Friday, May 18, 2012

නන්දිකඩාල්





                                    ඒ .. මීට අවුරුදු කිහිපයකට කලින් දිනයකි.  උදේ සිටම  යම් කසු කුසුවක් පැතිර යමින් සිටි නිසාදෝ.  ඒදා තිබූ පන්තියෙන්ද කලින් පැනගත් මම මිතුරෙකුත් සමග  නිවෙස බලා එන්නට පිටත් උනෙමි.. කටුගස්තොට පාලම පසු කොට ටික දුරක් ඉදිරියට ධාවනය වූ බස් රිය යම් තදබදයකට අසූ වූ බවක් පෙනුනි.  ඒ සමඟම මහා හඩ දෙමින්  රතිඤ්ඤා වැලක්  පුපුරන්නට විය. තවත් ඉවසන්නට හැකියාවක් නොමැති වූ මම වහා දුරකථනය ගෙන  නිවස ඇමතුවෙමි.  එහා කෙලවරින් දුරකථනය එසවෙනවා ඇසුනි.

" ප්‍රභාකරන් මරලද "  මම වහා මගේ ප්‍රශ්නය යොමු කලෙමි

" ඇයි කවුද කිව්වෙ " පිලිතුරක් වෙනුවට අම්මාගෙන් නැවත  ප්‍රශ්නයකි

" මෙහේ මිනිස්සු රතිඤ්ඤා දානවා ඉක්මනට ටීවී එක බලන්න " දුරකථනයද පෙරලාගෙන අම්මා දිව යන හඬ එහා කෙලවරින් ඇසුනි.

දුරකථනයෙන් මිදුන මම වහා ජනේලයෙන් එලියට හිස එබුවෙමි. වාහන තදබදය අතරේ ඉදිරියට ඇදෙන මහා ජන ගඟකි  ඒ පසු පසින් සිංහ කොඩියෙන් සැරසුන නොයෙක් වර්ගයේ බයිසිකල්,  ත්‍රිවීල් ,  ලොරි සමූහයකි . වෙනදා වාහන තද බද හමුවේ කෝප වෙන මගියෝද ජනෙල් වලින් එලියට බෙලි ඔබාගෙන ප්‍රීති ගෝශා නගති.


ඒ අතරේ නැවත දුරකථනය නාද වෙයි.. සැනින් මම දුරකථනය කනේ ඔබා ගත්තෙමි

" හරි හරි.... ප්‍රභාකරන් මරලා... " ගෙදරින් ඇහෙන කාලගෝට්ටි හඬ පරදා අම්මා කෑ ගසයි .

ජීවිතයේ සමහර අවස්ථාවන් වලට මම අදද  ආදරය කරමි . ඒ දිනයද මගේ ජීවිතයේ කිසි දිනක අමතක නොවන දිනයක් වූයේ එලෙසිනි

දුරකථනය සාක්කුවෙ ඔබා ගත් මම මිතුරාට ආරංචිය කියා නැවත ජනේලයෙන් එලියට එබුනෙමි. මහා ජන ගඟ ඒ වන විට අප ආසන්නයට පැමින තිබුනි. නමුත් එක් දසුනක් එකවරම මගේ ඇස ගැටුනි දනිස් ආසන්නයෙන්ම දෙකකුල් ඉවත් කරන ලද තරුනයෙකු ප්ලාස්ටික් පුටුවක තබා ඔසවා ගත් කිහිපදෙනක් ජන ගගේ ඉදිරියෙන්ම ගමන් කරයි. ඔහු ඔසවාගත් හතර පස් දෙනා අසීමිත ප්‍රීතියකින්  සිනහවෙමින් කෑ ගසමින් ඔහුව ඔසවාගෙන ඉදිරියට ඇදෙයි පුටුව මත උන් තරුණයා මේ වන විට   මා උන් බස් රථය අසලය .ඔහු ඔසවාගෙන යන බැවින්  ඔහුත් මා සිටි ජනේලයත් අතර  පරතරය අඩි කිහිපයකට වැඩි නොවිය. ජන ගඟේ උන් දහසකට අධික පිරිසක් කෑ ගසමින් සිනාසෙමින් යද්දී ඔහුගේ ඇස්  දෝරේ ගලා යන කදූලින් තෙත්ව තිබුනි . ඔහුගේ දෑතේ තිබූ කොඩිය විටින් විට වනමින්  දෑසින් ගලන කදුලු පිසිනවා දුටු  බස් රථයේ සිටි කිහිපදෙනෙක්ගේද දෑස් කදුලින් බරවෙන සැටි දැක ගත හැකි විය.


මෙය හුදෙක් ලියවිල්ලක් විය හැක  නමුත් මා මෙහි වෙනසක් දකිමි . යුද ජයග්‍රහනය පුවත දැනගත් සැනින් සියල්ලෝ පාරට බැස්සේ ජාතික කොඩියක් පමනක් අත ඇතිවය . පැය කිහිපයක් ගත වෙන තුරු ඒවාගේ  දේශපාලන  නායකයන්ගේ හෝ වෙනත් අයගේ  රුව  හෝ පෝස්ටර් දිස් වූයේ නැත.  පාරේ උන් පොලීසියේ , යුධ හමුදාවේ සමාජිකයන් ඔසවාගෙන යමින් ඔවුන් ප්‍රීති වූවා මම දැක්කෙමි


එවන් පසුබිමක වූ විජග්‍රහනයක සැබෑ අයිතිය වෙනුවෙන්  එදා එකට පාරට බැස ගත් ජනතාව දෙකොටසකට බෙදාගන්නට තරම්  පින්වන්ත වූ  කොටසක්ද  මෙලොව වෙසෙන බව දකින්නට තරම් මා පින් කල බවද කිව යුතුය.


එදා  යූ එන්පී කාරයාද , ජේවීපී කාරයාද , පොදුපෙරමුනු කාරායාද  එකට ඒ  ජන ගඟේ යනු මම දුටිමි  පසුව ඔවුන්ම දෙකොටසක් වී  බැනර් පුවරු ඔසවාගෙන යනු මම දුටිමි වෙනසකට තිබුනේ ඔවුන් එදා ඔසවාගෙන ගිය රණවිරුවාගේ තැන වෙන එකෙක් සිටීම පමනකි.


විජයග්‍රහනයේ සෑබෑ අයිතිය  එක එකාගේ යැයි කියාගනිමි උන් හට ඒ අයිතිය ලබා දෙන්නට අපේම උන් දෙකොටසක් වී පාරවල් හන්දි ගානේ උන්ගේ රූප එල්ලාගෙන කෑ ගසනවාද මම දුටිමි.

යුද්දයේ  උරුමක්කාරයින් උනු  හද්දා වන්නිවල උන්..  අවසන් පැය කිහිපයේ නන්දිකඩාල් කලපුවේ වැලි වැටියකට මුවා වී  අවියට ඉලක්ක හොයන මොහොතේදී උන්ගේ උඩ සාක්කු වලත්  .. උන් වෙනුවෙන්ම උන්ගේ කටු මැටි පැල්වල පැය විසිහතරේ  හැඩූ කදුලින් ගෙවුනු ජීවිත වල හිමිකාරයන්ගේ දෑත්වලත්...  උන්     තබාගත් රූප තිබුනි නමුත් ඒවා මහින්ද රාජපක්ෂගේවත් .. සරත් ෆොන්සේකාගේවත් නොවෙන බව පමනක් මම සක්සුදක් සේ දන්නෙමි



______________________________________________________


3 comments:

  1. //යුද්දයේ උරුමක්කාරයින් ඌ හද්දා වන්නිවල උන් අවසන් පැය කිහිපයේ නන්දිකඩාල් කලපුවේ වැලි වැටියකට මුවා වී අවියට ඉලක්ක හොයන මොහොතේදී උන්ගේ උඩ සාක්කු වලත් .. උන් වෙනුවෙන්ම උන්ගේ කටු මැටි පැල්වල පැය විසිහතරේ හැඩූ කදුලින් ගෙවුනු ජීවිත වල හිමිකාරයන්ගේ දෑත්වලත් උන් තබාගත් රූප තිබුනි නමුත් ඒවා මහින්ද රාජපක්ෂගේවත් . සරත් ෆොන්සේකාගේවත් නොවෙන බව පමනක් මම සක්සුදක් සේ දන්නෙමි//

    :) :) :)

    ReplyDelete
  2. පාට කරන වින්නැහිය සමාජයේ ඕඩුදුවා ඇති තරම නොවැ

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: