හැතැම්මයකට වඩා දුර නැති ඉර හිස්මුදුනේ තබා ගෙන කාර්යාලයෙන් එලියට බැසගත් මම සුපුරුදු මාවත ඔස්සේ ඉදිරියට ඇදුනෙමි. නවතා ඇති රිය පෙල පසුකරමින් මුර කුටිය අසලට ඇදුනු මම මදක් නැවතී යමක් සිහිකලෙමි.
බයිසිකලේ යනවද පයින්ම යනවද..
මම මගෙන්ම අසාගත් ප්‍රශ්නයට. පිලිතුරක් නොමැති වූ තැන මම පයින්ම ගමන යන්නට තීරනය කොට මුර කුටිය අද්දරින් එලියට ඇදුනෙමි.
" කොහෙද අප්පේ මේ ගිනි මද්දහනේ යන්නේ "
මුරකුටිය ඇතුලෙ සිකුරිටි අක්කාගෙන් සාධාරණ ප්‍රශ්නයකි..
යන හේතුව හා ගමන ගැන කියා එතනින් පැනගත් මා පාර අද්දරට විත් නැවතුනෙමි.
ස්විප් ටිකට් , ඇදුම් කෑලි , සරුව පිත්තල , ප්ලාස්ටික් වලින් පේමන්ට් එක පිරිලාය ..
මම හෙමින් ස්විප් වෙලෙන්දා වෙත කිට්ටු කලෙමි . ටිකට් එකක් ගැනීමට වඩා ලග තිබූ මුදල් නෝට්ටුව මාරු කරගැනීමට මට උවමනා විය
" අද මොනවද .."
අවසන් වච්න කිහිපය ඇහෙන්නටත් පෙරම ටිකට් කිහිපයකම නම් ඔහුගේ මුවින් ගිලිහුනේ තවත් ටිකට් කිහිපයක් මා වෙත දික් වෙන අතරතුරමය...
ටිකට් ලෑල්ල මත මම දෑස් යැව්වෙමි.. ලග්න සටහන් වූ ටිකට් පත් කිහිපයක් ලග මගේ දෑස් නතර විය.. මම එහි හරකා සොයන්නට පටන්ගත්තෙමි. වැඩක් නැත හරකා ඉවර වෙලාය. හෝ දහය ගසා ටිකට් එකක් ගත් මම ඉතුරු මුදල ලැබෙන තෙක් බලා සිටියෙමි.
" මහත්තයා කොමර්ශල් බැංකුව කොහෙද තියෙන්නෙ "
මා පිටුපසින් හඩක් නැගුනි.
ඉතුරු මුදල් ලබා ගත් මම ඔහු දෙසට හැරුනේ . ගමන් මාර්ගය ඔහු හට කියා දෙනු පිනිසය
කොන්ඩය කොටට කපා පිලිවෙලකට හැද සිටි ඔහු. කලු අව් කන්නාඩියක් පැලද සිටියෙකි. නමුත් ඉන් පසු මා දුටු දෙයින් මම මදකට ගොලු උනෙමි. ඔහුගේ එක් අතක කලු පැහැති ෆයිල් කවරයක් වූ අතර අනික් අතේ වුයේ
සුදු සැරයටියකි.....
මතක ඇති කාලයක සිට කඩපිලේදි , මහ පාරේදි බොහෝ තැන් වලදී නොයෙකුත් අය මගෙන් මග විමසා ඇත. දන්නා තැනකට මග සලකුනු කියා නොදන්නා අයට ඒ බව කියා මම මගේ ගමන ගියෙමි, නමුත් ජීවිතයේ පලවෙනි වතාවට දන්නා තැනකට පාර කියාගන්නට නොහැකිව මම නිරුත්තර වූයෙමි.
" කවුරු හරි කියනවද කොමර්ශල් බැංකුව ලගට යන්නේ කොහොමද කියලා "
නැවතත් ඔහුගේන් කාරුනීක ආයාචනයකි
ලොතරැයි වෙලෙන්දාත් මමත් මුහුනෙන් මුහුන බලාගත්තෙමි.
" කෙලින්ම ගිහිල්ලා..... "
යම් දෙයක් කීමට මුව විවර කල ලොතරැයි වෙලෙන්දා නැවත මා දෙස බලා ඉතුරු වදන් ගිලගත් බව මම දුටුවෙමි
" යමු මමත් එක්ක "
වෙන කලහැක්කක් නොවූයෙන් අසල වූ ත්‍රි රෝද රියකට හිසින් සන් කල මම අමුත්තා සමග එයට ගොඩ වූයෙමි...
අතර මගදී ඔහූ බොහෝ දේ ඇසූ බවත් කී බවත් යාන්තමට මතකයේ ඇත . නමුත් ඔහු කියූ එක් දෙයක් පමනක් මේ වන තුරු මට හොදින් මතකය
" මිනිස්සුන්ගෙන් පාරක් අහපුවමත් කියන්ඩ වෙලාවක් නෑ නේ මහත්තයෝ.. මොන රේස් එකක් දුවනවද මන්දා.. "
ඔහු නොදන්නවා උනත් මමද නොදැනීම ඒ රේස් එක දුවන ගොඩට වැටී ඇත. මන්ද යත් මේ වන තුරුද ඔහුට පාර කියන්නට ක්‍රමයක් මට හිතාගන්නට නොහැකි බැවිනි.
____________________________________________________






