ලෙන් මතු විනි


" ඒ මොකෝ තෙල් ගැහුවෙ ගිය මාසෙ නේද "


''හ්ම්ම්.. ඒත් වැස්ස නිසාද  කොහෙද අනික දැන් තියන තෙල් බේතුත්  සැර බාලද මන්දා "


" අර ඒබරනුත් මන් දැක්කා උදේ මුදලාලියගේ කඩේ පැත්තේ යනවා පහල ලියද්දෙත් එහෙනම් සත්තු වහලා ඇති "


දෙන්නා දෙමහල්ලන්ගේ කතාව අතරේ.. රත්නසිරි  කාමර කෑල්ලේ දොරින් එබිකම් කරයි.


ඕවා බහුජාතික කොම්පැනි වල කුමන්ත්‍රන තාත්තේ..  ආනයනය කරපු  කෘෂි රසායනික වල ආසනික් ඕවා ගහලා අපේ පරම්පරාව විනාශ කරන්න උන් හදන්නේ  කෘෂිකර්ම ඇමතිවරයා ගේ ඉදලා කඩ කාරයට යනකම් බහුජාතික සමාගම්වල මුදලට යට වෙලා . තාත්තලා දැන් වත් මේවට විරුද්ධව නැගිටින්න ඕන..  


අප්පුහාමිට මේවා තේරෙන්නේ නැත ඔහුට තේරෙන එකම දේ ගොයමට සත්තු වසා ඇති බවත්  හෙට අනිද්දාටම  යමක් නොකරන්නේ නම් ඊලග කන්නයම බඩගින්නෙ ඉන්නට වෙන බවත්ය


" අනේ මන්දා පුතේ මට ඕවා තෙරෙන් නෑ මොනා හරි දැන්ම නොකලොත් ඊලග කන්නෙත් බඩගින්නේ . අනික උබේ වියදමටත් සල්ලි එපැයි."


තාත්තලට කවදාවත් තේරෙන් නෑ .. අපී සටන් කරන්නේ ඒ වෙනුවෙන් අද  අපි පැයක් 3ක් පාරවල් වැහුවා.. අද අපේ අධ්‍යාපන ඇමතියට උණ හැදෙන්න ඇති. උන්ට  තේරෙන්නේ ඒ බාසාවෙන් විතරයි.


" සීවරං දෙයි හාමුදුරුවනේ " අප්පුහාමිට  පුදුමයෙන් මුමුනයි.


" ඒ කිව්වෙ මයෙ පුතේ "


" අපි එකපාරක් කිව්වා අපි කියපුවා ඇහුවේ නෑ අද අපි උන්ට තෙරෙන බාසාවෙන් කිව්වා අද මුලු කොළඹම පැය 3ක් පාරවල් වැහිලා  වාහන හිරවෙලා දැන් උන්ට අපි කියන දේ තේරෙයි  "


"ඉතිං පුතේ අද එහෙනම් ඇමතිතුමා වාහනේට වෙලා හිරවෙලා ඉන්න ඇති නේද. මිනිහට හොදටම තරහ යන්ඩ ඇති  "


"ඇමතිලා කොහෙද තාත්තේ ඔය බ්ලොක් අස්සෙ යන්නෙ අනික් උන් පාරවල් වල ඉන්නවයැ "


" එහෙනම්  පුතේ දැන් කිව්වෙ  ඇමතිට හොදටම තේරෙන්ඩ ඇති කියලා "


" ඔව් උන්ට තේරෙන්න ඇති අපේ බලේ "


අප්පුහාමිට මේවා අන්ඩර දෙමලය ඇමති පාරේ නොහිටියානම් ඇමතිට දැනෙන අමරුව කුමක් දැයි  ඔහුට කිසිම අයුරකින් තේරෙන්නේ නැත . එසෙ නම් දුක් විදින්නට ඇත්තේ තමා වැනිම අහිංසකයන්ය මාසෙ පඩියට කඹුරා ගෙදර යන කන්තෝරු කාරයන්ය. පාසල් වලින් ගෙදර යන පොඩි උන්ය.


" ඉතිං පුතේ එහෙනම් දුක් විදලා තියෙන්නේ අහිංසක මිනිස්සුනේ.. "


අප්පුහාමි තමුන්ට වැටහුනු එකම කාරනය වචන වලට පෙරලුවෙ රත්නසිරි දෙස නොබලාය.


තාත්තලාට ඕවා තේරෙන්  නෑ කවදාවත් තේරුම් ගන්නේත් නෑ.  අපි සටන් කරන්නේ  මොකක් වෙනුවෙන්ද කියලා තේරුම් ගන්නකොට පමා වැඩි. 


"උන්ට ඕවගේ අමාරුවක් දැනෙන් නෑ පුතේ  මේ වෙන හැම දෙයක්ම නොදැක්කා , නොදැනුනා වගේ ඉන්න උන්ට ඔවා තේරෙයිද "


රත්නසිරිට දැන් යකා වැහී ඇත. අප්පුහාමිලා නොතේරෙන රත්නසිරිලාට තේරෙන එකම දේ තේරුම් බේරුම් කරගැනීමෙ මහා සටනක් ඔහු  තනිවෙලාය


" එහෙම කියලා හැමදාම අහක බලන් ඉන්නද අපි අපේ සටන අත අරින් නෑ . තාත්තලාගේ ඔය ගතානුගතික කමයි අපිව කන්නේ . අපි හැමදාම අහක බලන් හිටියොත් උන් අපිව පාගලා දානවා උන්ට තේරෙනකම් අපි මේ සටන ගෙනියනවා


රත්නසිරි ඔහේ කියවමින් වැල දෙසට යයි  රතුපාට කමිසය ඇඟලාගන්නා ඔහු පල්ලම් බහි


කඩුල්ල අද්දර නැවතුනු ඔහු යමක් මතක් වූවකු සේ ගෙපැල දෙස බලයි


" තාත්තේ මේක හැමෝටම තේරුම් ගන්න වෙනවා එහෙම නොවුනොත් ඒක අපිටම කරගන්න ද්‍රෝහිකම්ක් මේවා තේරුම් නොගන්න එකා ද්‍රෝහියෙක්...!!   "


රත්නසිරි පල්ලම් බහී අහන් ඉන්නට අහල පහල කිසිවෙකු නැතත්  නියර  දිගේ ඔහු තනිව කියවමින් ඇවිද යනු පෙනේ
සිරියාවතී කහට කෝප්පයත් ගෙන  කුස්සිකෑල්ලෙන් මතු වේ


" මොනවද පුතන්ඩියා කියන්නේ "


" දෝහියෝ කියන්නේ "


" කවුද අප්පේ....  " සිරියාවතී පුදුමයෙන් විමසයි


"  අපි .....!!   "









9 comments:

  1. නියම සටන අප්පුහාමිලා ගෙනියන සටන.
    ඉන් පෙලෙන්නේ ද තැලෙන්නේ ද අප්පුහාමිලාමයි.

    ReplyDelete
  2. එක අතකින් හිනා කාලා මලා..අනිත් පැත්තෙන් ගත්තම ඇඩෙනවා...

    ReplyDelete
  3. නියමයි ..!! මෙවන් රත්නසිරි ගැන ඇති වන්නේ ඇති වන්නේ දැඩි සංවේගයකි ...!! අනේ මන්ද

    ReplyDelete
  4. "නිමි" වෙන්නැති කතාවක්

    ReplyDelete
  5. අප්පුහාමි පව්..
    සිරියාවතී පව්..
    රත්නසිරිත් පව්...අපිත් පව්..

    එතකොට අර කට්ටිය......

    ReplyDelete
  6. දෙමවුපියන් හා දරුවන් භාෂා දෙකකින් කතා කරන්නට ගිහාම ඇති වෙන ප්‍රශ්න. :D
    රතු කට්ටියගෙ ඔය භාෂා ප්‍රශ්නය ගැන කවුරු කොච්චර කිව්වත් ඒ අය තේරුම් ගන්නෙ නැහැ. එහෙම වෙනස් භාෂාවක් කතා කරමින් "ද්‍රෝහීන්ගෙ" හදවත්වලට කිට්ටු වෙන්නටත් ඔවුන්ට බැහැ. හර්ෂණගෙ මේ කතාව හුඟක් ලස්සනට ලියලා. නිදහසේ ගලාගෙන යන කතාව නොයෙක් පැතිකඩවලට අපව විවෘත කරන්නෙ කිසිම ආයාසයක් නැතිව.

    ReplyDelete
  7. ඔන්න අදයි මේ පැත්තේ ආවෙ මම. මූණු පොතේ ලින්ක් එකක් දැකලයි ආවෙ. ෆලෝ පාරකුත් දැම්ම. ආයෙත් එනවා.. ජය වේවා!!!

    ReplyDelete
  8. this is by far the 'Best' piece of writing I've read on the particular subject..
    the demonstration of the tragedy using the humor is remarkably done. keep up the good work !!!

    ReplyDelete
  9. රතු දර්ශනේ ගැන මට අවුලක් නැත .ඒත් රතු ෂර්ට් කාර කොමරේඩ් චේගුවෙරා ලොකු ආපුච්චෙකුත් , මාමණ්ඩියෙකුත් (ඉස්කොලේ යන කාලෙමයි ඒගොල්ලො රතු ෂර්ට් වෙලා තිබ්බේ ඉන්නා පවුලක තුන්වැනි පරම්පරාව වූ මම රතු ෂර්ට් විමේ පලවිපාක පවුලෙන්ම දැක්ක නිසා කැම්පස් රතු ෂර්ට් කාරයන් ගැන නොතැකීමට කල්තියාම සිතුවෙමි .

    පලවෙනි අවුරුද්දේ සිට මේ දක්වා දැන කියාගත් බහුතර රතු ෂර්ට් බැචාලාගේ කල්ක්‍රියාවද මේවගේමය . අමාරුවෙන් පර බාසාවෙන් අපි ඉගෙන ගන්නා විට උන් අපිව සොයන් පන්ති වලට අවුත් බැන වැඩුනේ ධනපතියන්ට කඩේ යන ද්‍රෝහී හැත්ත කියමිනි . අපිත් උනුත් කැම්පස් ආවේ කොලඹින් එපිට ඉස්කෝල වලින් හා සාමාන්‍ය පන්තියේ ( මහ විසාල සල්ලි බාගේ වතු පිටි නැති ඒත් දරුවන්ට උගන්නන්න වෙර දරන ) දෙමවුපියන්ගේ දරුවන් ලෙසින් බව අමතක කර තිබිණි . ශිෂ්‍ය සංගම් ඡන්ද ගුටි කෙලි වලින් ඉවර වූ විට එකෙක් දෙන්නෙක්ගේ පන්ති තහනම ඉවත් කරන්න තර්ස්ටන් පාරේ අට්ටාල ගහන් කරන උපවාස වලට අපි එක් නොවූ විට ධනපතියන්ට කඩේ යන අලයන් කියමින් අපිට කුණු බිත්තර ගැහුවා මතකය .ඔය ඔක්කොම කෙලි මැද මට හිතුනේ ලංකාවේ රතු දර්ශනේ පියවරුන් යයි මුන්දැලා හඳුනවන සියලුම සහෝදරවරු අර පර බාසාවෙන් එකී දර්ෂනේ හදාරා විචාරා පොත් පත් ලියා බුද්ධිමය සංවාද කර ඇති බවයි .උන්ගේ සහෝදරවරුන්ට එය හොඳය .සාමාන්ය අපිට පර බාසාව නරකය .

    සේරම නාඩගම් නටා දැන් පාස් අවුට් වී කාලේකට පස්සේ හමුවෙන විට අර ධන්පතියන්ට කඩේ යන ද්‍රෝහී කතා මතක නැත .අපිට පෙර පැනලාම අපි එක්ක පර බසින් දොඩන්නේත් උන්මය . අර කිලුටු කමීස වැරහැලි ඉවතලා බ්‍රෑන්ඩඩ් ශර්ට් ඇඳන් පිලිවෙලට ඉන්නෙත් උන්මය . අපිට වඩා හොඳින් ධනපතියන්ට කඩේ යන්නෙත් උන්මය .එක අතකට ඔවුන් මෙහෙම හෝ මොලේ පෑදී පිලිවෙලක් වීම හොඳය . රතු කමීස ගලවා බ්‍රෑන්ඩඩ් ශර්ට් අඳීම හා මුන්දැලාගේ ට්‍රැක් එක මාරු වීම ගැන මම නම් කිසි විට උපහාස නොකරමි . අර හීන මාන අදහස් එක්ක රතු දර්ශනය පටලාගෙන ඩෙඟා නටනවාට වඩා මෙහෙම වීම යහපතකි .

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: