Thursday, February 16, 2012

පාට බැලුන්




මලානික හිරුගේ අන්තිම කිරනත් මුහුදේ කෙලවරකින් ගිලා බහින හැටි සෝමසිරි බලා සිටියේ  ජීවිතයේ තමුන්ට වඩාත් හුරුපුරුදු ඉසව්වක සිටය. තිස් පහකට එහා ගෙවුන මේ ජීවිතයෙන් බොහෝ පංගුවක් මේ මහා වෙරළ කෙලවරක ගෙවන්නට සෝමසිරි තීරනය කලේ  ජීවිතයේ බොහෝ තැන්වලට ගැලවෙන්නට මෙන්ම  හිරවෙන්නටද  වූ කල තමාට පිහිට උනු එකම ඉසව්ව මේ වෙරළ වූ නිසාවෙනි.... 


රළ නැගෙන බිදෙන හඬ  අතරේ පොළව දෙදරවාගෙන රේල්ලුවක් හැල්මේ දුවයි.   මලානික  අහස දඩබ්බරයැයි විටෙක සෝමසිරිට සිතේ .. නැවත යාමට සිතක් නැතත් අහස විසින් නවාතැන්පලට පාර පෙන්වා ඇත.


දෑතට බරදී හිඳ සිටි ගල් කුලින් නැගිටගත් සෝමසිරි.  සෙමින් වෙරළ තීරයෙන් එපිටට අඩි තබන්නට විය..

" මහත්තයා........ ලේන්සුව ........... "

ආගන්තුක කටහඬකින් තිගැස්සුනු සෝමසිරි වහා හැරී හඩ ඇසුනු දෙසට විමසිලිමත් විය

අපිලිවෙල කොන්ඩයකින් , නොගැලපෙන කලිසමකින් , ගැලපෙන සිනාවකින් යුතු  කොලූ ගැටයෙක් සෝමසිරිගේ ලේන්සුව එක් අතකින් දිගු කොට ගෙන සිටී. කොලුවාගේ අනික් අතේ ඉහලට ඉපිලෙන බැලුන් පොකුරකි..

" අහ්... ලෙන්සුව අමතක උනා .. ගොඩක් ස්තූති.. "

අපිලිවෙල කොලු  ගැටයාට  සිනාවකින්ද සංග්‍රහ කල සෝමසිරි ලේන්සුව සාක්කුවට  රුවා උඩු සාක්කුවේ වූ රුපියල් විස්සෙ කොලයක් කොලු ගැටයා දෙසට දිගු කලේ කොලුවා ගැන අනුකම්පාවක් ඒ වන විටත් සෝමසිරිගේ හිතේ පහල වී තිබුන නිසාවෙනි ... 

" මහත්තයට වැඩේ පාඩුයි .."

කොලුවා නැවත සිනාවෙයි..

" ඒ මොකද "

"ලේන්සුවක් රුපියල් විස්සක් වෙන්නේ නෑ නේ " 

කොලුවා නැවත සිනාවෙයි . සෝමසිරිගේ මුවගටද සිනාවක් නැගේ....

" හරි එහෙනම් රුපියල් විස්සට බැලුමක් දෙන්න " 

" එක බැලුමක් පහයි මහත්තයට බැලුම් 4ක් දෙන්නද නැත්තං බැලුමක් එක්ක ඉතුරු සල්ලි දෙන්නද "

සෝමසිරිට කොලුවා ගැන ඇතිවූයේ දුකකි .  සමාජයේ බොහෝ තැන්වල ගැටෙන සෝමසිරි  සමාජයේ හයි කාරයන්  , එදා වේල ගැටගහගන්නන් මෙන්ම  බෝක්කු පාලුවන් , පික් පොකට් කාරයන්ද  එක සේ දැක  ඇත . ඒ ජීවිත කිසිවකට සමාන නොවූ මේ කොලු ගැටයා ගැන සෝමසිරිගේ හිතේ ඇති වූයේ  අනුකම්පාවකි.. 

නැවතත් මුවගට සිනාවක් නගා ගත් සෝමසිරි කොලු ගැටයා දෙසට සමීප විය

" පුතා කොහෙද ඉන්නෙ  "

" සිට්ටු වත්තේ"

" ස්කෝලෙ යනවද "

කොලුවා නැවත සිනාසෙයි

" යන්ඩනම් තිබ්බා මහත්තයා හැබැයි එහෙමනම් කන්ඩ වෙන්නෙ නෑ "

" හ්ම්ම්ම්.....  අම්මා තාත්තා මොකද කරන්නේ "

" තාත්තා නෑ ...  අම්මා  හිඟා කනවා "

" මොකක් හිඟා කනවා "

" ඔව්.. කුලී වැඩත් කරනවා ගොඩක් දවසට වැඩ හම්බවෙන්නේ නෑ . එදාට අම්මා ගිගමනේ යනවා "

සෝමසිරිගේ දෙනෙත් අතරේ කොලුවාත් මහ මුහුදත්  අදුරත් මැදිවී ඇත.  ජීවිතයේ අනේක දුක්  විදින සමාජයක පංගුකරයෙකු  සෝමසිරි හා කතාබහකය.  සමාජය විසින් තලන පෙලන ලදුවද කොලු ගැටයා සිනාමුසු මුහුනින් ලැබුනු ජීවිතය පිලිගෙන ඇත්තාක් මෙන් ඔහුගේ හැසීරීම  දෙස බලා සිටින සෝමසිරිට හැගේ.

" පුතා මොකද කරන්නේ .. මේ බැලුම් විකුනන එක විතරද "

" නෑ කොටුව් කඩේක උදේට වැඩ කරනවා. හවසට මෙතනන්ට එනවා "

" මෙතන බිස්නස් සරුද "

නැවතත් සුපුරුදු සිනාව පාමින්.. එක් අතක්  කලිසම් සාක්කුවට යවන කොලු ගැටයා  ගුලි කරගත් නෝට්ටු කොල කිහිපයක් සෝමසිරිට පෙන්වයි.

" මේ තියෙන්නෙ මහත්තයො පුපුරන සල්ලි "

" පුපුරන සල්ලි කිව්වෙ " සෝමසිරි විමතියෙන් ප්‍රශ්න කරයි

" පුපුරන සල්ලි කිව්වෙ මහ්ත්තයෝ පොඩි බබාල වැඩි දවසට ටිකක් සරුයි බැලුමක් අරන් විනාඩි 5න් ඒක පුපුරවගන්නවා , ඉතින් ඒ ලමයි අඩන නිසා අම්මාලා තාත්තලා ආයෙම බැලුමක් අරන් දෙනවා"

සිනාවෙන කොලු ගැටයා දෙස බලාගෙන සෝමසිරිද සිනාසෙයි

"පුපුරන සල්ලි" සෝමසිරිද එවදන මුවින් පිටකලේ කොලු ගැටයා එහි අර්ථය ලබා දුන් අයුරු නැවතත් සිහි කරමිනි.

" කොහොම වුනත් ඔයාලට සරුයි නේ.. මෙතෙන්ට ලමයි කී දෙන්ක් එනවද "

" මොන සරුද මහත්තයා අපි ජීවත් වෙන්නේ මහත්තයලා විසි කරන සල්ලි වලින් "

"විසි කරන සල්ලි වලින් කිව්වෙ "

" මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්... දැන් මහත්තයා මගෙන් බැලුවමක් ගත්තෙ වැඩකට නෙවෙ නේ. ඒ වගේම මෙතෙන්ට එන ගොඩක් අයත් බැලුම් ගන්නෙ නිකං කරන්න දෙයක් නැතුවට. හැබෙයි මහත්තයෝ අපි වේලක් කන්නේ මහත්තයලට වැඩක් නැති සල්ලි වලින්"

කොලුවා දිගටම කියවයි කොලුවා ඉදිරියේ ලදරුවකු වූ සෝමසිරි කොලුවා දෙස ආයසයෙන් බලා සිටී

"දැන් බලන්න මහත්තයෝ අපේ අම්මා දුක කිය කිය රුපියලක් ඉල්ලුවාම නොදෙන මිනිස්සු  මං ලගට ඇවිත් බැලුම් අරන් පුපුරවනවා. 
අතන තියන කෝපි හට් එකට ගිහින් කෝපි එකක් බීලා වෙටර්ට රුපියල් පනහ හැට ටිප් දෙනවා.  ඉතිං අපිට කොහේ සරු වෙන්නද මහත්තයෝ."

අදුරට කොලුවාගේ මුහුන හරි හැටි නොපෙනේ . අදුරේ වුවත් කොලුවාගේ අතින් ඉහලට ඉපිලෙන  බැලුම් පාටින් දිදුලයි. 

දූවිලි අවුස්සමින් පැමිනි බස් රියක් රිය ගාලේ නතර කරනු පෙනේ කොලුවාගේ දෙනෙත් ඒ දෙසට යොමූ වේ.

මහත්තයා අන්න සෙට් එකක් ආවා මං ඒහෙට යනවා මහත්තයට බැලුම් 4ක් දෙන්නද ..

"එපා.. පුතා සල්ලි තියාගන්න "

"එන්නම් මහත්තයා .." සුපුරුදු සිනාවෙන්ම සෝමසිරිට සංග්‍රහ කල කොලු ගැටයා හැල්මේ බස්‍ රිය දෙසට දිවයනු පෙනේ.


මහ මුහුදේ ඈ..ත කෙලවරක කුඩා එලියක් දැල්වෙනු නිවෙනු පෙනේ. ඇතැම් විටක එය ඔරුවක් විය හැක.  සුපුරුදු මගට පා හරවාගත් සෝමසිරි නවාතැන්පල කරා පා යොමු කරවන්නට විය.

මද දුරක් ඇවිද ගිය සෝම සිරි කොලු ගැටයා සිටින ඉසව්ව දෙසට නෙත් යොමන්නට විය 

කුඩා දරුවකු වඩාගත් තැනැත්තෙක් කොලු ගැටයාගෙන් බැලුමක් මිලදී ගනිමිනි සිටිනු පෙනේ..

සෝමසිරිගේ මුවඟට සිනාවක් නැගේ

" පුපුරන සල්ලි "


______________________________________________________



5 comments:

  1. හ්ම්ම්ම්....ඇත්ත .....
    අපි නොහිතන, ඒත් හිතට ගන්න ඕන දෙයක්, හිතට වදින විදියට, හරිම අපූරුවට පෙළගස්වලා...

    ReplyDelete
  2. හුඟක්විට නොහිතන, නොහිතෙන පැත්තක්, ලොකු ලොකු වචනවලින් නැතුව.

    ReplyDelete
  3. "ලොකු ලොකු වචනවලින් නැතුව" සහතික ඇත්ත!!!

    ReplyDelete
  4. මල්ලියේ, මේ කතාව කියවන තුන්වන දවස අද, කීප වතාවක්ම ආවේ සටහනක් තියලා යන්න. ඒත් නුඹේ ලිවීමෙන් මතුකරන පරිසරය තුල ජීවත්වෙලා, ගොළුවෙලා ආපහු යනවා. නිතර පෙනෙන දේවල නෙපෙනෙන පැත්ත පෙන්වන්න සමත් හර්ෂණ ලාංචනය සහිත ලිවීමේ රටාවට මා ගොඩාක් කැමැතියි.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: