Tuesday, October 21, 2014

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "





ටවුම පැත්තට යන්ඩ හිතාගෙන ඇවිදින්ඩ පටන් ගත්තා..

ඉස්සලම හම්බඋනේ පෝස්ට් ඔෆිස් එක පාමුල මැටි වලින් හදපු බිත්ති සැරසිලි විකුනන ආච්චි අම්මා.. " මේ එකකින් ලාබෙ රුපියල් පනහයි පුතේ " කලින් දවසක ඈ මට එහෙම කියලා තිබුනා. බොහෝ විට ඒ ආච්චි අරගෙන එන්නෙ ඒවා කෑලි දෙකක් තුනක් ,විකිනුනොත් උපරිම ලාබෙ රුපියල් 150ක් එහෙම නැති දවසුත් ඇති . මොකද හවස් ජාමෙ වෙනකොටත් අතේ ඉතුරු උනු මැටි පහන් ටිකත් එක්ක මම ඒ ආච්චිව දැකලා තියනවා. ඇයගෙ සුපුරුදු හිනාව මැද්දෙ මම එතන පහු කලා..

තව මීටර් 10ක් ඉස්සරහට එනකොට රේල් ගේට්ටුව ලග ගිනි ගහන අව්වෙ , හෙන ගහන වැස්සෙ ටිකට් විකුනන එක අතක් නැති අංකල්.
" කෝටි 4ක් තියනවා ගන්නවද " අංකල් අහනවා " අපෝ එපා ගෙදර ඉඩ නෑ " එහෙම කිව්වත් 20ක් දීලා ටිකට් එකක් ගත්තා ඇදුනොත් එපා කියන්ඩද.. " ජයවේවා " එතනත් පහු කරන් ආයෙම ඉස්සරහට

" මුංගෙ අම්මලාට ගිය රට . කොහෙන් හොයන සල්ලිද බං.. ලක්ශ ගනන් යට කරන්ඩ අපෙ තාත්තලා නිදන් හෑරුවද " රේල් ගෙට්ටුව පහු කරලා මීටර් 20ක් යනකොට කඩලා අයින් කරන්න නියමිත කඩයක එකෙක් කාටදෝ පිං දෙනවා.. ඒ කඩ පේලියම මේ මාසෙ කඩලා අයින් කරනවා ඒ වෙනුවෙන් අලුත් වෙලද සංකීර්ණයක් ඊට පිටිපස්සෙ හදලා. නමුත් ඒවගෙ ගාස්තු. කුලී සම්බන්ධ ප්‍රශ්නෙකට තමා අයියට තද වෙලා තිබ්බෙ..
" එදා වේල හොයාගෙන කාපු එකත් ඉවරයි.. මුං හදන්නෙ අපිව හොරු කරන්න" ඔහු බොහොම වේදනාවෙන් කියනවා..
මම එතනත් පහු කලා..

කහ ඉරක් නැති තැනකිං පාර පැන්නොත් 750ක් දඩ .. ඒ හින්දම ඔරලෝසු කනුව ලග පරන උමග අස්සෙන් පාර මාරු උනා.. උමග කොනේ නෙල්ලි ගොඩක් ගොඩ ගහෙගෙන විකුනන අක්කා. ෆෝන් එක කනේ ගහගෙන ලොකු කතාවක්.. අහල පහල ගැන කිසිම බැලිල්ලක් නැතුව..

" ගිය පාරත් මම වහ බිව්වෙ ඒ හින්දා .. ආයෙමත් සැරයක් මට ඕක කියන්ඩ එපා" 

" අම්මට සිරි " 

මට ඉබේටම කිය උනා. ගිය පාරත් කිව්වෙ මීට කලින් කී පාරක් බීල ඇද්ද.. කොහොමත් ඒ ටිකෙන් එහාට මට මොකුත් ඇහුනේ නෑ.. පඩිපෙල නැගගෙන කෙලින්ම ගියේ සිටි සෙන්ටර් එකට . ගෙවලා දාන්ඩ තිබ්බ බිල් දෙක තුනක් ගෙවලා අන්තිම බිල ගෙවන්ඩ බැංකු පෝලිමේ හිටියා..
ඉස්සරහා අයියා ෆෝන් එකෙන් කතාවක්..

" ප්‍රිමියෝ එක පට්ට බං .. ඇලියොන් එකට වඩා සුපිරි .. ඌ අන්තිම 55ක් ඉල්ලනවා. මටනම් සැටිස්. මගෙ එක දෙනවා බං පහක් හරි අඩුවෙන් දීලා අරක ගන්නවා."
බිල ගෙවලා මං එලියට ආවා.. 

මාලිගාව පැත්තට යන්ඩ ඕන.. ඒ හිතුවිල්ලෙන් මං මාලිගාව පැත්තට ඇදුනා.. කුයින්ස් හෝටලෙ ආලින්දෙ දිගේ කලබලයක් නැතුව මං ඉස්සරහට ඇදුනා..
අවුරුදු හැටක හැත්තෑවක යුවලක් මට ඉස්සරහින්...

" අපරාදේ.. " වයසක ගෑනු කෙනා කියනවා
" මම හිතුවෙ නෑ මේ පාරත් නඩුව කල් යයි කියලා.." පිරිමියත් උත්තර බදිනවා
" පව් දෙයියනේ අහිංසක ලමයි.. මටනම් සංසාරේ එපා වෙනවා.. "
මම වහාම ඕටෙක් කරලා ඉස්සරහට ඇදුනා.. 

මාලිගාවෙ පිං කැටේ ලග නතරවෙලා පර්ස් එක ඇද්දා පනහෙ කොලයක් , විස්සෙ කොලයක් . දහයේ කොලයක්. පහේ කාසියක් .
මං පහේ කාසිය කැටේට දැම්මා..

චික් විතරක් තොගෙ බෞද්ධ කම .. මං මටම කියාගත්තා.. නෑ නෑ ඕවා අර දියවඩනයා හොරකම් කරනවා.. මම හිත හදාගත්තා..

මම මාලිගාව පැත්තට හැරිලා අත් දෙක එකතු කරගත්තා..
මොනා හරි හිතන්ඩ ඕන..
වෙනදටනම් ඉතිං මගේ හිතේ තියන ප්‍ර්ශ්න.. බයිසිකලේ එන්ජිමෙන් එන සද්ද වල ප්‍ර්ශ්න. ඔක්කොම විසදෙන්ඩ කියලා මම ප්‍රාර්ථනා කරනවා
ඒත් අද ඇවිදං ආපු කිලෝ මීටරේ ඇතුලෙ අහපු දැකපු දේවල් බලපුවම. මම මං ගැන කල්පනා කලා.

ආයෙම කල්පනා කලා..

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "

5 comments:

  1. ඔව් බන්. මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක්ක බැලුවම අපෙ ප්‍රශ්න මොනවද කියල හිතෙනව.

    ReplyDelete
  2. ප්‍රශ්න නැත්තෙ කාටද? දැන් බලන්ට මේ දවස්වල් රටේ ලොක්කාට තියෙන ප්‍රශ්ණ? ඒ අතින් අපි හොඳයිනෙ. අපිට එහෙම ප්‍රශ්ණ නෑනෙ.

    ReplyDelete
  3. සමහර මිනිස්සු ගෙවන ජිවිත ගැන හිතපුවහම අපි කොච්චර වාසනාවන්තද කියලා හිතෙනවා

    ReplyDelete
  4. තමන්ගෙම හිතත් එක්ක සංවාද වැඩිවුණහම ප්‍රස්න වැඩියිලු :-) !

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: