Friday, December 26, 2014

සුභ නව වසරක් වේවා




සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු
මා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව

ලබන්නා වූ නව වසර ඔබ සැමට ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා

Sunday, December 14, 2014

තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.



ඉරිතලා වැටුනු ගං ඉවුරු දිගේ
අපි ඔහේ ඇවිද යමු මතක දිගේ
නුබට මතක නැති මට අමතක නැති
මතක පොතේ පිටු යලි පෙරලන්නට
යොදුන් ගනන් දුර හෙමින්  ඇවිද යමු
එදා මතක යලි හිතට නැගෙන තුරු


 දිනෙන් දිනට දින පොත පෙරලා හරි
යලිත් මවන්නම් එදා දවස් යලි
රෑ අහසේ පුන් සඳකි නුබේ සිරි
ලඟ ඉන්නම් තරුවක් විලසින් හරි


හිතක් පිරෙන්නට ඇතත් මතක පොදි
එදා ලගින් ඉඳ පෙමින් බැඳුන හැටි
හෙමින් හෙමින් මතකෙට නැගෙනා හැටි
බලං ඉදිමි මම ගෙවෙන තුරා දිවි




කවියේ කතන්දරේ -

ටික කාලෙකට කලිං අපේ අම්මට ලොකු ඔපරේශන් එකක් කරන්න උනා. මොලේ තිබ්බ ගෙඩියක් ඉවත් කරන්න ඉතිං ඒ දවස් වල ඉස්පිරිතලෙ සහ ගෙදර කියන්නෙ දෙකම එකක් වගේ. උදේ ඉස්පිරිතාලෙට ගියාම ආයෙ එන්නෙ මහ රෑට.  ඔය වගේ ගිය දවසක  මම ඉස්පිරිතාලෙ බංකුවකට වෙලා ඉදගෙන හිටියා. මොකද අම්මා හිටිය වාට්ටුවට යන්නෙ පාස් වලින් වරකට දෙන්නා ගානෙ.  ඒ වෙලාවෙ මම හිතන්නෙ ක්ලිනික් එකකට ආව තරුන වයසෙ ජෝඩුවක්  මං කිට්ටුවම  උන්නා. ගෑනු ලමයගෙ හිසේ සැත්කමක් කරපු සලකුනු තිබුනා. කොල්ලා තොරතෝංචියක්  නැතුව කියවනවා කෙල්ල බොහොම අහිංසක විදියට හිනා වේගෙන උත්තර දෙනවා.. 

කොල්ලාගෙ හැම ප්‍ර්ශ්නයක්ම වගෙ ඉවරවෙන්නෙ " ඔයාට මතකද ? "  " ඔයාට මතකද ? " කියලා ඔවුන් ගියපු තැන්  ඔවුන්ගේ නෑදෑයෝ  මතක් කරමින් කොල්ලා ප්‍ර්ශ්න අහනවා..

ගෑනු දරුවට ඇත්තටම මතක නෑ ඒත් කොල්ලගෙ හිත රිදෙයි කියන එකයි තමන්ට මොකද වෙලා තියෙන්නෙ කියන දෙගිඩියවෙනුයි කෙල්ල හැම එකටම උත්තර බදිනවා..


එදා මං හිටපු ප්‍ර්ශ්න ගොඩත් එක්ක මට ඒක එක සිදුවීමක් උනත්.. අද අහම්බෙන් ඕක කල්පනාවට ආව. 

තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.....


Thursday, December 11, 2014

බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන



බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන
බලන්න සිතක අරුම සල්ලි වලට බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න බූදලේ සොයා ඔබත් පනින්න

යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
මිනිස් මොලේ සයිස් එකෙන් පුං‍චි වී ගියා
එහෙන් මෙහට ඇදන බඹරු නොදැක ඇස පියා
බලන්න සල්ලි මිටියේ දකින රහස


කොහෙන් පැමිණ කොහේ යයිද දන්නෙ නෑ
එහේ හොඳද මෙහේ හොඳද අපිම දන්නෙ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
සොයන්නෙ මොකටද අපි පනිනා ඇත්තන්ගෙ රහස



Friday, November 21, 2014

රූකඩ ලන්තේ

(pics -.puppet.lk)


                එකෝමත් එක රටක එකෝමත් එක කාලෙක  නපුරු මන්තරකාරයෙක් හිටියා.. නම ඇහුවත් මිනිස්සු බය වෙන  මේ මන්තරකාරයාව... පාර තොටකදි දැක්කත් මිනිස්සු හැංගෙන්නයි පුරුදු වෙලා තිබ්බෙ. ඒත් එකෝමත් එක දවසක  ඒ කතාව වෙනස් උනා.  ඒ ගමට ආපු අලුත් මන්තර කාරයෙක්  පරන මන්තර කාරයට අභියෝග කලාට පස්සෙ.

ඒ අභියෝගෙන් බොහෝම තදේට තරහ ගිය නපුරු මන්තර කාරයා ගේ මුල්ලේ තිබ්බ කොස්සට මතුරලා අසුරු සැනින් අහසට නැග්ගා..  විනාඩියක් වත් පරක්කු නොවුනු අලුත් මන්තර කාරයත් ගෙයක් පිටිපස්සෙ තිබ්බ ඉදලකට මතුරලා අහසට නැග්ගා..  දැන් සටන බොහෝම තදේට නැගලා යනවා. තම තමන්ගේ මන්තර යශ්ටී වලින් ගිනී පිටවෙන පහරවල් එල්ල කරන ගමන්  තම තමන්ගේ පුරසාරම් දොඩවන එක තමා දිගින් දිගටම උනේ. ගමෙ හැමෝම ඉඩකඩ තියන පිට්ටනියකට වෙලා මේ සටන දිහා බලන් ඉන්ඩ උනා. ටිකෙන් ටික වෙලාව ගතවෙනකොට සෙනග වැඩි උන නිසා බෝල ලොසින්ජර., කඩල . වඩේ , අයිස්ක්‍රීම් කාරයොත් ටික ටික පිට්ටනියෙ පිරෙන්ඩ උනා. කොහොම වෙතත් ගොඩක් අය හුරේ දැම්මේ අලුත් මන්තර කාරයට. බෝහොම තදේට කේන්ති ගිහින් හිටිය පරන මන්තර කාරයා මේ වෙලාවෙ හිටියේ තරහ වැඩි කමට තම්න් පාලනය කරගන්ඩ බැරුව. ගමේ මිනිස්සු අලුත් මන්තර කාරයට හුරේ දාන එක දාරාගන්ඩ බැරුව පුපුර පුපුරයි පරන මන්තරකාරයා හිටියේ.

අන්න ඒකෙන් ප්‍රයෝජන ගත්ත අලුත් මන්තර කාරයා කල් යල් බලලා. තමන්ගේ මන්තර යශ්ටියෙන් ගිනිපිටවෙන පහරක් එල්ල කලා.  ඒ පහර කෙලින්ම වැදුනෙ තරහෙන් පිපිරෙන් පරන මන්තර කාරයට. උනදේ හිතාගන්ඩත් කලින් අඩි සිය ගානක් උඩ ඉදලා පරන මන්තර කාරයා පහලට විසි උනා. මිනිස්සු ඔල්වරසන් දෙන්ඩ පටන් ගත්තා..  ඒත් එක්කම පරන මන්තර කාරයගෙ අතින් ගිලිහිච්ච මන්තර යශ්ටිය  උඩුහුලගෙන් ගහගෙන ඇවිත් ගමේ රූකඩ නටවන පිංතු මාමගේ ගෙදර වහල උඩට වැටුනා.

ඔන්න දැනුයි කතාව පටන් ගන්නේ...........

පිංතූ මාමලගේ ගෙදර වහල උඩට වැටුන මන්තර යශ්ටිය කෙලින්ම වහල හිල් කරන් වැටුනේ රූකඩ ගොඩ ගහලා තිබ්බ කාමරේ ඇතුලට. එක පාරක් බිම වැටුනු යශ්ටිය ආයෙම උඩ විසිඋනා.. ඒත් එක්කම  ඒකෙන් මතුරලා තිබ්බ අන්තිම මන්තරේ හීයක වේගෙන් රූකඩ ගොඩ පැත්තට ඇදිලා ගියා.. 

ගත උනේ විනාඩී කීපයයි .. මෙන්න එකින් එක රූකඩ වලට පන එන්න පටන් ගත්තා..

ඔලු කරක කරක කල්පනා කොරන්ඩ දෙයක් නෑ. වෙලා තිබ්බේ  මේකයි  පරන මන්තර කාරයා බිම වැටෙන්න කලියෙන් සැලසුම් කලේ  අලුත් මන්තර කාරයා නැගලා හිටපු කොස්සෙ ලී මිටට පන පොවලා මන්තර කාරයා බිම දාන්න ඉතිං මනුස්සයගෙ අන්තිම මන්තරේ උනේ.  " ලී මිටට පන පොවන් " කියලා ඉතිං එතනින් එහාට වෙච්ච දේ ගැන අමුතුවෙන් කියන්ඩ ඕනයැ.


කොහොමෙන් කොහොමෙන් හරි පන ආපූ රූකඩ බෝම සන්තෝසෙන් එකිනෙකා දිහා බලා ඉන්ඩ උනා.  මේ සතුටු අවස්ථාවෙ වහාම ඉදිරිපත් වෙච්ච බහූබූතයා. හැමෝවම හිනස්සලා පිනුමක් ගැහුවා..

ඒත් එක්කම ඔන්න ටිකක් ගැඹුරු කටහඩක් ඇහුනා

" මිනිසුන් ඒමට ප්‍රථම අප වහාම මෙතනින් පලා යා යුතුයි "  ඒහෙම කිව්වෙ රූකඩ රජා..  ඒත් එක්කම 
"එහෙමයි රජතුමනි " කියලා රූකඩ ඇමති හැරෙන තැපෑලෙන් ඒක ස්තිර කලා..

රූකඩ උනත් රජා කියපු දේ අහලා රූකඩයෝ ටික සේරම රජා පස්සෙන් යන්ඩ පටන් ගත්තා..  ගෙදර දොරින් එලියට පැනගන්න එක අමාරු නොවුනේ ගෙදර මිනිස්සු මන්තර හටන බලන්න හදිස්සියට දොරවල් ටිකත් ඇරදාල දුවලා තිබ්බ නිසා. ඉතිං පාරට බැහැපු ගමන් පොලිස් රූකඩයා පාරට පැනලා සෙනග හසුරවන්ඩ පටන් ගත්තා..

" දකුනෙන් යන්ඩ දකුනෙන් යන්ඩ.. පුලුවන් තරම් පාර අයිනෙන් යන්ඩ.   "  ඒත් සෙනග ආම්බාන් කරන එක ලේසි උනේ නෑ.. කී දෙනෙක් නම් කියලද කාමරයක් පුරවලා තිබ්බ රූකඩ නේ. බෝහෝම කරදරයක් වෙලා තිබ්බේ ජස රූකඩයා.. ඒ වෙනකොටත් වෙරිමරගාතේ හිටිය ජසරූකඩයා පාරට බැහැලා කෑ කෝ ගහන්ඩ උනා ලෙන්චිනා නෑ කියලා. ලෙන්චිනා ඒ වෙනකොටත් උන්නෙ රජතුමා පිටිපස්සෙ වැටිලා. අන්තිමට උනේ බොහෝම තරහෙන් ආව පොලිස් රූකඩේ ජස රූකඩයගෙ හොම්බට දෙකක් දුන්න එක. අන්තිමට දඩ කොලේකුත් ලියලා අතට දුන්නා .. ඒකෙ තිබ්බෙ   " මහ මග අවීනීතව ලෙස රූකඩ නැටීම කියලා " එතනින් පස්සෙ නම් ජස රූකඩයා සද්ද වහලා පිරිස පිටිපස්සෙ ඇදුනා . විටින් විටේ හැබෙයි සුටු සුටු ගාලා කාටදෝ බැන්නා. ඒකත් හොරෙන්.


කොහොමෙන් කොහොමෙන් හරි  ගම පහුකරලා කැලෑවෙ සෑහෙන දුරක් ආවට පස්සෙ රූකඩ රජා  කට හඩ අවදි කරා..
" මෙතන හොදයි අපේ අලුත්  රාජධානිය පිහිටවන්ඩ "

වචන පේලිය ඉවරවෙන්ඩත් කලින් පැනපු රූකඩ ඇමතියා " එහෙමයි රජතුමනි අලුත් රාජධානියට කියාපු තැන " කියලා යෝජනාව සම්මත කලා..

රැස්වෙලා හිටපු අනෙක් රූකඩයෝ ටිකත් රජානේ කිව්වෙ කියලා එක හඩින් " හුරේ... " කියලා සතුට පල කලා..
ඉතිං ඊට පස්සෙ පටන් ගත්තෙ අලුත් රාජධානිය ගොඩ නගන එක ගැන සැලසුම් කරන එක.

මුලින්ම රූකඩ ඇමති කිව්වෙ ඔක්කොටම කලින් රජාට ඉන්න මාලිගාවක් හදන්න ඕන කියලා.  ඒ වැඩේ බාර උනේ රූකඩ බාස්ට. ඉතිං කට්ටියම එකතු කරගත්ත රූකඩ බාස් රූකඩ රජාට මාලිගාවක් හදන්ඩ පටන් ගත්තා. මේ මාලිගාව හදනකම් රජාව නොතෙමී තියන එක බාර උනේ ලෙන්චිනා ඇතුලු රූකඩ කාන්තාවෝ ටිකට . උන්දැලා ඉතිං අහල පහල තියන පොල් අතු ටික වියලා රජාට හෙවනක් හැදුවා.

ඉතිං සෑහෙන මහන්සියකින් පස්සෙ රූකඩ රජාට ඉන්න බොහෝම අලංකාර මාලිගාවක් හැදුනා..  රජාත් පොල් අතු පියැස්සට පයිං ගහලා  රජ බිසවයි ලෙන්චිනායි එක්ක මාලිගාවට සැපැත් උනා..

ඊට පස්සෙ තිබ්බේ ජාතිය ඇමතීම.. නෑ නෑ රූකඩ ඇමතීම..

බොහෝම ගාම්භීරව රැල්බුරුල් ඇරපු රූකඩ රජතුමා කතාව පටන් ගත්තා..


රැස්ව සිටින රූකඩයිනි.. රූකඩනියනි.. අද මට බොහෝම සතුටු දවසක්. අපි මේ දවස ගැන කොච්ච්ර හීන මැව්වද.. බිත්තියේ එල්ලලා ඉන්න කාලෙදි මම හැම තප්පරේකදිම හීන මැව්වෙ අද වගෙ දවසක් ගැන. මුලු දවස තිස්සෙම පිංතු බාස් අපිව නැටෙව්වා.. ඒත් එක දවසක් අපිට අලුත් ඇදුමක් දුන්නද.. අපිව අලුතෙන් පාට කලාද..   මට මතකයි මගේ කලිසම දහ පොලකට වඩා අන්ඩ දාල තිබ්බා. ඔටුන්න ඔටුන්න තනිකරම කාඩ්බෝඩ් රජෙකුට මේවා ඉවසන්ඩ පුලුවන්ද ?.. . මගෙ බිසවට දන්න දවසෙ ඉදලා තිබ්බෙ එක හැට්ටයයි. මට මේවා දරාගන්ඩ පුලුවන් කමක් තිබ්බෙ නෑ.. ඒත් මම ඒ හැම වෙලාවකම හිතුවෙ මට නැතත් මේ අනිත් රූකඩයන්ට මීට වඩා සැලකීමක් ඕන කියලා..  මතකද  පෙරහැර කාලේ අපේ  ජූජක බමුනගෙ කකුල කැඩුනා. අඩුම තරමෙ අලුතෙන් කකුලක් දැම්මද..  අඩුම තරමේ අලුතෙන් කකුලක් දැම්මද.. මිනිහගෙ රූපෙට ගැලපෙනවා කියලා ඒ කකුල් කොටේම බැන්ඩේජ් කලා.. කොයි තරම් වේදනාවක්ද..

රජතුමා බෝහෝම වේදනාවෙන් කතා කරනකොට  රූකඩයන්ගේ ඇස්වලට කදුලු උනන්ඩ පටන් ගත්තා.. ඒ එක්කම කුසු කුසු ගාල රූකඩයෝ මුමුනන්ඩ ගත්තා
" අනේ අපේ වාසනාවට පහල වෙච්ච රජෙක් " " බිත්තියෙ එල්ලලා ඉද්දිත් අපි ගැන නේ හිතලා තියෙන්නෙ " 

 රජා ආයෙම කතාව පටන් ගත්තා 
 
"දැං ඒ ප්‍ර්ශ්න ඉවරයි හෙටින් පස්සෙ අලුත් රූකඩ ලෝකයක් . මම ඔබ සැම වෙනුවෙන් කැප වෙනවා. ඒ අලුත් ලෝකෙ හදන්න කරන්න ඕන දේවල් ගැන මහ ඇමති දැනුම් දෙයි  එහෙනම් ඔබට සුභ රූකඩ "අනාගතයක්..

එහෙම කියපු රූකඩ රජා බිසවත් එක්ක මාලිගාව ඇතුලට වැදුනා..

ටික වෙලාවකින් කොලේකුත් කිහිලි ගහගෙන ආව රූකඩ ඇමති කතාව පටන් ගත්තා..

" අප මහා රාජෝත්තමායානන් වහන්සේ අපේ නව රාජධානිය දියුනු කරන්ඩ මෙන්න මේ වැඩ ටික අපිට පවරලා තියනවා. ඒ අනුව මම  ඔහෙලාව කොටස් කීපෙකට බෙදලා මේ රාජකාරී බෙදලා දෙනවා. අපෙ රාජධානිය වෙනුවෙන් හැමෝම මේ ටික උනන්දුවෙන් කරන්ඩ ඕන.

පලවෙනි කන්ඩායම කෑම බීම නිශ්පාදනය කරන්ඩ ඕන ඒ වගෙම රජතුමාගේ කෑම්බීම් ගැන බලන්ඩ ඕන. දෙවෙනි කන්ඩායම  රජතුමාග් ආරක්ශාව ගැන බලන්ඩ ඕන. මීට අමතරව ඉදිරියෙදි මේ රාජධානිය දියුනුව වෙනුවෙන් රජතුමා පවරන වැඩ කට්ටිය බෙදාගෙන කරන්ඩ ඕන.

අලුත් රටක අලුතෙන් ජීවිතේ පටන් ගන්ඩ යන රූකඩයෝ බොහෝම සන්තෝසෙන් ඒවට එකග වෙලා වැඩ කරන්න පටන් ගත්තා..

දවසින් දවස ගතවෙන්ඩ පටන් ගත්තා එන්න එන්නම මාලිගාවට ඕන කරන කෑම බීම වැඩි උනා.. මාලිගාවෙන් එන නියෝග වැඩි වෙන්න පටන් ගත්තා. බොහොමයක් වෙලාවට රුකඩ රජාව දැකගන්ඩ උනත් ලැබුනේ . රජා කොහේ හරි විනෝද ගමනක් යනකොට විතරයි. රජතුමාට තමගෙ දුක කියාගන්ඩ යන හැම රූකඩයටම උනේ රූකඩ ඇමතියා ලග තමන්ගෙ දුක කියලා ආයෙම හැරිලා එන්ඩ.

දවසින් දවස වැඩිවෙන නියෝග එක්ක රූකඩයන්ඩ බොහෝම මහන්සි වෙලා වැඩ කරන්ඩ උනා . සමහර දවසට එක දිගට පැය දහයක් පහලොවක්..

අන්තිමෙදි දවසක  රූකඩයන්ගෙ  තරහව පුපුරලා ගියා..

වැඩ කරමින් හිටපු ශක්තිමත් රූකඩයෙක් එකපාරටම අතේ තිබ්බ ලී මිට විසි කරලා හයියෙන් කෑ ගැහුවා.. ඒ සද්දෙට වටේ උන්නු හැම රූකඩයම දුවන් ඒ පැත්තට ආවා.

" මේක හැමදාම කරන්න බෑ. අපිව රැවැට්ටුවා.. මීට වඩා හොදයි බිත්තියේ එල්ලිලා හිටපු කාලෙ.  අපි මෙච්ච්ර දුකක් වින්දෙ නෑ "

රූකඩයා කෑ ගැහුවා..  මුලින් මුලින් කුටු කුටු සද්ද ආවත් ඒක අන්තිමෙදි  ගෝසාවක් වෙන්න පටන් ගත්තා..

" ඔව් .. බිත්තියෙ එල්ලිලා එන්න එක සැපයි.. අපිට මෙහෙම මැරෙන්ඩ ඕන කමක් නෑ.. අඩුම තරමේ අවුරුද්දකට සැරයක් වත් වාර්නිශ් කරලා ඇදුම් වල අන්ඩ හරි දැම්මා. දැං ඇදුම් අවුවටම පිච්චිලා."

තව රූකඩයෙක් තරහෙන් කිව්වා

" ඔව් .. මටත් එපා වෙලා  .. මම කොයි තරම් ලස්සනට හිටියද ගිය සතියෙ මගෙ චීත්තෙත් අරන් ගියා මාලිගාවට. මට බිසවගෙ පරන කඩමාල්ලක් දීලා " ලෙන්චිනාත් ඇඩූම් හඩින් කිව්වා..

"මේක මෙහෙම කරන්න බෑ අපි අර ය්ශ්ටිය අයිති මන්තර කාරයාව හොයන් යමු. ගිහින් කියමු අපිව ආයෙම රූකඩ කරන්න කියලා.  කාගෙ හරි ලනුවක නැටවෙන එක මීට වඩා සැපයි."  කට්ටියගෙ පෙරමුන ගත්ත රූකඩයා කිව්වා..

ඒ අනුව හැමෝම අලුත් රූකඩයා පස්සෙ යන්ඩ පටන් ගත්තා..  


ටික දුරයි එන්ඩ පුලුවන් උනේ.. රජතුමා මාලිගාවෙ ඉදලා කෑ ගහන්ඩ පටන් ගත්තා.. රූකඩ ඇමතියා ඒ වෙනකොටත් වෙච්ච දේ රජාගේ කනේ තියලා

" ඒයි නැව්තියල්ලා කොහේද යන්නෙ.. උබල ඔය කරන්නෙ. උබලට තේරෙන්නෙ නෑ ඔය කරන්ඩ යන දේ. මම හැමදේම කලේ උබලා වෙනුවෙන්. අපි දවසක සැප විදින්න නම් ටිකක් දුක් විදින්න ඕන..  උබලා කැමතිද හැමදාම මිනිහෙක් ගෙ අතින් නැටවෙන්ඩ "


" ඔව් මෙහෙම දුක් විදිනවට වඩා හොදා මිනිහෙක්ගෙ අතේ නැටවවෙන එක " තරහෙන් පිරිලා හිටිය අනෙක් රූකඩයෝ කිව්වා..

ඒත් එක්කම දෙපිරිස අතරේ පටන් ගත්තෙ රන්ඩුවක්. කෝපෙන් හිටිය රූකඩයෝ අතින් පරාද උනු රූකඩ රජා..  පැරදිලා කෑලෑවෙ ඇතට දුවලා ගියා.. 

ඔන්න ඔය වෙලාවෙ කන්ඩායමේ නායකයා වෙච්ච රූකඩයා මාලිගාව දකිනවා.. මේක මොන වගෙ ඇද්ද කියලා ඇතිවෙච්ච කුතුහලෙත් එක්ක. රූකඩයා මාලිගාව ඇතුලට ඇදෙනවා..

සුවපහසු.. කාමර . ඇදන් පුටු.. අලුත්ම තීන්ත වාර්නිශ්.. ඒ සුවදට රූකඩයගෙ හිත කුල්මත් වෙලා යනවා..  මේ යකා මොන තරම් සැපක් විදින්න ඇද්ද.. රුකඩයට එහෙම හිතෙනවා..

ටිකක් වෙලා කල්පනා කරපු රූකඩයා එලියට එනවා.. ඔහුට පේනවා සදලු තලේ පහල අනිත් රූකඩයෝ එකතු වෙලා ඉන්නවා.. 

හරි දැන් හැමෝම අහගන්ඩ..

රූකඩයා කතාව පටන් ගන්නවා.. 

" මෙච්චර කල් අපිව පාගගෙන . අපෙන් වැඩ අරගෙන හිටපු රජාව අපි පන්නලා දැම්මා.. ඒත් අපි දැන් අර මන්තර කාරයාව හොයන් ගිහින් අපිව අයෙම රූකඩ කරගත්තොත් අපි මේ ගත්ත ජයග්‍රහනෙන් වැඩක් නැති වෙනවා..  ඊට පස්සෙ අපිට වෙන්නෙ ආයෙම මිනිහෙක් කියන විදියට නූලෙ  නටන්න.. සමහර විට මිනිස්සු අලුතෙන් රුකඩ රජෙක් හදයි එතකොට අපිට වෙන්නෙ අපි එලවපු රජවරුන්ටම ආයෙ වදින්ඩ .. ඔහෙලට තේරෙනවද ."

අන්දුන් කුන්දුන් වෙලා ඉන්න අනිත් රූකඩයෝ කිසි දෙයක් හිතාගන්ඩ බැරුව බලාගෙන ඉන්නවා.. අන්තිමේදි   බහුබූතයා බොහොම බයෙන්  තමන්ගෙ හඩ අවදි කලා

" ඉතිං ආයිබොං අපි දැං මොකද කරන්නෙ "

අලුත් නායක රූකඩයා ගේ මූනෙ අමුතු හිනාවක් ඇදෙනවා..

" මං ලග තියනවා යෝජනවාක් දැං කට්ටියම කැමති ආයෙම රූකඩ වෙන්ඩනේ.. හරි මං ඔයාලට දෙනවා අලුතෙන්ම නූල් අත්වල ගැටගහගන්ඩ.. "

" ඊට පස්සෙ " එහෙම ඇහුවෙ ලෙන්චිනා..

"ඇයී රූකඩයෝ ඕකවත් තේරෙන්නෙ නැද්ද.. මොකටද හලෝ මිනිස්සුන්ට ඕන විදියට නටන්නෙ. මම තමුන්නාන්සෙලාගෙ එකෙක් නේ .මීට පස්සෙ මං ඔහෙලව නටවන්නම් "


ටිකක් වෙලා කල්පනා කරපු රූකඩයෝ  එක හඩින්.. ජය ගෝෂා නගන්ඩ පටන ගත්තා



" හුරේ............ !!!   "




Tuesday, October 21, 2014

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "





ටවුම පැත්තට යන්ඩ හිතාගෙන ඇවිදින්ඩ පටන් ගත්තා..

ඉස්සලම හම්බඋනේ පෝස්ට් ඔෆිස් එක පාමුල මැටි වලින් හදපු බිත්ති සැරසිලි විකුනන ආච්චි අම්මා.. " මේ එකකින් ලාබෙ රුපියල් පනහයි පුතේ " කලින් දවසක ඈ මට එහෙම කියලා තිබුනා. බොහෝ විට ඒ ආච්චි අරගෙන එන්නෙ ඒවා කෑලි දෙකක් තුනක් ,විකිනුනොත් උපරිම ලාබෙ රුපියල් 150ක් එහෙම නැති දවසුත් ඇති . මොකද හවස් ජාමෙ වෙනකොටත් අතේ ඉතුරු උනු මැටි පහන් ටිකත් එක්ක මම ඒ ආච්චිව දැකලා තියනවා. ඇයගෙ සුපුරුදු හිනාව මැද්දෙ මම එතන පහු කලා..

තව මීටර් 10ක් ඉස්සරහට එනකොට රේල් ගේට්ටුව ලග ගිනි ගහන අව්වෙ , හෙන ගහන වැස්සෙ ටිකට් විකුනන එක අතක් නැති අංකල්.
" කෝටි 4ක් තියනවා ගන්නවද " අංකල් අහනවා " අපෝ එපා ගෙදර ඉඩ නෑ " එහෙම කිව්වත් 20ක් දීලා ටිකට් එකක් ගත්තා ඇදුනොත් එපා කියන්ඩද.. " ජයවේවා " එතනත් පහු කරන් ආයෙම ඉස්සරහට

" මුංගෙ අම්මලාට ගිය රට . කොහෙන් හොයන සල්ලිද බං.. ලක්ශ ගනන් යට කරන්ඩ අපෙ තාත්තලා නිදන් හෑරුවද " රේල් ගෙට්ටුව පහු කරලා මීටර් 20ක් යනකොට කඩලා අයින් කරන්න නියමිත කඩයක එකෙක් කාටදෝ පිං දෙනවා.. ඒ කඩ පේලියම මේ මාසෙ කඩලා අයින් කරනවා ඒ වෙනුවෙන් අලුත් වෙලද සංකීර්ණයක් ඊට පිටිපස්සෙ හදලා. නමුත් ඒවගෙ ගාස්තු. කුලී සම්බන්ධ ප්‍රශ්නෙකට තමා අයියට තද වෙලා තිබ්බෙ..
" එදා වේල හොයාගෙන කාපු එකත් ඉවරයි.. මුං හදන්නෙ අපිව හොරු කරන්න" ඔහු බොහොම වේදනාවෙන් කියනවා..
මම එතනත් පහු කලා..

කහ ඉරක් නැති තැනකිං පාර පැන්නොත් 750ක් දඩ .. ඒ හින්දම ඔරලෝසු කනුව ලග පරන උමග අස්සෙන් පාර මාරු උනා.. උමග කොනේ නෙල්ලි ගොඩක් ගොඩ ගහෙගෙන විකුනන අක්කා. ෆෝන් එක කනේ ගහගෙන ලොකු කතාවක්.. අහල පහල ගැන කිසිම බැලිල්ලක් නැතුව..

" ගිය පාරත් මම වහ බිව්වෙ ඒ හින්දා .. ආයෙමත් සැරයක් මට ඕක කියන්ඩ එපා" 

" අම්මට සිරි " 

මට ඉබේටම කිය උනා. ගිය පාරත් කිව්වෙ මීට කලින් කී පාරක් බීල ඇද්ද.. කොහොමත් ඒ ටිකෙන් එහාට මට මොකුත් ඇහුනේ නෑ.. පඩිපෙල නැගගෙන කෙලින්ම ගියේ සිටි සෙන්ටර් එකට . ගෙවලා දාන්ඩ තිබ්බ බිල් දෙක තුනක් ගෙවලා අන්තිම බිල ගෙවන්ඩ බැංකු පෝලිමේ හිටියා..
ඉස්සරහා අයියා ෆෝන් එකෙන් කතාවක්..

" ප්‍රිමියෝ එක පට්ට බං .. ඇලියොන් එකට වඩා සුපිරි .. ඌ අන්තිම 55ක් ඉල්ලනවා. මටනම් සැටිස්. මගෙ එක දෙනවා බං පහක් හරි අඩුවෙන් දීලා අරක ගන්නවා."
බිල ගෙවලා මං එලියට ආවා.. 

මාලිගාව පැත්තට යන්ඩ ඕන.. ඒ හිතුවිල්ලෙන් මං මාලිගාව පැත්තට ඇදුනා.. කුයින්ස් හෝටලෙ ආලින්දෙ දිගේ කලබලයක් නැතුව මං ඉස්සරහට ඇදුනා..
අවුරුදු හැටක හැත්තෑවක යුවලක් මට ඉස්සරහින්...

" අපරාදේ.. " වයසක ගෑනු කෙනා කියනවා
" මම හිතුවෙ නෑ මේ පාරත් නඩුව කල් යයි කියලා.." පිරිමියත් උත්තර බදිනවා
" පව් දෙයියනේ අහිංසක ලමයි.. මටනම් සංසාරේ එපා වෙනවා.. "
මම වහාම ඕටෙක් කරලා ඉස්සරහට ඇදුනා.. 

මාලිගාවෙ පිං කැටේ ලග නතරවෙලා පර්ස් එක ඇද්දා පනහෙ කොලයක් , විස්සෙ කොලයක් . දහයේ කොලයක්. පහේ කාසියක් .
මං පහේ කාසිය කැටේට දැම්මා..

චික් විතරක් තොගෙ බෞද්ධ කම .. මං මටම කියාගත්තා.. නෑ නෑ ඕවා අර දියවඩනයා හොරකම් කරනවා.. මම හිත හදාගත්තා..

මම මාලිගාව පැත්තට හැරිලා අත් දෙක එකතු කරගත්තා..
මොනා හරි හිතන්ඩ ඕන..
වෙනදටනම් ඉතිං මගේ හිතේ තියන ප්‍ර්ශ්න.. බයිසිකලේ එන්ජිමෙන් එන සද්ද වල ප්‍ර්ශ්න. ඔක්කොම විසදෙන්ඩ කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඒත් අද ඇවිදං ආපු කිලෝ මීටරේ ඇතුලෙ අහපු දැකපු දේවල් බලපුවම. මම මං ගැන කල්පනා කලා.

ආයෙම කල්පනා කලා..

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "

Saturday, September 27, 2014

ෆෝන් කටුවෙන් කැමරාවට...

                       ඊයෙ පෙරේදා ඉතිං ගෑල්ලමයගෙන් තෑග්ගක් විදියට කැමරාවක් හම්බ උනා කියමුකෝ.. ෆෝන් කස්ටෙන් ෆොටෝ ගැහිල්ලට    ආයුබෝං කියලා කැමරාවෙන් වැඩ අල්ලන්ඩ පටන් ගත්තා.. හැබැයි ඉතිං හැමදාම කියන්නා වාගේ ඇහැක් විදියට බොහොම සිල්ලර විදියට...

කලින් ෆෝන් කටුවෙන් ගහපුවා බලාගන්ඩ නම් මෙතෙන්ඩ



Canon IXUS 145








Tuesday, September 23, 2014

බලලා ඉවරවෙල අපිත් දීලා දාමු

බලලා ඉවරවෙල අපිත් දීලා දාමු






ඇස් දන් දීමට කැමතිද? 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය---
===============================

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
"*ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ.*"

- *දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත
ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.*

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
විද්‍යා මාවත,
කොළඹ 07.

- *ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක
011- 2 698 040
011- 2 698 041
011- 2 698 043
011- 2 692 051


*උපදෙස්*

- කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා
ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
- ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු
අයගේ මරණ වලදී පමණි.
- වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක.
සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
- මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
- සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට
පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම
කර ගැනීමට පහසුවක්වේ.
- ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ
පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
- ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ
පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
- පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන්
දීම සිදුකල හැක.
- සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත
හැක.
- මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ
ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන
සංගමය සංගමය කටයුතු කරයි.




මමත් ඔන්න ඇස් දෙකයි සරිර කූඩුවයි සබ්බ සකල මනාවම දීලා දැම්මා .. 




Wednesday, July 16, 2014

දෙවොන්දරා සං.....




හිරු රුදු වී නිමා කෙරෙන
තව දවසක හැන්දෑවක
නුවර වැවට උඩින් වැටෙන
හිරු රැලි මනරම්
මල් පාවඩ නැති පාරේ
අතැගිලි බැද ඇවිද යන්න
මාත් එක්ක නුඹ එනවද
දෙවොන්දරා සං..

වෛවාරණ අරුමෝසම්
මේ සුන්දර ලී කැටයම්
මේ ඔක්කොම නුබේ නමට
තෑගි කරන්නම්
නුඹ ආ මග අමතක කර 
හෙට දවසට ඇවිද යන්න
නුඹෙ ආදරේ මට දෙනවද
දෙවොන්දරා සං..

හින අහුරු පොදි බැදගෙන
නැලවෙන මල් වසන්තයක
ඇවිදින එක හීනයක්ම
වෙලා හිතට දැං
සැප බස් රිය කවුලු  දොරින්
නුඹෙ හිනාව බොඳවෙනකොට
ආයෙත් නුවරට එනවද
දෙවොන්දරා සං..



2014 | 07 | 16




පසු සටහන -   නුවරදි   සංචාරකයන්ට විසිතුරු දේවල් විකුනන තරුන ගෑනු ලමයෙක් හා සංචාරකයෙන් බොහොම සමීපව කතා බහ කරමින් ඉන්නවා දැකලා හිතට ආව සිතුවිල්ලක්

Thursday, May 22, 2014

කිසිදා මහලු නොවන හඩින් හන්තාන සිහිනය දකින්නට




බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ


වැහි පබළු යට
රගමඩල මැත
ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ...
නොඑනු මැන ළදුනේ



වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ

...........


හඬ - පන්ඩිත් අමරදේවයන් සමග උමාරියා සිංහවංශ
පද රචනය - ජානක සිරිවර්ධන
තනුව - අරුණ ගුනවර්ධන


දන්සැල් සහ හිඟන කතාවක්

       


 


                                ඒ වෙනකොට වෙලාව හවස හයට විතර.. දවස කිව්වොත් වෙසක් දවසට කලින් දවස . ටික දවසකට පස්සෙ රෝන්දෙ ගහන්නම හිතාගෙන කොළබ ගියා. කොහෙමෙන් කොහොම හරි කොලඹ වටේ තිබ්බ වැඩ වගයක් ඉවරකරගෙන වෙන්ට පවුලත් පිටිපස්සෙ තියාගෙන බයිසිකලේ බොරැල්ලෙ BOC එක ඇතුලට දැම්මෙ සල්ලි ටිකක් ගන්න හිතාගෙන. ATM එකේ පෝලිම වන්දනා කරලා මම ආයෙම  බයිසිකලේ පැත්තට ඇවිදගෙන එනකොට තරමක වයස්ගත පුද්ගලයෙක් ඒ පැත්තට ඇවිදගෙන එනවා මම දැක්ක. ඒ වෙලාවෙ එක පාරටම මට හිතුනා මේ නම් දෙශීය ආදායම් බදු එකෙන් තමා කියලා. සාමාන්යෙන් අතක් පයක් කැඩුනු , හොදටම වයස කෙනෙක්ට ලෙඩෙක්ට ඇරෙන්න ජොබ් එකට හිගා කනවා කියලා හිතන අයට මම සල්ලි දෙන්නෙ නෑ. කොහොමත් ඒ ආව කෙනා ඔය කිව්ව එක මුලික සුදුසුකමක්වත් සපුරලා තිබ්බෙත් නෑ. කොහෙමෙන් හරි අමුත්තා කටහඩ අවදි කලා

" අනේ මහත්තයෝ කීයක් හරි "

එ ප්‍රකාශෙ ඉවරවෙන්නත් කලින්ම මම හැරෙන තෑපෑලෙන් මෙහෙම කිව්වා

" නෑ.. නෑ.. දැන් නම් බෑ.. "

ඊට පස්සෙ ඒ පුද්ගලයා කියපු දේ ටිකක් අමුතු ඉල්ලීමක් උනා..

" අනේ මහත්තය අද හිරෙන් නිදහස් උනේ හෙට ගමට යනවා සල්ලි එපා කඩේකට ගිහින් කන්න පාන් බාගයයි පරිප්පුයි අරන් දෙන්න . මහත්තයා ඉස්සරහම කන්නම් "

මොන මිනුම් දඩු තිබ්බත් බඩගින්නට ඒවා පරාද නිසා මම පර්ස් එක දිහා බැලුවා..

ඇත්තටම ඒ වෙලාවෙ මාරු සල්ලි නොතිබුන නිසා පර්ස් එකේ තිබ්බ 100 කොලයක් මම මනුස්සයට දීලා බයිසිකලේට ගොඩ උනා. ඒ අතරේ ඒ මනුස්සයා ඉක්මන් ගමනින් රිජ්වේ එක පැත්තට ඇදෙනවා මම දැක්කා.

" හොරෙක්ද දන් නෑ "

වෙන්ට පවුල පිටිපස්සෙ ඉදන් කෙදිරුවා..

" කමක් නෑ අපි දුන්නෙ කන්ඩ කියලනෙ "

මමත් හිත හදාගෙන බයිසිකලේ ඇද්දුවා..  බයිසික්ලේ බැංකුවෙන් එලියට දාලා රිජ්වෙ එක පැත්තට ඇදෙනකොට අර මනුස්සයා ඉස්සරහින් යනවා .

වෙසක් පෝයට දවසක් කලින් තියලත් මට කුප්ප අදහසක් ආවා.

" බලමුද අර පොර යන්නෙ කොහෙටද කියලා "

මම එහෙම අහද්දි මගේ කුප්ප ක්‍රියා වලට හැමදාම අනුබල දෙන වෙන්ට පවුල එක හඩින්ම ඒක අනුමත කලා.

බයිසිකලෙ බොහොම හෙමින්  ඉස්සරහට ඇදුනා ඒ එක්කම ඔහු රිජෙවෙ එකට කලින් ඇතුලට තියන පාර පැත්තට හැරුනා.. මමත් රිජ්වෙ එකෙ තාප්පෙ ලග බය්ක් එක නතර කරගත්තා. 

ඊට පස්සෙ විනාඩියෙදි ... ඒ පුද්ගලයා එතන තිබුනු හෝටලයක් ඇතුලට ගිහිල්ලා ඉදගන්නවා අපි දෙන්නම බලාගෙන

" අනේ පවු.. ඇත්තටම බඩගින්නෙ ඉන්ඩ ඇති "

වෙන්ඩ පවුල පිටිපස්සෙ ඉදලා  එහෙම කෙදිරුවා..

" පව් නේද ඕකෙන් කන්ඩ ඇති වෙයිද මන්දා.. "

මමත් ඒකට උත්තර බැන්දා...

" නෑ කයි කයි තව කීයක් හරි ඇති නේ.. අනික හෙට දන්සැල් නේ ඔය මනුස්සයා හොදට කාල ගෙදර යයි. "

වෙන්ට පවුල එහෙම කිව්වම මමත් එක අනුමත කලා .. ඔව් හෙට දන්සැල් නිසා බඩ පිරෙන්න කයි.

අපි එහෙම හිතලා පිටත් උනා.. මොකද  ඊලග දවසෙ අපෙ පෑලෑනැත් උනේ දන්සැල් වදින එක.

ඉතිං පහුවෙනිදා පාන්දරම යාලු මිත්‍රයෝ දෙනෙකුත් එක්ක අපිත් පාරට බැස්සා වෙසක් බලන්න වගෙම දන්සැල් වදින්න. සාර්තක දැන්සැල් කීපෙකට පස්සෙ අපි ගොඩ වැදුනා බත් දන්සැලකට. ඔන්න අපි පෝලිමේ  බත් එක අරගන්න.   දන්සැලේ බත් බෙදන්න හිටියෙ ගැහැනු කීප දෙනෙක්  පෝලිමෙ උන්න කුඩා දරුවෙක්  තමුන්ගෙ බත් එක අතට දුන්නම ඒ ගෑනු කෙනෙක්ගෙන් පොඩි ඉල්ලීමක් කලා .. 

" අනේ මට තව පපඩමක් දෙනවද "

එතකොටම දන්සැලේ බත් බෙදපු අක්කා  එකට අපූරු උත්තරයක් දුන්නා

" බෑ බෑ.. එකයි දෙන්නෙ "

අක්කා ඒ ප්‍රකාශෙ නිකුත් කලේ . පොඩි එකා ලෝක බැංකුවෙන් මිලියන 100ක විතර නයක් ඉල්ලුව ගානට


 බත් බෙදපු අක්කට ඒ ප්‍රකාශෙ අවුලක් නොවුනත් එතන හිටපු බත් කන කිහිප දෙනෙක්ටම ඒක අවුලක් උනා..

අන්න එහෙමයි අපේ දන්සැල්..
 
ආයෙම එන ගමන් මට මතක් උනේ කලින් දවසේ අමුත්තා.. වෙන්ට පවුල ලග හිටිය නිසා මම දෙපාරක් නොහිතාම හිතට ආව දේ අහල දැම්මා


" නංගී අර මනුස්සය  අද බඩ පිරෙන්න කන්න ඇති නේද "






Sunday, April 13, 2014

ඔබත් බූරුවෙක් ද ?

    


  දැන් විනාඩි කීපෙකට කලින් පාර පැත්තෙන් මහා විලාප සද්දයක් ආව.. ඒ වෙලාවෙ මම මගෙ යලුවෙක් එක්ක ගෙදර වත්තෙ වාහනේ හරවන ගමන් හිටියේ වලියකට ගෝරියකට එහා ගියපු සද්දයක් හින්දා අපි දෙන්නත් ඒ පැත්තට දිව්වා.. 

ගෙවල් කිට්ටුවම ගෙදරක ජොඩුවක් තමුන්ගේ දුව බලන්න ත්‍රීවිල් එකෙන් ගිහින් ව්ල් එක පෙරලිලා ඒ අම්මා එතනමයිලු.. ආරංචි විදියට ත්‍රීවීල් එක පදවපු කෙනා සෑහෙන්න හොදට අවුරුදු සමරලා තමා වීල් එකට ගොඩ වෙලා තියෙන්නෙ. මගෙ යාලුවාගෙ කඩෙන් බඩුත් අරගෙන තමා ඒ අම්මා ටික වෙලාවකට කලින් එතනින් ගිහින් තිබ්බෙ.

කොහොම නමුත් දුකට , සැපට , මගුලට , අවමගුලට නැතුවම බැරි ලාංකීය ජනයාගේ උත්සව වල මූලිකම අවශ්‍යතාවයක් නිසා. පවුලකට අම්මා කෙනෙක් නැති වෙලා.. හෙට අවුරුදු සමරන්න සතුටින් ඉන්න මොන තරම් බලාපොරොත්තු තිබ්බද කියලා දන්නෙ ඒ මනුස්සයා විතරක් වෙන්න පුලුවන්.. මොකද ඒ මනුස්සයගේ ඒ බලාපොරොත්තු අර පදමට බිලා වාහනේ අතට ගත්තු පොල් බූරුවට තිබුනනම් ඔය මී හරක් වැඩෙ කවදාවත් නොකරන්න තිබ්බා
මට ගොඩක් වෙලාවට හම්බවෙලා තියනවා මගේ යාලුවෝ හිතවත්තු සහ නොදන්නා අය බීලා වාහන එලවලා පුරසාරම් දොඩවන. මේ ලගදි එකෙක් කිව්වා

 " මම පොල්ගහවෙල ඉදලා ආවා ඩෝ හොදට ගසලා එකෙක්ට මාට්ටු නෑ කියලා."

 ඌ හිතාගෙන හිටියේ ඌ සින්බෑන්ඩ් වගේ පට්ට වීර චාරිකාවක් ගියා කියලා.


කියන්න තියෙන්නෙ මෙච්ච්රයි බොනවනම් බීලා වාහන එලවනවනම් තමුන්ගේ දරුවෝ ගෑනි බස් එකකටවත් දාල යවපල්ලා . මැරෙන්නම ඕන නම් තනියම මැරියල්ලා.

කවුරු මොන අර්ථ දුන්නත් බොන එකා කියන්නේ බූරුවෙක් ඌ එහෙම බොන්නෙ තමුන්ගේ හිස් තැන ඒ මතෙන් පුරවගන්න. ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ

Monday, February 10, 2014

ඇයි මල්ලි අවුලක්ද ?




හැමදාම එන පාරේ.. ගෙදර එන ගමන් හිටියේ..
කොහොමත් මම කලබල ටවුම මැදින් එන්න වැඩිය කැමැත්තක් නෑ. ඒ නිසා ටවුමට ඇතුලෙන් යන පාරෙන් බොහොම දුරක් ඒ වෙනකොට මම ඇවිත් තිබ්බෙ. පිටිපස්සෙන් ආව වෑන් එක එලවපු එකා හෝන් ඒක උඩ නැගගෙන පාරේ ඉඩ ඉල්ලපු නිසා මම ඌට ඉඩ දුන්නා, ඒ එක්කම පැයට කිලෝමීටර් හිතාගන්න බැරි ගානකින් ඕවටේක් කරපු ඩිලිවරි වැන් එක තව මීටර් 10ක් ඉස්සර වෙන්කොටම පාර අයිනේ උගේ පාඩුවෙ හිටපු බල්ලෙක් දඩාස් ගාල හැප්පුවා. වේගෙ කිසිම අඩුවක් නොකරපු වෑන් එක. ඊලග තප්පරේදි නොපෙනී ගියා. ( සැලකිය යුතුයි සමහර බල්ලෝ ඉන්නවා මාර්ග නීති තුට්ටුවකට මායිම නොකර පාර මැද බුදියං ඉන්න උන් මූ එකෙම එකෙක් නෙවෙයි පාරෙනුත් සෑහෙන්න ඇතින් හිටියත් වෑන් එකෙ ඕවටේක් ස්පීඩ් එකට වාහනේ කොන්ට්‍රෝල් නැති උනා)

වාහනේ වැදුන බල්ලා පාර අයිනේ වැටිලා මහා හයියෙන් විලාප තියනවා. තව වාහනේකට යට වෙයි කියලා ඌව අයින් කරන්නත් බය. මරු විකල්ලෙන් හපයිද කියන සැකේ හින්දා. මම බයිසිකලෙන් බහිනකොටම මාව පහු කරපු නවීන පන්නේ ජීප් එකක් ඉස්සරහින් නැවැත්තුවා. තප්පර ගානක් ඇතුලත ඒකෙන් බැහැලා ආවේ වයස 60ක 65ක විතර මහත්තයෙක්.

" අප්පා අහිංසකයව හප්පලා නේද ? "

ලගට එන ගමන් ඔහු ඒ විදියට ඇහුවා..

ඊලග තප්පරේදි ඔහු ආයෙම මෙහෙම කිව්වා

" බේරගන්න පුලුවන් වෙයි.. පුතා අල්ලමුද වාහනේට.. "

වෙන්න යන දේ ..හිතාගන්න අමාරු උනත් .. මම හා කියලා ලං උනා ..

"බලාගෙන හපයිද දන් නෑ,,, "

මම කිව්වෙ කෝකටත් පරිස්සමට

"බය වෙන්න එපා පුතා ඌ දන්නවා ඌට හොදක් කරන්න කියලා "

වාහනේට බල්ලා දා ගත්ත මහත්ත්යා පොඩ්ඩක් ඉස්සරහට ගිහින් වාහනේ හරවලා ආපහු නුවර පැත්තට පිම්මේ ඇදුනා..

වාහනේ ගියාට පස්සෙත් මම බොහොම වෙලාවක් ඒ පැත්ත දිහා බලාගෙන වෙච්ච දේ මුල ඉදලා කල්පනා කලා..

ඒ එක්කම ලග නවත්තපු ත්‍රි වීල් අයියා කෙනෙක් මං දිහා බලලා මෙහෙම ඇහුවා

" ඇයි මල්ලි අවුලක්ද ? "

ඇත්තටම කාලෙ හැටියටනම් මේක මහා අවුලක්..


Time in Sri Lanka: