Wednesday, July 24, 2013

PROUD TO BE SRI LANKAN ... නොහොත් අපේකම




                             තුන් වැනි ලෝකයේ ඉතා සිග්‍රයෙන් දියුනු වෙනවායැයි කියන අපේ රට ගැන අපි ඉතාමත් සතුටු ව්ය යුතුය. ඒ බව අනෙකාටද කියා දිය යුතුය.  ඒ නිසාම අපේ ඇත්තෝ දකින දකින තැන PROUD TO BE SRI LANKAN කියති. දකින දකින තැන PROUD TO BE SRI LANKAN කියා අලවති. ඒ අපේ ජාතික කැක්කුමය. අපේ ජාතික කැක්කුම අඩු වැඩි වන කාල වකවානු ඇත. ගොඩ වෙදකමේ විස නගින බසින කලාව මෙන්ම. ජාති ආලයේද නගින බසින කලාවක් ඇත.  ජාති ආලේ කැක්කුමේ නැග්ම බොහෝ විට පටන් ගන්නෙ ඕනෑම වසරක පෙබරවාරි මුල් වන විටය.  තුන් රෝදයේ , ප්‍රයිවට් බසයේ ,  කඩේ අගුපිලේ , ඇන්ටනා බටයේ ඒ ඒ කාලයට අපේ අභිමානය ආඩම්බරය ලොවට කියා පායි.  බොහෝ විට පෙබරවාරි 5න් පසු කැක්කුම අඩු වන කාලයේ ආරම්භය වන අතර .. කැක්කුම නිට්ටාවට සුව වෙන කාලය වන විට එල්ලා මරන ලද සිංහ පෝතකයෝ ඇන්ටනා බට වලටම දියවී ගොස් අවසන්ය. ප්‍රභාකරන් වල පල්ලට යැවූ කාලයද ජාති ආලයේ කැක්කුම බොහෝ වේදනා ගෙන දෙන කාල සීමාවකි. මීට අමතරව රට පාලනය කරන ඇත්තෝ ජාතියට කැක්කුම අවශ්‍ය වන ඔනෑම වේලාවක එය ලබාදීමට නොමසුරුව කටයුතු කරනු දකින්නට ඇත. එවන් ජාතියක් හැම විටම PROUD TO BE SRI LANKAN කියා කීමෙහි වැරැද්දක් නැත පුංචි අඩුපාඩුවකට ඇත්තේ ඒක කියන්නේ ඉංගිරීසියෙන් වීමය. 
         
             එක අතකින් බලපුවාම ඒකෙත් ඇති වැරැද්දක් නැත. අපේ කැරැට්ටුව ගැන අපි කොහොමත් දන්නා එකේ මව් බාසාවෙන් ඕව්වා ලියා කියා පලක් නැත. අපේ ආඩම්බරේ ගැන හැම එකාටම වැටහෙන බාසාවෙන් ලියා කියා දැමිය යුතුය. . වත්ත වටේ රට වටේ ඉන්නා උන් අපේ තරම දැන ගන්නේ ආං.. ඒ වේලාවටය. ශ්‍රී ලාංකිකයෙක් වීම ආඩම්බරයකි... ඇත්තය එහෙව් ආඩම්බර කමක් මට උපන්තේකට දැනී නැත. උදේ නැගිට්ට වෙලේ සිට පැදුරට වැටෙන වෙලාව දක්වාම අපි ජීවත් වෙන්නේ ඒ ආඩම්බරය ඉස්මුදුනේ තබාගෙනය. අපි ආඩම්බරකාර ජාතියක් වීමට බොහෝ හේතු කාරනා ඇත . ලෝකයේ අනික් උන් අතරින් අපි හෙන අභිමානවත් ආඩම්බරකාර ජාතියක් වන්නේ මෙන්න මේ හේතු කාරනා  නිසාය.

අපි අභිමානවත් ආඩම්භරකාර ජාතියක් වන්නෙමු.. එබැවින්

අපි සෑමදෙයක්ම සෑමවිටම අපි වෙත ලැබෙනතුරු ලබා දෙන තුරු කොටින්ම කියනවනාවම් නිකං දෙන තුරු  බලා ඉන්නන් වෙමු. එහෙම කියන එක අපේ ආඩම්බරේට මෙව්වා වනබැවින් අපි එවාට ආඩම්බරයෙන් ඇමතිය හැකි වචන කිහිපයක් හදුන්වාදුන්නෙමු " සහනාධාර, ආධාර " ඒ ලැයිස්තුවේ ආඩම්බරම වචන කුට්ටමයි.  උදාහරනෙකට කියනවානම්  " අ " යන්න කියන්නට පෙරපාසල් යැවූ දා පටන්  පෙට්ටිය වසා අඩි පහේ වැලලෙන තුරු අපි සහනාධාර ආධර යන පද දෙකට මව පියාට මෙන් සලකන්නෙමු. කොටින්ම කියනවානම් අපේ ආඩම්බරයට නිකං දෙනවානම් නියගලා අල උනත් තම්බලා කන්නට අපි මැලි නොවෙන්නෙමු. අපි එහෙව් ආඩම්බර කාර ජාතියක් වෙන්නෙමු.  අපි එතනින් නවතින්නෙ නැත  අපිට බෙහෙත් ටික නිකංය  එ නිසා බොකූ දිරාස් වෙන්නට වියදම් කොට සව්දිය පිරිය හැක. අධ්‍යාපනේ නිකංය. නිකං කියලා කිව්වට පොඩි පොඩි වියදම් ඇත ලමයා එක වසරට දාන්නට වියදම් වෙන්න ලක්ශ දෙක තුනද. මාසෙකට ගෙවන තුන් හාර දාහද ඇරෙන්නට අධ්‍යාපනේ සම්පූර්න නොමිලයේය. මේවා ගැන හිතද්දී ආඩම්බර කමට මගේ මයිල්ද කෙලින් වෙනවාය.

ගෙදර වටේ කානුවක කොල හිරවූ විට.. වත්ත කොනේ පොල් කටුවක් දුටු විට , වත්ත කොනේ වැවුන පදුරු  දුටු විට  අපි ඔක්කොටම කලින් අතට ගන්නේ .........

" උදැල්ලය.... " 


කවුරු හරි එහෙම හිතුවානම් ඒක බොහොම වැරදිය අපි එහෙම ආවාට ගියාට උදලු අතට ගන්නා ජාතියක් නොවෙන්නෙමු.  අපි ඒ වෙලාවට අතට ගන්නේ අඩි කෝදුවය.  අඩියෙන් අඩිය පියවරෙන් පියවර ඉඩමේ ප්ලෑන් කොපිය හා පැය ගනන් ඔට්ටු කර අපි ආවසන් තීරනයකට එන්නෙමු , 

" ඒ කුනු අරන් දාන්න ඕන අල්ල්පු ගෙදර එකා " ඒකමතික ජන්දයෙන් ඒක සනාථ වන්නේය

අල්ලපු ගෙදර එකාද අරින්නේ නැත කෝණමාන , කවකටු , අන්වීක්ශ සියල්ල යොදා ඌද නිගමනයකට එන්නේය..


" මේවා අයින් කරන්න ඕන ප්‍රාදේශිය සභාවෙන් "

අපේ ආඩම්බරේ දිග පලල අන්න එහෙමය..... 

මාසයක් දෙකක් යනකොට ගෙදරට වතුර පාරක් ගලා එන්නේය.. ඩෙංගු මදුරුවන් බජව් දාන්නට පටන් ගන්නේය.. ඒ වෙලාවට අපිට ආඩම්බරකාර කේන්තියක් දැනෙන්නේය.

වහාම කොලයක් පෑනක් ලංකරගන්නා අපි පිලිවෙලින් පලාත් සභාවට , අගමැති කාරියාලයට ඉන්පසු ජනාධිපති කාරියාලයට මෙසේ ලිපි පෙලක් ලියන්නෙමු .



ආඩම්බරකාර මහජනයා
ලෝකෙන් උතුම් ගම
සිරි ලංකාව


ජනාධිපතිතුමා
ජනාධිපති කාරියාලය
කොළඹ


කානුවේ හිරවූ කුනු සුද්ධ කිරීමට පලාත් සබාවට නොහැකී වීම හා කුනුකසල ඉවත් නොකිරීම නිසා ඇති වූ ව්‍යසනයට ආධාර ලබා ගැනීම


ජනාධිපති තුමනි,

                               ආඩම්බරකාර ජනතාවක් වූ අප විසින්  පෙර වැරදි නොසලකා ඔබ තුමා විසින් ලබා දුන් සියලු පොරොන්දු දේව වචනය සේ සලකා මෙවරද ඔබතුමා ඔය පුටුවේ ඉන්ද වූයේ අපගේ ආඩම්බරකම රැකගැනීම උදෙසාය. එහෙව් එකේ අපේ කානුවේ හිරවූ කුනු පලාත් සබාවෙන් ඉවත් නොකිරීමෙන් අපට සිදුවූ හානිය සුලුපටු නොවේ. එමෙන්ම වත්ත මායිමේ තිබූ පොල් කටු සැමන් ටින් වලින් ඇතිවූ ඩෙංගු හානිය නිසා ඖෂධ වියදම් කිරීමට සිදුවූ සිදුවූ මුදලද අති මහත්ය. කානුවට උදැල්ලක් දමා කානුව සුද්ධ කිරිම , ටින් බෙලෙක්ක එක්කහු කිරිම ආඩම්බරකාර ජාතියකට වටින්නේ නැත. අප විසින් ආන්ඩුවක් බිහි කරන ලද්දෙ එබැවිනි. එම නිසා අපට සිදුවූ හානිය වෙනුවෙන් නිසි වන්දියක් අනුමත කරන මෙන් ඉල්ලා සිටිමි


මීට විශ්වාශී

අභිමානවත් ආඩම්බර
මහජනයා





අපේ ආඩම්බරකම එතනින් නවතින්නෙ නැත.. ටවුමේ කඩෙ. ආන්ඩුවේ කන්තෝරුවේ ඉන්නේද අපෙම ගති තියන ඇත්තෝය. කඩේට ගොස් පාන් රාත්තලක් ඉල්ලු විට මුදලාලි කව්ද වැඩ කරන එකා කවුද කියා නිච්චි තියන්නට බැරිය ඒ තරමට දෙන්නා එක තරමට ආඩම්බරය. ආන්ඩුවේ කන්තෝරුවේ තත්වේද ඕං ඕකය. එහෙම කියා අපී ඔවාට කිසි දාක දොස් කියන්නෙ නැත. මොකද අපිට පොදු තේමා පාඨයක් ඇත ඒ.. PROUD TO BE SRI LANKAN කියාය. එහෙව් අපේ ආඩම්බරකාරකම් ගැන ලියනවානම් ලියන්නට පොත් පටන් විස්තර ඇත . ඒවා මෙතනින් එහාට නොලියන්නේද මගේ ආඩම්බරකාරකම නිසාය.





                         
                       

3 comments:

  1. හිතෙන දෙ කියන්න ලජ්ජයි ඔයි

    ReplyDelete
  2. ඔන්න ඔහොමයි වෙන්නේ අයියේ.. ඔව්වා කතා කරන්න බෑ ඔයි. ආඩම්බරයි ලංකාව ගැන. :D

    කුඹුරත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ දුක...

    ReplyDelete
  3. චී......... යකෝ රෙදි ගලවනවා කියලා ඔහොමත් කරනවද..

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: